තෙල් ඒකාධිකාරිය ඈවර කර දමන අවසන් තුරුම්පුව

151

විකුණා දමන ආයතන 120න් තෙල් සංස්ථාව මුලටම…

නිදහස ලබා වසර හැත්තෑ පහකි. හැත්තෑ පස්වැනි නිදහස සැමරුවේ ඉකුත් පෙබරවාරි මස 04 වැනිදා ය. වසර හැත්තෑපහක නිදහස සමරා හුස්ම ගැනීමටත් පෙර වත්මන් පාලනය මේ රටේ තිබෙන රාජ්‍ය ආයතන විදෙස් සමාගම් වෙත විකුණා දැමීමට තීන්දු කර ඇත. මේ විකිණීමට තවත් ලස්සන නමක් ඈඳා ඇත. එය ප්‍රතිව්‍යුහගතකරණය ය. විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දීම, ප්‍රතිව්‍යුහගතකරණ, යළි පුබුදමු ශ්‍රී ලංකා ආදී මොන නමකින් කළත් මේ රටේ රාජ්‍ය සමාගම්, අර්ධ රාජ්‍ය සමාගම් ආදිය නොරටුන්ට ලබාදීම සැබැවින් ම විකුණා දැමීමකි.

ලංකා ඛනිජතෙල් සංස්ථාව, ශ්‍රී ලංකා ටෙලිකොම්, ලංකා විදුලිබල මණ්ඩලය පමණක් නොව ඒ ලැයිස්තුවේ රාජ්‍ය සමාගම් එකසීය විස්සකට වඩා අඩංගුය. මේ අතර දැනට බංකොලොත් වී තිබෙන බව කියන රාජ්‍ය ආයතන හතළිහක් ඈවර කර දැමීමට ආණ්ඩුව පිඹුරුපත් සකසා ඇතැයි පැවසේ.

තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය ඇතුළු මෙරට ඇති ප්‍රධාන ආර්ථික මර්මස්ථාන බංකොලොත් වී ඇත්තේ කාගේ වරදකින්ද? මේවායේ සේවකයන් ගන්නා වැටුප්, දීමනා, අතිකාල ආදිය නිසා ඒවා පාඩු ලබන තත්ත්වයට පත්ව තිබේද? නොමැති නම් මේ කියන රාජ්‍ය ආයතනවල වංචා, දූෂණ, හොරකම් ආදිය නිසා ඒවා බංකොලොත් වී ගියේද? නැත. මේ ආයතන බංකොලොත්වීමට ඒ කාරණා පමණක් හේතු වී නොමැති බව අපගේ වැටහීමය.

ශ්‍රී ලංකාව 1948 පෙබරවාරි 04 වැනිදා නිදහස ලබන විට ආසියාවේ ශක්තිමත්ම මුදල් ඒකක දෙක අතර ශ්‍රී ලංකා රුපියල තිබුණි. අපට උඩින් සිටියේ ජපානය පමණි. ජපන් යෙන් එකට පමණක් දෙවැනි වූ ආසියාවේ හොඳම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බවට පත්ව තිබිණි. එතැන් පටන් මේ රටේ පාලනය අතට ගත් ඔලමොට්ටල දේශපාලන රැළ රාජ්‍ය යාන්ත්‍රණය කනපිට පෙරළමින් රට කම්බස් කරන්නට පටන් ගැනිණි. මෙහි කූටප්‍රාප්තිය ඇරඹුණේ 1977 දීය. ඩී. එස්., ඩඩ්ලි, කොතලාවල, බණ්ඩාරනායක, සිරිමාවෝ පාලන සමයෙන් ඉක්බිතිව 77 දේශපාලන පෙරළියෙන් පසු මේ රටට විවෘත ආර්ථිකය හඳුන්වා දෙනු ලැබූ පසු මෙරට ආර්ථිකය වසරින් වසර දියාරු වී ගියේ ඔලමොට්ටල දේශපාලන තීන්දුවලට පින්සිදු වන්නටය. 77 න් පසුව රාජ්‍ය ආයතනවලට බුරුතු පිටින් දේශපාලන හෙංචයියන් ගෙනත් දැමිණි. දාහත් වසරක එක්සත් ජාතික පක්‍ෂ පාලනය නිමකර 1994 දී බලයට පත් චන්‍ද්‍රිකා කුමාරතුංග ගේ පාලන සමයත්, දාහත් වසරේ ශාපය ඉදිරියට ගෙන ගියේ එජාප හෙංචයියන් වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ ඊළඟ හෙංචයියන් ටික බුරුතු පිටින් මේ රාජ්‍ය ආයතනවලට රිංගවමිනි. 2005 දී මහින්ද රාජපක්‍ෂ පාලනය ද ඊට පසු යහපාලනය ද ඒ දේ දිගටම සිදුකරමින් රාජ්‍ය සම්පත විනාශකර දමනු ලැබූ බව අතිශයෝක්තියක් නොවන බව විශ්වාසය.

දැන් මේ රට බංකොලොත් ය. මුදල් අච්චු ගැසුවාට එමගින් උද්ධමනය ඇති නොවන බවට කී මාර ආර්ථික ඔස්තාර්ලා ද රටේ බංකොලොත්වීම තීව්ර කර දැමීය. මළපොතේ අකුරු නොදත් මත්කුඩු ජාවාරමුන්, කසිප්පු ජාවාරමුන් පමණක් නොව ස්ත්‍රී දූෂකයන්, මිනීමරුවන් ආදී චෝදනාවලට ලක්වූවන් දේශපාලන නායකයන් බවට පත්ව ගියේ ඔය අතරය. එවැනි පිරිස් මේ රාජ්‍ය සමාගම්වල මුල් පුටුවලට පත්කර දැමීය. විෂය භාර ඇමැතිධුර ගත් ඇතැම් උදවිය රාජ්‍ය සම්පත සිය පෞද්ගලික බූදල ලෙස සලකා කටයුතු කරන්නට වූහ. අවසානයේ රජයේ ආයතන හොර ගුහා බවට පෙරළී ගියේ හොරකම, දූෂණය, වංචාව, බොරුව සාමාන්‍ය දෙයක් බවට සමාජගත වන අතරය.

දැන් රටම බංකොලොත්ය. රාජ්‍ය ආයතන පාඩුය. බොර තෙල්, ගෑස්, පිරිපහදු කළ පෙට්‍රල්, ඩීසල් පමණක් නොව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා ආනයනය කරන්නට ඩොලර් නැත. මහා භාණ්ඩාගාරය හිස්ය. භාණ්ඩාගාරය හිස්වන තුරු මේ රටේ පාලකයන් කළේ කුමක්ද? දෙකෝටි විසිලක්‍ෂයක ජනතාවටම තරු පෙනෙන්නට ගත්තේ දේශපාලනය හා දේශපාලනඥයන් නයාට අඳුකොළ බවට පත්වන අතරය. සැලසුමකින් තොරව පාරට වැදුන මිනිසුන් රටේ පාලකයන් පලවා හරිමින් රටම ගිනිබත් කරන්නට ගත්තේ රටට කෙළ වී ගිය බව සක්සුදක් සේ තහවුරු වූ පසුවය. නිරපරාදේ අහිංසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නිට්ටඹුවේදී නිරපරාදේ ඝාතනයට ලක් වූ හැටි ද අමතක කර දැමිය නොහැකි දෙයකි.

දැන් ආණ්ඩුව කියන්නේම රට බංකොලොත් කියාය. දේශපාලන භේදයකින් තොරව එක් වී රට යළි ගොඩගමු යැයි කියන අය ද සිටිති. දැන් රට වැටුන වළෙන් ගොඩ ගන්නට කරන්නට තිබෙන්නේ තෙල්, විදුලිය, ටෙලිකොම්, වරාය, රක්‍ෂණ ඇතුළු රාජ්‍ය දේපළ නොරටුන්ට දීමය. ඒ හැර විකල්පයක් නැතැයි ද කියති.

රාජ්‍ය සම්පත් නොරටුන්ට දීමේ වැඩසටහන ආරම්භ කර ඇත්තේ තෙල් සංස්ථාවෙනි. දෙවැන්න ටෙලිකොම් ය. ඊට සමගාමීව තවත් රාජ්‍ය ආයතන ගණනාවක ලැයිස්තුව සකසා අවසන් ය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව 1961 වනතෙක් තිබුණේ කැල්ටෙක්ස්, ෂෙල් සහ එසෝ නමැති සමාගම් යටතේ ය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1961 අංක 18 දරන පනත මගින් මෙම වටිනා තෙල් ව්‍යාපාරය ශ්‍රී ලංකා රජය යටතට පත්කළේ දුරදිග බලමිනි. තෙල්, විදුලිය වැනි බලශක්ති ව්‍යාපාර රජය සතුව තිබීම ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් අතිශය වැදගත්ය. කෙසේ වෙතත් 2003 වසරේදී එවකට රට පාලනය කළ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව කොටස් තුනකට කඩා දැමීය. රටේ ඇති ඉන්ධනහල් ටික ද තුනට බෙදා දැමිණි. ඉන් පසුව ලංකා ඉන්දියානු තෙල් සමාගමට (LIOC) මෙරට තෙල් වෙළෙඳාම් කිරීමට ඉඩ දෙමින් ගිවිසුම්ගත විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය තෙල් සමාගම මෙරටට පැමිණ තෙල් වෙළෙඳාමට අත තැබීය. තුනට කැඩූ තෙල් සංස්ථාවේ තවත් කොටසක් චීන සමාගමකට ලබාදීමට කටයුතු කළ ද ආණ්ඩුව පෙරළිණි. ඒ කාලයේ දේශපාලන වේදිකාව රත් කරමින් මහා භාණ්ඩාගාරය යටතේ තිබූ තුනෙන් එක් කොටස යළි සංස්ථාවට පවරා ගන්නා බවට මහින්ද රාජපක්‍ෂ ජනතාව ඉදිරියේ පොරොන්දු වූ හැටි මතකය. බලයට පත් මහින්ද රාජපක්‍ෂ ඒ පොරොන්දුව ද ඉටුකර දැමිණි.

තනි රාජ්‍ය ආයතනයකට වඩා සමාගම් එකක් දෙකක් හෝ ඊට වැඩි ගණනක් තෙල් ව්‍යාපාරය කරන විට තරඟකාරී ලෙස මිල පහළ යන බවට මත පළවිය. 2003 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 75 ක මුදලට එම සමාගමට මෙරට තෙල් වෙළෙඳාම විවෘත කළත් තරගකාරී මිල ගණන් යටතේ මෙරට ඉන්ධන මිල තීරණය වූයේ නැත. සිදුවූයේ මොනතරම් පාඩුවක් ලාභයක් ලැබුවත් ඉන්ධන ගාස්තුව අල්ලාගෙන සිටීම පමණකි. හරියට ඩොලරයට සාපේක්‍ෂව රුපියල පාවෙන්නට නොදී අල්ලා සිටියා සේ පාලකයන් ද මෙරට තෙල් මිල අල්ලාගෙන පාලනය කළේ ‘තරඟකාරී මිල තීරණය අද නොවේ හෙට’ කියමිනි.

දැන් බංකොලොත් රට ගොඩනගන්නට යන්නේ ද තවත් සමාගම් තුනක් මෙරටට ගෙන්වා තෙල් වෙළෙඳාම සති පොළක් බවට පත් කරන්නටය. සිපෙට්කෝ සහ අයිඕසී යන සමාගමත් තරගයට තෙල් වෙළෙඳාම් කරද්දී නොලැබුණ ප්‍රතිලාභය සමාගම් පහක් මගින් ලැබෙන බවට පාලකයන්ගේ විශ්වාසයක් පමණකි. ඒ අනුව මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළට පිවිසීම සඳහා චීනයේ සිනොපෙක් (Sinopec) ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්ට්‍රොලියම් (United Petroleum) සහ ඇමෙරිකානු ආර් එම්පාර්ක්ස් (RM Parks of USA) යන සමාගම්වලට කැබිනට් මණ්ඩලය අවසරය ලබා දී ඇත. ඇමැති කංචන විජේසේකර ඒ පිළිබඳ පුවත සුපුරුදු ට්විටර් පණිවුඩයේ සඳහන් කළ සැණින් තෙල් සේවකයන් කලබල වූහ. තෙල් සංස්ථා වෘත්තීය සමිති දින දෙකක් ‘උපවාසයක් කර ඒ තීරණයට විරෝධය පළ කළහ. නමුත් පාලකයන් නිහඬව එම කැබිනට් තීරණය ක්‍රියාවට නංවන්නට වූහ. මෙරට ඇති වැඩිම අලෙවියක් සහිත ඉන්ධනහල් 450න් තෝරාගත් ඉන්ධනහල් 150 බැගින් සමාගම් තුන සඳහා ලබාදීම සැලසුමය. ඊට අමතරව ඒ සමාගම්වලට සෘජුවම පිරිපහදු කළ ඉන්ධන ගෙන ඒමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට හා අලෙවි කිරීමට මෙම

