තුර්කි – සිරියා භූමිකම්පාවෙන් මිය ගිය පිරිස 37,000 ඉක්මවයි

174

ඉකුත් සඳුදා (06දා) තුර්කියේ හා සිරියාවේ සිදු වූ දැවැන්ත භූමිකම්පාව හේතුවෙන් මිය ගිය පිරිස ඊයේ (14 දා) වන විට 37,000 ඉක්මවා තිබිණි. මෙම පිරිසෙන් 32,000ට ආසන්න පිරිසක් තුර්කි ජාතිකයන් වන අතර සිරියාවේ මිය පිරිස 5500 ඉක්මවා තිබේ.

මෙතෙක් භූමිකම්පාවෙන් මිය ගිය හා තුවාල ලැබූ ළමුන්ගේ සංඛ්‍යාව තහවුරු වී නොතිබීම හේතුවෙන් කුඩා ළමුන් දහස් ගණනක් මිය ගිය පිරිස අතර සිටිය හැකි බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය පවසයි. තුර්කියේ භූමිකම්පාව සිදු වූ ප්‍රදේශය තුළ කුඩා ළමුන් මිලියන 4.6ක් ද සිරියාවේ මිලියන 2.5ක්ද සිටින බව අනාවරණය වී තිබේ. භූමිකම්පාවෙන් තුර්කියේ හා සිරියාවේ පවුල් මෙන්ම කුඩා ළමුන් මිලියන ගණනකට අත්‍යවශ්‍ය මානුෂීය ආධාර අවශ්‍යව ඇති බව එම සංවිධානය විසින් අවධාරණය කර තිබේ.

තුර්කියේ හා සිරියාවේ භූමිකම්පාව සිදු වූ ප්‍රදේශවල ගොඩනැඟිලි හා මහාමාර්ග දහස් ගණනක් කඩා වැටීම හේතුවෙන් එම සුන්බුන්වලට යටපත් වී තවමත් ජීවත් වන අය සොයා බලධාරීන් විසින් දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබේ. තුර්කියේ භූමිකම්පාව සිදු වූ ප්‍රදේශයේ පැය 178ක් පමණ සුන්බුන්වලට යටවී සිටි ‘රායි’ නමැති දැරිය නිරුපද්‍රිතව බේරා ගැනීමට සහන කණ්ඩායම්වලට හැකි වී තිබේ. මෙම දැරිය සුන්බුන් අතරින් ගොඩගෙන රෝහලට ගෙන යෑම සඳහා සූදානම් වන විට ‘දෙවියන් විශිෂ්ටයි’ යනුවෙන් කෑගසමින් අවට රැස්ව ඇති පිරිස් විසින් සිය ප්‍රීතිය පළ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment