තෙල් ගන්න ඉන්දියාවෙන්  චීනයෙන් ඩොලර් බිලියනයක  ණයක් ඉල්ලයි

218

වසරේ ඉතිරි මාස හත සඳහා ඉන්ධන ලබා ගැනීම පිණිස ඉන්දියාවෙන් සහ චීනයෙන් ඩොලර් බිලියනයක ණය සහනයක් ලබා ගැනීම සඳහා ලක් රජය කටයුතු ආරම්භ කර තිබේ.

 මෙහිදී චීනයෙන් ඩොලර් මිලියන 500 ක් ද ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක්ද ලබා ගැනීමට නියමිතය. මේ අනුව දැනට ලැබෙමින් පවත්නා ඉන්ධන තොග නිමවීමෙන්ද පසු අඛණ්ඩ ඉන්ධන සැපයුමක් ජනතාවට ලබා දීමට හැකි වෙතැයි රජය විශ්වාස කරයි. ඉන්දියාව විසින් දැනටමත් පෙට්‍රල් සඳහා ණය සහනාධාරයක් ලබා දී ඇති අතර දැනට වැය වෙමින් පවතින්නේ එහි අවසන් ඩොලර් මිලියන 200 ක කොටසය.

 මේ අතර රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා භාණ්ඩාගාරය කරන ලද ඉල්ලීමට තවමත් ප්‍රතිචාර ලැබී නැත. අනවශ්‍ය පරිදි ඉන්ධන ගබඩා කිරීමෙන් වළකින ලෙස බලශක්ති ඇමැති කංචන විජේසේකර ඉල්ලීමක් කර තිබේ. පෙර තිබුණු තත්ත්වයන්ට සමපාතව පිටරටින් ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000 ක් ගෙන්වූ විට එයින් ටොන් 4000 බැගින් දෛනිකව බෙදාහැරීම සිදුවූ බවත් නව තත්ත්වයන් යටතේ දිනකට ඉන්ධන මෙටි්‍රක් ටොන් 6000 ක් හෝ 7000 ක් බැගින් බෙදා හැරීමට සිදුව ඇති බවත් ඒ නිසා වහ වහා ඉන්ධන අවසන් වන අතර වහ වහා පිටරටින් ඉන්ධන ගෙන්වීමට සිදුව ඇති බවත් විජේසේකර මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment