තෙල්වලට ඇති ඩොලර් බෙහෙත්වලට නැත….!

218

රටපුරා ඖෂධ හිඟයක්… රෝහල් උපකරණ හිඟයක්… ඒ අතර අක්‍රමිකතා

මෑත කාලීන ඉතිහාසයේ කවදාවත් අත් නොවිඳි තරම් ඛේදාන්විත ඉරණමකට ලාංකිකයන් වන අපි සියල්ලෝම මුහුණ දෙමින් සිටින්නෙමු. ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම නිසා ඇතිවූ ආර්ථික අර්බුදය මේ වන විට ජන ජීවිතයට කර ඇති බලපෑම සුළුපටු නොවේ. ගෑස් ඉන්ධන, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙනුවෙන් කුසට අහරක් නැතිව, නිදි නොලබා, පෝලිම්වල සති ගණන් මාස ගණන් බලා නොසිටි මිනිසෙක් සොයා ගැනීම නොමල ගෙයකින් අබ හොයනවා හා සමානය.

පෝලිම් සංස්කෘතිය ගැන සහ එහි අත්දැකීම් ගැන ලාංකිකයන් වන අපට ලෝකයට කියාදීමට බොහෝ පාඩම් ඉතිරිව ඇත. දැන් මිනිසුන් නින්දෙන් අවදි වූ වහාම මධ්‍යම රාත්‍රියේදී මිල ඉහළ දමා ඇත්තේ මොනවාගේදැයි සොයයි. ඉතිහාසයේ කිසිම දිනක සිදු නොවූ ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් සීග්‍ර ලෙස ඉහළ යෑම නිසා සාමාන්‍ය ජනතාව අර්බුදයෙන් තව තවත් අර්බුදවලට ඇද වැටුණි. හාල්, පොල්, සීනි, එළවළු, පලතුරු, මස් මාළු පමණක්ම නොව ගිනි පෙට්ටියේ, ඉඳිකට්ටේ සිට සියලු දේම ගිනි ගණන්ය. ගෑස් සහ ඉන්ධන සම්බන්ධයෙන් වන ප්‍රශ්නයට නම් තරමක් දුරට සුබදායී විසඳුමක් ලැබී ඇති බව පෙනෙන්නට තිබුණද සීග්‍ර ලෙස මිල ඉහළ යන අත්‍යවශ්‍ය වෙළෙඳ ද්‍රව්‍ය අතරට ඖෂධ මිලද එක්වීම ජනතාවට දරාගත නොහැකි තවත් එක් ව්‍යසනයක ආරම්භයක් බව පෙනෙන්නට තිබෙයි. මෙලෙස ඖෂධවල මිල ඉහළ යෑමත් සමඟ ඖෂධ සම්බන්ධයෙන්ද ජනතාව ඉදිරියේ දැල්වෙන්නේ රතු එළියකි.

රට මුහුණ දෙමින් තිබෙන ආර්ථික අර්බුදය නිසා දිවයින පුරා පිහිටි රෝහල්වල ඖෂධ සහ අත්‍යවශ්‍ය සැපයුම් හිඟ වෙමින් පවතින බවට වෛද්‍යවරු සහ සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල නිරන්තරයෙන් අවධාරණය කරති. එමෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය උපකරණවල මිල ගණන් ඉතා ඉහළ බවටත්, ඇතැම් ඖෂධ වැඩි මිලකටවත් සොයා ගත නොහැකි බවටත් ජනතාව පෙන්වා දෙයි.

ඉන්ධන අර්බුදයත් සමඟ සෞඛ්‍ය සේවයේ සිදුවූ අකාර්යක්ෂමතා මේ වන විට යම්තාක් දුරට පහව ගොසින් තිබුණත් ඖෂධ මිල ඉහළ යාමත්, ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ හිඟයත් නිසා සෞඛ්‍ය සේවය නිසි අයුරින් පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති රෝහල් කිහිපයක් පිළිබඳවම පසුගිය සතිය පුරාම අපට තොරතුරු වාර්තා විය.

වාර්තා වූ තොරතුරු අනුව මේ විටත් කොළඹ පිහිටි ප්‍රධාන රජයේ රෝහල්වල මෙන්ම, ඌව පළාතේ සියලුම රෝහල්වලත්, අනුරාධපුර ශික්ෂණ රෝහලේත් ඖෂධ හිඟය බරපතළ ගැටලුවක් බවට පත්වී හමාරය. නාගරික රෝහල්වල මෙන්ම බොහෝ ග්‍රාමීය රෝහල්වල තත්ත්වය ද මීට දෙවැනි නැත.

මේ අතර ජාතික අක්ෂි රෝහලේ අක්ෂි කාච ඇතුළු වෛද්‍ය උපකරණ මෙන්ම ඖෂධවලද දැඩි හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පෙන්වා දෙයි. ඒ පිළිබඳව ඔහු පසුගිය 16 වැනිදා මාධ්‍ය හමුවකදීද කරුණු අනාවරණය කළේය.

පවතින තත්ත්වය මත ඖෂධ බොහොමයක් රෝහල තුළින්ම රෝගීන්ට නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. ශල්‍ය උපකරණවල හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය ශල්‍ය කර්මවලට පමණක් සීමා වීමට සිදුව තිබෙන අතර සෙසු ශල්‍ය කර්මද ප්‍රමාද කිරීමට සිදුව තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

“රෝහලට ලැබෙන කාච ප්‍රමාණය ප්‍රමාණවත් නෑ. බාහිර රෝගී අංශයේ ප්‍රතිජීවක ඖෂධ එකකට සීමා වෙලා. ඇස් සඳහා භාවිතා කරන ඖෂධ 50%කට වැඩි ඖෂධ ප්‍රමාණයක හිඟයක් තියෙනවා. මේ නිසා රෝහලෙන් බැහැරව ඖෂධ අලෙවිසල් වෙතින් ඒ ඖෂධ ලබා ගැනීමට රෝගීන්ට නියම කරනවා. ඒත් බොහොමයක් ඖෂධ අලෙවි සල් වලත් නැති අවස්ථා තියෙනවා.” ලෙසත් මේ වන විට ඇතැම් ඖෂධ මිල 300%කින් පමණ මිල ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා අවධාරණය කළේය.

නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයත්, ප්‍රජාතන්ත්‍රවාදයත් උපරිමයෙන් තියෙනවා යැයි උදම් අනන රටක දැන් මිනිසුන්ට අධ්‍යාපනය ලබනවා තියා ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍යය ආහාරපාන, ඖෂධ ටික පවා සපයා ගැනීමට නොවිඳිනා දුක් විඳීමට සිදුව තිබේ. ඩොලර් අර්බුදය සමඟ ඖෂධ හිඟවීම නිසා ඖෂධ මාෆියාවද යළි හිස ඔසවමින් සිටියි.

දූෂණ අක්‍රමිකතා නිසා රජයේ රෝහල්වල ඖෂධ වර්ග 311 ක උග්‍ර හිඟයක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වාදෙයි. ප්‍රතිශතයක් ලෙස බැලූ කල එය ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට 27 කි. මෙලෙස හිඟවී ඇති ඖෂධ අතර ජීවිතාරක්ෂක, ප්‍රතිජීවක, නිර්වින්දන, වේදනා නාශක ඇතුළු ඖෂධ වර්ග ඇතුළත් බවත් එම සංගමයේ ලේකම් පවසයි.

“සාමාන්‍යයෙන් අවුරුද්දකට අවශ්‍ය ඖෂධ මිලදී ගන්න රුපියල් බිලියන අසූවකට අධික මුදලක් වැය වෙනවා. කාර්තුවකට රුපියල් බිලියන 20ක මුදලක් වැය වුණත් මේ අවුරුද්දේ මුල් කාර්තුවේ වැය වෙලා තියෙන්නේ රුපියල් බිලියන 12 ක මුදලක් පමණයි කියලා විගණකාධිපති වාර්තාවේ සඳහන් වෙනවා. දැනට රෝහල්වල හිඟ වෙලා තියෙන ඖෂධවලට අමතරව ශල්‍ය උපකරණ, රසායනාගාර පරීක්ෂණ ද්‍රව්‍ය ආදිය හදිසි ලෙස මිලදී ගන්න යද්දී දූෂණ අක්‍රමිකතා විශාල වශයෙන් සිදු වෙනවා”

සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනය තුළ මනා සම්බන්ධතාවක් නොමැතිවීම නිසා මෙලෙස ඖෂධ හා ශල්‍ය උපකරණයන්හි අර්බුදයක් මතුව ඇති බව ලේකම්වරයා වැඩිදුරටත් කියයි. මෙලෙස රට පුරා පවතින ඖෂධ අර්බුදය පිළිබඳව සොයාබලා වාර්තා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වන විට තාක්ෂණික කමිටුවක් ද පත්කර තිබේ.

කෙසේ වෙතත් ඖෂධ අර්බුදය නිසා ජනතාව කබලෙන් ළිපට වැටී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. වෙනදාට සාමාන්‍ය මුදලකට මිලදී ගත් ඖෂධවල පවා මිල දෙතුන් ගුණයකින් වැඩි වී ඇති බවට ජනතාව පවසයි. එමෙන්ම ඇතැම් ඖෂධ වැඩි මිලට මිලදී ගැනීමටවත් ඖෂධහල් වල නොමැතිකමෙන් රෝගීන්ගේ ජීවිතද ඇත්තේ අනතුරේය.

