තුර්කි – සිරියා දේශ සීමාවේ තවත් භූමිකම්පා දෙකක් මරණ 03 යි

140

පුද්ගලයන් 44,000කට මරු කැඳවමින් දැවැන්ත භූමිකම්පාවක් සිදු වූ තුර්කි – සිරියා දේශසීමාවේ පෙරේදා (20දා) දිනයේ හටගත් තවත් ප්‍රබල භූ කම්පන දෙකක් හේතුවෙන් පුද්ගලයන් 03 දෙනෙකු මියගොස් 683 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. තුවාල ලැබුවන්ගෙන් 470 දෙනෙකු සිරියානු වැසියන් බව අනාවරණය වී තිබේ. රිච්ටර් මාපකයේ 6.4 ක් හා 5.8ක් වශයෙන් සටහන්ව තිබූ මෙම භූ කම්පනයන් දෙක ඇති වීමත් සමගම සති දෙකකට පෙර තුර්කි – සිරියා දේශසීමාවේ සිදු වූ දැවැන්ත භූමිකම්පාවෙන් ඉරිතලා ගොස් තිබූ ගොඩනැගිලි කඩා වැටී ඇති බව වාර්තා වේ.

මෙම නවතම භූ කම්පනයන් හේතුවෙන් තවත් පිරිසක් සුන්බුන්වලට යට වී සිටීම නිසා, නවතා දමා තිබූ පෙර භූමිකම්පාවෙන් අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු නැවත ඇරඹීමට සහන කණ්ඩායම් විසින් පියවර ගෙන තිබේ. තුර්කියේ හා සිරියාවේ ඉකුත් 06 වැනිදා සිදු වූ දරුණු භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 44,000ක් වන විට එම ව්‍යසනයෙන් කඩා වැටුණු ගොඩනැගිලි හා මහා මාර්ගවල සුන්බුන්වලට යට වී අතුරුදන් වූවන් සොයා සිදු කෙරෙන මෙහෙයුම් නතර කිරීමට සහන කණ්ඩායම් විසින් ඉකුත් ඉරිදා දිනයේ පියවර ගෙන තිබිණි. එහෙත් පෙරේදා දිනයේ සිදු වූ නවතම භූ කම්පනයන් සමගම අතුරුදන් වුවන් සොයා සිදු කෙරෙන මෙහෙයුම් නැවත අරඹා තිබේ. පෙරේදා සිදු වූ නවතම භූ කම්පනයන් දෙක හේතුවෙන් තුර්කි -සිරියා දේශ සීමාවේ පිහිටි “අන්ටාක්‍යා”, “ඩෙෆ්නේ” හා “සමන්ඩාග්” යන ප්‍රදේශවල පදිංචි තිදෙනෙකු මිය ගොස් ඇති බව හෙළි වී තිබේ. මෙම භූමිකම්පනයන්ගේ බලපෑම යාබද ඊජිප්තුවට හා ලෙබනනයටද දැනී ඇති බව එම රටවල් පවසා තිබේ. කඩා වැටීමේ අවදානමක් පැවතීම නිසා මෙම කම්පනයන් හේතුවෙන් දැනට දරුණු ලෙස හානි සිදු වී ඇති ගොඩනැගිලිවලට ඇතුළු නොවන ලෙස බලධාරීහු අදාළ ප්‍රදේශවල ජනතාවට දැනුම් දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment