තෙල් ගන්න ඇමරිකාවෙන් ඉල්ලූ ණය මුදලෙනුත් රු. මි. 35500ක කොමිස් මුදලකට අනුමැතිය අරන් – අනුර කුමාර දිසානායක

417

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අත්ව ඇති අවාසනාවන්ත ඉරණම මෙරට ආර්ථිකය කඩාවැටීමට හා සමපාත යැයි ජාතික ජන බලවේගය කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (29 දා) පැවසීය.

ත‍්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි යළි පවරාගැනීමට ක‍්‍රියා කරන බවට උදම් ඇනූ වත්මන් ඇමැති උදය ගම්මන්පිල මහතා තවමත් එය කර ගැනීමට නොහැකිව සිටින බවද හෙතෙම කීය.

තෙල් ටැංකි නවීකරණයට ගෙනා කැබිනට් පත‍්‍රිකාව රනිල්ගේ රජය අවලංගු කළා

හිටපු ඇමැතිවරයකු වූ චන්දිම වීරක්කොඩි මහතා එම තෙල් ටැංකි 16 ක් නවීකරණය කිරීමට කැබිනට් පත‍්‍රිකාවක් ගෙන ආවද එය අවලංගු කිරීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ රජය ක‍්‍රියා කළ බව විදුලි බල හා බල ශක්ති පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය. මෙම තෙල් ටැංකි සියයෙන් වසරකට ඩොලර් අනූනවදහසක් වැනි මුදලක් පමණක් ලැබෙන බව පැවසූ ඒ මහතා එම තෙල් ටැංකි සම්බන්ධයෙන් රජය ලබා දෙන විසඳුම කුමක්දැයි විමසා සිටියේය.

ඩොලර් නැතිව තෙල් නැව දින 6 ක් මුහුදේ

මෙරටට තෙල් ආනයනය සඳහා ණයවර නිකුත් කරන්නේ නම් විදේශ බැංකුවකින් සියයට තුනක ඇපයක් තැබීමට සිදුවීම කනගාටුවට කරුණක් බවත් පසුගිය ජුලි මාසයේ පැමිණි තෙල් නැවක් ඩොලර් නොමැති වීම හේතුවෙන් දින හයක් තිස්සේ ගොඩබෑමට නොහැකි වූ බවද හෙතෙම කීය.

ඇමරිකානු සමාගමකින් පසුගියදා තෙල් මිලදී ගැනීමට ඩොලර් මිලියන 2500 ක ණයක් ලබාගැනීමට ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාව මගින් ඩොලර් මිලියන 175 ක කොමිස් මුදලක් ලබා දීමට අනුමැතිය ලබාගෙන ඇති බවද ඒ මහතා කීය.

රුපියල් මිලියන තිස්පන්දහස් පන්සීයක් වන එම කොමිස් මුදල පුද්ගලයින් රැුසක් අතර බෙදී ගොස් ඇතැයිද ඒ මහතා අනාවරණය කළේය.

ඛනිජ තෙල් පනත සංශෝධනය කිරීමට කටයුතු කරන්නට යන බවත් ඊට හේතුව වී ඇත්තේ මෙරට සතු තෙල් අධිකාරි බලය වෙනත් පාර්ශවයකට පැවරීමට විය හැකි බවත් ඒ මහතා පැවසීය.

මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක් ගැනීමට ගොස් සිටින බවත් එහිදී ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳවද ඉන්දියාව සමග ගිවිසුම් ගතවීමට නියමිත දැයි අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීවරයා ප‍්‍රශ්න කළේය.

ලෝකයේ තිබෙන බංකොලොත්ම ඛනිජ තෙල් සංස්ථාව ශ‍්‍රී ලංකාව සතු බවත් ඉදිරියේදී තෙල් ආනයනය, පිරිපහදුව සහ බෙදාහැරීමේ ඒකාධිකාරිය බිඳ දැමීමට ආණ්ඩුව කටයුතු කරන්නට යන බවත් අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment