තුවක්කුවක් අරන් දියණියගේ පෙම්වතාගේ නිවසට ගිය පියා පහර කා මරුට – වෙඩි වැදී පෙම්වතාගේ මවට බරපතළ තුවාල

1370

සිය දියණියගේ පෙම්වතා බිය ගැන්වීමේ අරමුණින් තුවක්කුවක්ද රැුගෙන පෙම්වතාගේ නිවසට ගිය පියකු දියණියගේ පෙම්වතාගේ සහ අසල්වාසීන්ගේ පහරදීමෙන් පෙරේදා (31දා) ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කරන්දෙණිය මඩකුඹුර ප‍්‍රදේශයේ පදිංචිව සිට ඇති අයි.ඞී. වසන්ත නමැති 51 හැවිරිදි ති‍්‍රරෝද රථ රියැදුරෙකි.

මෙහිදී ඇතිවූ ගැටුමේදී මියගිය පුද්ගලයා විසින් තැබූ වෙඩි පහරක් දියණියගේ පෙම්වතාගේ මවට වැදීමෙන් බරපතළ තුවාල ලැබූ එම කාන්තාව රෝහල් ගතකර ඇත.

මියගිය පුද්ගලයා පසුගිය 31 දා රාති‍්‍ර 11.30 ට පමණ තවත් පුද්ගලයකු සමග යතුරුපැදියකින් සිය දියණියගේ පෙම්වතා පදිංචිව සිටින ඌරගස්මංහන්දිය, කලූවලගොඩ නිවසට පැමිණ ඇති අතර එහිදී දෙපිරිස අතර ආරවුලක් හට

ගැනීමත් සමග මරණකරු විසින් තැබූ වෙඩි ප‍්‍රහාරයක් දියණියගේ පෙම්වතාගේ මවට එල්ල වී තිබේ. එයින් බරපතළ තුවාල ලැබූ එම කාන්තාව ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කරාපිටිය රෝහල වෙත මාරුකර යවා ඇතැයිද පොලිසිය පවසයි.

මෙහිදී සිදුවූ ගැටුමින් මරණකරු සමග පැමිණි පුද්ගලයාද තුවාල ලබා ඇති අතර ඔහුද රෝහල් ගතකර ඇත.

මරණකරු බෝර 12 තුවක්කුවක් අතැතිව පැමිණ ඇත. දියණියගේ පෙම්වතා බව කියන මෑතකදී යුද හමුදාවෙන් පැන ආ පුද්ගලයාගෙන් ඇයට නිතර හිරිහැර වන බව පවසමින් ඔහුට පාඩමක් ඉගැන්වීමේ අරමුණින් මෙලෙස පැමිණ ඇති බවත් එහිදී දියණියගේ පෙම්වතා සහ අසල්වාසීන් එක්ව ඔහුට සහ ඔහු සමග පැමිණි තවත් අයකුට පහරදී තුවක්කුවද කඩාදමා ඇතැයි පොලිසිය පවසයි.

මරණකරු දෙවන වරටද වෙඩි ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වූ අවස්ථාවේ දියණියගේ පෙම්වතා යැයි කියන පුද්ගලයා එය වළක්වා මරණකරුට පහරදී ඇත. අනතුරුව අසල්වාසීන් ද ගැටුමට මැදිව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මරණකරුගේ දියණියගේ පෙම්වතා යැයි කියන හමුදාවෙන් පළා ආ පුද්ගලයා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු ඊයේ (01 දා) ඇල්පිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්. ඒ. ලීලවංශ, සහකාර පොලිස් අධිකාරී ජගත් සමරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ඌරගස්මංහන්දිය ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක හරින් හල්විට, අපරාධ අංශයේ ස්ථානාධිපති කේ. ඞී. සුසිල් පේ‍්‍රමරත්න, පොලිස් සැරයන් රංජිත් (7718), සැරයන් සිල්වා (2789), පොලිස් කොස්තාපල් අසංක (6638) යන නිලධාරීහු ඉදිරි විමර්ශන සිදුකරති.

සුජීව තත්සර, අහංගම – සුගතපාල දීයගහගේ සහ නියාගම – විල්සන්ට් විජේසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment