ලොවම කම්පාවට පත් කරමින් ඉකුත් සඳුදා (06 දා) තුර්කියේ හා සිරියාවේ හටගත් දරුණු භුමිකම්පාවෙන් හා පසු කම්පනවලින් මරණයට පත් වූවන්ගේ සංඛ්‍යාව ඊයේ (09 දා) උදෑසන වන විට 16,000 ක් දක්වා ඉහළ ගොස් තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි. මෙසේ මිය ගිය පිරිසෙන් 13,000කට ආසන්න පිරිසක් තුර්කියේ සිදු වූ භූමිකම්පාවෙන් මිය ගොස් ඇති අතර සිරියාවේ මිය ගොස් ඇති පිරිස 3000කට ආසන්න වී තිබේ. මෙම භූමිකම්පාව හා පසුකම්පනවලින් තවත් ගණනය නොකළ දස දහස් සංඛ්‍යාත පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ. තවත් ගණනය නොකළ විශාල පිරිසක් මෙම ව්‍යසනය හේතුවෙන් උන්හිටිතැන් අහිමිව අවතැන්ව සිටින බව වාර්තා වේ. ඉකුත් සඳුදා අලුයම තුර්කිය කේන්ද්‍ර කරගනිමින් හටගත් රිච්ටර් මාපකයේ 7.8ක් වශයෙන් සඳහන් වූ මෙම භූමිකම්පාවෙන් පසු පසුකම්පනයන් 125කට අධික සංඛ්‍යාවක් හටගෙන ඇති බව වාර්තා වී තිබේ.
මෙම භූමිකම්පාවෙන් අනතුරට පත් වී අතුරුදන්වූන් සොයා සහන කණ්ඩායම් විසින් ක්‍රියාත්මක කර ඇති දැවැන්ත සෝදිසි මෙහෙයුම සඳහා ව්‍යසනයෙන් කඩා වැටුණු 1000කට අධික ගොඩනැගිලිවල සුන්බුන් හා පවතින අධික ශීතල කාලගුණ තත්ත්වය බාධාවක්ව පවතී. තවත් දස දහස් ගණනක් භූමිකම්පාවෙන් කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිර වී සිටින බව විශ්වාස කෙරෙන අතර මේ හේතුවෙන් ව්‍යසනයෙන් මියගිය හා තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව ඉදිරියේදී තවත් වැඩි වනු ඇතැයි බලධාරීහු පවසති. මේ අතර පළමුව හටගත් භූමිකම්පාවෙන් පසු ජනතාව ආරක්ෂා කිරීම සඳහා තම රජය විසින් ගනු ලැබූ පියවරවල අඩුපාඩු ඇති බව තුර්කි ජනාධිපති රෙසෙප් ටයියිප් එර් ඩොගාන් විසින් නිල වශයෙන් පිළිගෙන තිබේ. භූමිකම්පාව වූ සැණින් විපතට පත් ජනතාව මුදා ගැනීම සඳහා රජය කඩිනම් පියවර නොගත් බව පිළිගෙන ඇති තුර්කි ජනාධිපතිවරයා මේ සා දැවැන්ත වූ ව්‍යසනයකට මුහුණ දීම සඳහා සූදානම් වීම කළ නොහැකි වූවක් බවත් මේ වන විට තත්ත්වය කෙසේ හෝ පාලනය කර ඇති බවත් මාධ්‍යයට පවසා තිබේ. ව්‍යසනයෙන් විපතට පත්වූවන් මුදා ගැනීම සඳහා රජය විසින් කඩිනම් පියවර නොගත් බවත් රජයේ ප්‍රතිචාර සෙමින් සිදු වූ බවට හා මෙවැනි තත්ත්වයකට මුහුණ පෑම සඳහා රජයේ සූදානම ප්‍රමාණවත් නොවන බවට විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් තුර්කි ජනාධිපතිවරයා මෙම කරුණු අනාවරණය කර තිබේ.