හුරුපුරුදු බෙහෙත් වට්ටෝරුවත් රැගෙන ඔසු සැල් වෙතට පැමිණෙන මිනිසුන් වෙනදාට මාසයකට සෑහෙන්නට මිලදීගත් ඖෂධ පවා දැන් ගන්නේ දින දෙක තුනක් සඳහා පමණි. මේ වන තුරු රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ යම්කිසි ප්‍රමාණයක් හෝ රෝහල්වල තිබුණත් ඉදිරියේදී සමස්ත සෞඛ්‍ය පද්ධතියම මීටත් වඩා අකාර්යක්ෂම වනු ඇතැයි රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

රාජ්‍ය අංශය මෙන්ම පුද්ගලික සඳහාත් ඖෂධ අර්බුදය බලපෑම් එල්ල කරමින් සිටියි.

“ඉස්පිරිතාලෙට ඇවිත් තුණ්ඩු අරගෙන පෝලිමේ ඉන්නවා. සමහර බෙහෙත් එළියෙන් ගන්න කියලා ලියලා දෙනවා. ඉස්පිරිතාලෙන් දෙන්නෙ බෙහෙත් දෙකක් නැත්නම් තුනක්. සමහර වෙලාවට ඒකත් නෑ. ෆාමසියට ගියාම ගොඩක් ෆාමසිවල ඒ බෙහෙත් ගන්නත් නෑ. කන්න බොන්නත් නොවිඳිනා දුක් විඳින අපිට බෙහෙතුත් නැතුව මැරෙන්න තමයි වෙන්නේ”.

ඖෂධ හිඟයෙන් බැට කන අසරණ රෝගීන් කියන්නේ එවැනි කතාවකි. නමුත් වැඩි මිලටවත් ඖෂධ සැපයීමට දැන් බොහෝ ඖෂධ අලෙවි සල්වලට ඖෂධ නොලැබෙන බව ඖෂධ සල් හිමියෝ පෙන්වා දෙති. තවත් කෙටි කාලයකින්ම මේ අර්බුදය තව තවත් උග්‍ර වන නිසා මේ සඳහා වහාම පිළියම් ඉදිරිපත් කළ යුතු බවත් ඔවුන් පවසන්නේ එසේ නොකළොත් ඉදිරිය මීටත් වඩා දුෂ්කර වන බවට අනතුරු අඟවමිනි.

තෙල්වලට ඇති ඩොලර් බෙහෙත්වලට නැත....!

කොවිඩ් වසංගතය ආරම්භ වූ මුල් අවධියේ අපේ රටේ ඖෂධ හිඟය පිළිබඳ විශාල කතාබහක් ඇති වුණි. විටමින් සී, පැරසිටමෝල් මෙන්ම ආයුර්වේද ඖෂධ පවා සොයා ගත නොහැකි තත්ත්වයක් නිර්මාණය විය. දැන් යළිත් එවැනිම ඖෂධ අර්බුදයක් නිර්මාණය වෙමින් පවතී.

පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම ඇති වූ ඖෂධ අර්බුදයට පිළියම් ලෙසින් සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් ඇතැම් තීරණ නිසා ඖෂධ හිඟය නිසා ඇති වූ ගැටලු යම්තාක් දුරට කළමනාකරණය කරගත හැකි වටපිටාවක් නිර්මාණය වෙමින් පවතිද්දී, නැවතත් මෙලෙස ඖෂධ සම්බන්ධ අර්බුදය පැනනැගීම කනගාටුවට කාරණාවකි.

මේ ඖෂධ හිඟයට විසඳුමක් ලෙස මෙරටට අවශ්‍ය ඖෂධ වලින් 40% ක ප්‍රමාණයක් දේශීයව නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක කෙරෙන බවත් ඉන් 20% ක ඉලක්කයක් මේ වනවිටත් සපුරා ගැනීමට හැකිව ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වාදෙයි. මෙමඟින් ඖෂධ ගෙන්වීම සඳහා වැය කරන විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇති බවත් පවතින ඩොලර් අර්බුදයට ඉහළ විසඳුමක් අපේක්ෂා කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි.

“අපේ රටේ පටන් ගන්නවා කියන ව්‍යාපෘති කොයිතරම් නතර වෙනවද? සමහර දේවල්වල යෝජනා විතරයි. මේ බෙහෙත් හදන වැඩේවත් හරියට කළොත් මිනිස්සු ටිකට සහනයක් ලැබෙයි. දැන් මිනිස්සුන්ට ඉටියෙන් හරි මැටියෙන් හරි වැඩේ කෙරෙන්නයි ඕන. ඇත්තටම දැන් අපේ රටේ මිනිස්සු ඕනෑවටත් වැඩියෙන් දුක් විඳිනවා. හෙට අනිද්දට බෙහෙත් නැතිවත් ලංකාවෙ මිනිස්සු මැරෙනවා කියලා මුළු ලෝකෙම කතාවෙයි. ඒ හින්දා මේ වගේ ප්‍රශ්න වලටවත් වගකිවයුතු බලධාරීන් නිසි පිළිතුරු ලබා දෙයි කියන එක තමයි සමස්ත මහජනතාවගේම බලාපොරොත්තුව.”

කුමාරි ඉරුගල්බංඩාර

advertistmentadvertistment
advertistmentadvertistment