ගිවිසුමෙන් ඉඩ ලබාදීමට නියමිතය. රජය සතුව තිබෙන ඉන්ධන ව්‍යාපාරය මෙකී සමාගම් වෙත ලබාදීමේ ගිවිසුමට ප්‍රකාරව මෙරට එක ඩොලරයක් නොලැබෙන බව ද කියති. නමුත් එක දෙයක් සිදුවේ. එනම් එකී සමාගම් තුන හා අයිඕසී යන සමාගම ඔවුනගේ මුදල්වලින් ඉන්ධන ගෙනැවිත් මෙරට ජනතාවට විකුණා ඒ ලබන මුදල් ඒ රටට රැගෙන යෑම නිසා ආණ්ඩුවට තෙල්වලට ඩොලර් හොයන්නට සිදුවන්නේ නැත. ඒ කියන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කො) සීපීඑස්ටීඑල් (තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම) යටතේ සේවය කරන හාරදහස් දෙසීයකට අධික සේවක පිරිසට කරන්නට කිසිවක් ඉතුරු නොවී යෑමය. (දැනටමත් එහි සේවකයන්ට කරන්නට ලොකු වැඩක් නැත.) ඒ කියන්නේ ආණ්ඩුව බොර තෙල් හා පිරිපහදු ඉන්ධන නොගෙන ඒමත් සමග මේ සේවක පිරිස වැටෙන්නේ පාරටය. වන්දි දෙන බවක් ද තාම ප්‍රකාශ කර නැත.

ඇත්තටම මේ රටේ රාජ්‍ය ආයතන කම්බස් කළේ පාලකයන් ය. රට බංකොලොත් කළෙත් ඒ පිරිසමය. මේ රටේ සාමාන්‍ය ජනතාව රට වළපල්ලට තල්ලු කළේ නැත. මැතිවරණවලදී ලබාදෙන තුට්ටු දෙකේ තොරම්බල් පොරොන්දුවලට බහුතරය රැවටෙන බව සත්‍යයකි. නමුත් මින්පසු නම් බත්කන හරක් ගණන ඓතිහාසිකව බිංදුව කරා යනු ඇතැයි බොහෝ අයගේ විශ්වාසයකි.

තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නායකයන් විස්සක් අනිවාර්ය නිවාඩු යැව්වේ 28 වැනිදා සවස හදිසියේ ආරම්භ කළ වැඩ වර්ජනය පදනම් කරගෙනය. මේ සටහන කියවන විට මුළු රටේම යළි වර්ජන රැල්ලක් නිර්මාණය වී තිබීමට පුළුවන. පාලකයන් මේ ගහමින් සිටින්නේ අන්තිම තුරුම්පුවය. රට වළපල්ලේය. වළපල්ලෙන් රට ගොඩනගන්නට නම් රාජ්‍ය සම්පත් විකිණිය යුතුම බව ඇතැමුන්ගේ මතයය. මේ රාජ්‍ය සම්පත විකිණීමට එරෙහිව ද වෘත්තීය සමිති අවසන් තුරුම්පු තෝරමින් සිටිති.

මේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ කිසිදු වරදක් නැත. තෙල්, විදුලිය, වරාය ඇතුළු රාජ්‍ය සමාගම් හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල අතිකාල දීමනා ගන්නා ආකාරය පුදුමය. උදේ 8.30 ට රාජකාරියට එන සේවකයා ආපසු යන්නේ ඊළඟ දවසේ පෙරවරු 8.30 ටය. ඒ කියන්නේ සවස 4.30 සිට ඊළඟ දිනයේ පෙරවරු 8.30 තෙක් අතිකාලය. අතිරික්ත සේවකයන් පැටව් ගසා තිබියදී සේවා මුර සකස්කර ඇත්තේද අතිකාල ලැබෙන පරිදිය. වරද කාගේද? නිවැරදි කළ යුත්තේ ඒවාය. නතර කළ යුත්තේ නාස්තිය, දූෂණය හා සොරකම් ය. ප්‍රතිව්‍යුහගතකරණය සිදුවිය යුත්තේ එලෙසිනි. විකුණාගෙන කෑම යනු ප්‍රතිව්‍යුහගතකරණයමද? මේ ගනුදෙනු ඇතැමුන්ට පරම්පරා ගණනකට කොමිස් ලැබෙන බව ද කියති. ඒවා එහෙම නැතැයි කිසිවකු කියන්නේ ද නැත. මේ රට හෝ රටේ සම්පත් කිසිම පාලකයෙකුට අයිති නැත. වසර හැත්තෑපහක් තිස්සේ රට වළපල්ලට ගියේ ඒ වැරදි දේශපාලන තීන්දු නිසාය. වැරදි තීන්දු ගත් බොහෝ අය වළපල්ලේය. දැන් රටත් වළපල්ලකය. වර්තමානයේ ගන්නා මේ තීරණ හරිද නැද්ද බලන්නට සිදුවන්නේ මතු පරපුරටය. එවිට රටක් ඉතිරි වී තිබුණොත් ඒ රට ශ්‍රී ලංකාව නොවන්නට වුවද බැරිකමක් නැත.