මෙම දරුණු භූමිකම්පාව සිදුවූ මධ්‍යම තුර්කියේ හා සිරියාවේ ප්‍රදේශවල එම ව්‍යසනයෙන් පසු පවතින රෝග තත්ත්වයන් වැඩි විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වෛද්‍ය කණ්ඩායම් සහ වෛද්‍ය ආධාර රැගත් ගුවන් යානා තුනක් අදාළ ප්‍රදේශ වෙත යවා ඇති අතර ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය ඇතුළු දියුණු රටවල් හා දියුණු වෙමින් පවතින රටවල් විසින් භුමිකම්පාවෙන් විපතට පත්වූවන්ට සඳහා ආධාර එවීම මේ වන විට අරඹා තිබේ. ඊයේ වන විට රටවල් 30කට ආසන්න සංඛ්‍යාවක් තුර්කියේ හා සිරියාවේ හටගත් භූමිකම්පාවෙන් විපතට පත්වූවන් සඳහා ආධාර එවා තිබිණි.
තුර්කි -සිරියා දේශ සීමාවේ පිහිටි බබ් අල් හවා දේශසීමා පිවිසුම මෙම භූමිකම්පාවෙන් විනාශයට පත් ව තිබූ අතර එම පිවිසුම ඊයේ වන විට නැවත පිළිසකර කර විවෘත කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සහන කණ්ඩායම් විසින් පියවර ගෙන තිබිණි. මෙම පිවිසුම විවෘත කිරීමත් සමගම තුර්කියේ හටගත් භූමිකම්පාවෙන් මියගිය සිරියානු ජාතිකයන් 300කට අධික පිරිසකගේ මෘතදේහ එම පිවිසුම හරහා සිරියාවට ගෙනැවිත් තිබේ. මේ අතර තුර්කියට භූමිකම්පාවෙන් විපතට පත්වූන්ට ආධාර කිරීම සඳහා ලැබෙන ආධාර විශාල වශයෙන් ලැබෙමින් පැවතියද සිරියාවේ පවතින සිවිල් යුද්ධය හේතුවෙන් බටහිර රටවල් විසින් එරට කැරලිකරුවන්ගේ ග්‍රහණය යටතේ පවතින ප්‍රදේශවලට පනවා ඇති සම්බාධක හේතුවෙන් සිරියාවේ භූමිකම්පාවෙන් විපතට පත් සෑම ප්රදේශයකටම ආධාර නොලැබෙන තත්ත්වයක් උද්ගතව ඇති බව සිරියානු බලධාරීහු පවසති. මේ හේතුවෙන් භූමිකම්පාවෙන් විපතට පත්ව ඇති සිරියානු ප්‍රදේශවල ව්‍යසනයෙන් අවතැන්ව සිටින පිරිස්වලට අවශ්‍ය පහසුකම් සැපයීම අසීරු වී ඇති අතර ගොඩනැගිලිවල සුන්බුන්වලට සිර වී සිටින පිරිස් බේරා ගැනීම සඳහා අවශ්‍ය උපකරණවල හිඟයකට ද එරට මේ වන විට මුහුණ පා සිටියි. තුර්කියේ ව්‍යසනය නිසා අවතැන්ව සිටින පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් ලැබුණද පවතින අධික ශීතල කාලගුණ තත්ත්වය හේතුවෙන් එම පිරිස් දැඩි අසීරුතාවන්ට මුහුණ පා සිටින බව වාර්තා වෙයි. භූමිකම්පාව හේතුවෙන් විපතට පත් ප්‍රදේශවල විදුලිය හා දුරකථන සබඳතා තවදුරටත් ඇනහිට ඇති අතර ව්‍යසනය පිළිබඳව වැරදි තොරතුරු ප්‍රචාරය කිරීම හේතුවෙන් තුර්කි බලධාරීන් විසින් අවහිර කර තිබූ ට්විටර් සමාජ මාධ්‍ය ජාලය නැවත යථා තත්ත්වයට පත් කිරීමට ඊයේ අවසරය ලබා දී තිබිණි.
ඒමන්ති මාරඹේ