ශිරාන් රණසිංහ

****

ලංකා ඛනිජ තෙල් සංස්ථා පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර

තෙල් ඒකාධිකාරිය ඈවර කර දමන අවසන් තුරුම්පුව

ඉකුත් 28 වැනිදා අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වුණා. පොලිසිය හමුදාව දාලා තෙල් බවුසර් දහයක් විතර එළියට යවන්න කටයුතු කළා. මර්දනය කරලා අපේ සටන නවත්තන්න බෑ. තෙල් සංස්ථාව විකිණීමට එරෙහිව වෘත්තීය සමිති ගෙන යන සටන අපි නතර කරන්නෙ නෑ.

කංචන විජේසේකර ඇමැතිවරයා හිතනව නම් මර්දනය මගින් මේ සටන නතර කරන්න ඒක කරන්න බෑ. කවදහරි දවසක මේවට වන්දි ගෙවන්න වෙයි. නුඹලට වන්දි ගෙවන්න වෙයි. අපිට සේවා ස්ථානයට යන්න තහනම් කරලා. කොළොන්නාව, මුතුරාජවෙලට, සපුගස්කන්දට හමුදාව, පොලිසිය දාලා. අපිව අනිවාර්ය නිවාඩු යවලා. නමුත් තෙල් සංස්ථාව විකිණීමට මේ පාලකයන්, ඇමැති ගන්න උත්සාහය අපි පරාජයට පත්කරනවාමයි.

****

ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල

තෙල් ඒකාධිකාරිය ඈවර කර දමන අවසන් තුරුම්පුව

ලෝක කම්කරු නීතියටත් ලංකාවේ කම්කරු නීතියටත් පටහැනිව පාලකයන් වෘත්තීය සමිති මර්දනය කරන්න හදනවා. එදා 28 වැනිදා වර්ජන තීරණ ගන්න කලින් ඇමැතිවරයා ගෙන් සාකච්ඡාවක් ඉල්ලුවා. දුන්නෙ නෑ, මේ අය හදන්නේ මර්දනයෙන් වෘත්තීය අයිතීන් යටපත් කරන්න. මේ රාජ්‍ය සම්පත් විකුණන්න අපි ඉඩ දෙන්නේ නෑ. සියලුම වෘත්තීය සමිති සමග එකතුවෙලා මෙය පරාජයට පත්කරනවා.

****

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජගත් විජේගුණරත්න

තෙල් ඒකාධිකාරිය ඈවර කර දමන අවසන් තුරුම්පුව

තෙල් සංස්ථාව මේ වනවිට ලාබ ලබන රාජ්‍ය ආයතනයක්. පෙබරවාරි මාසෙ රුපියල් කෝටි 900ක ලාබයක් ලැබුවා.

මාර්තු මාසයෙදි ඒ ලාබය රුපියල් කෝටි 1300ක් දක්වා වැඩි වුණා. එහෙම ආයතනයක් විදේශ සමාගම් තුනකට විකිණීම අපරාධයක්. මේ රටේ වැඩිම ලාබ ලබන ඉන්ධන හල් 450ක් තමයි ඒ සමාගම්වලට දෙන්නෙ. තෝරාගත් ස්ථාන 150ක අලුත් ෂෙඩ් ඉදිකරන්නත් ඉඩ දෙනවා. අපි විශ්වාස කරනවා මේ විකිණිල්ලෙන් සමහර අයගේ ගිණුම්වලට ඩොලර් එනවා. මේ විකිණිල්ලට අපි ඉඩ දෙන්නෙ නෑ.

advertistmentadvertistment
advertistmentadvertistment