තෙල් ගවේශන ප‍්‍රවර්ධනයට දුන් කෝටි 4ක් වතුරේ

507

මන්නාරම් ද්‍රෝණියේ එම්. 2 බිම් කොටසේ ගවේෂණ කටයුතු හා ස්වාභාවික වායු වාණිජමය වශයෙන් නිපදවීම සඳහා අලෙවි ප‍්‍රවර්ධන වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 46.61ක් වැයකර තිබුණ ද එම අලෙවි ප‍්‍රවර්ධන කටයුතු අසාර්ථක වී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් 2019 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි.

මෙකී අලෙවි ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා 2016 වර්ෂයේ දී ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීම මගින් අයි. එච්. එස්. ග්ලෝබල් සමාගම තෝරා ගෙන තිබුණි. ඒ සඳහා 2016 වර්ෂයේ දෙසැම්බර් මස සිට 2018 වර්ෂයේ අගෝස්තු මස දක්වා අලෙවිකරණ ව්‍යාපාරයක් කි‍්‍රයාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 300,000ක් හෙවත් රුපියල් මිලියන 46.61ක් වැය කර තිබුණ බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. නමුත් එම අලෙවි ප‍්‍රවර්ධන කටයුතු අසාර්ථක වී තිබූ බව ද විගණන වාර්තාවේ දැක්වෙයි.

මන්නාරම් ද්‍රෝණියේ ‘එම් 2’ ගවේෂණ බිම් කොටසේ ඛනිජ තෙල් ගවේෂණ කටයුතු සඳහා 2007 වර්ෂයේ දී ජාත්‍යන්තර ලංසු කැඳවීම් වටයකින් පසු කෙයාර්න් ලංකා පුද්ගලික සමාගම තෝරාගෙන තිබුණි. 2011 වර්ෂයේ දී සිදු කරනු ලැබූ කැණීම්වලින් ස්වාභාවික වායු නිධි දෙකක් සොයාගෙන තිබූ බව ද විගණන වාර්තාවේ දැක්වෙයි. කෙසේ වුවද මෙම සමාගම විසින් මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ කටයුතු අතරමග නවතා 2015 වර්ෂයේ ඔක්තෝබර් මස 15 වැනිදා ගිවිසුම අත්සන් කර තිබුණි. එතැන් සිට වර්ෂ 04ක කාලය මුළුල්ලේ කිසිදු ප‍්‍රගතියක් ලබාගෙන නොතිබූ අතර එය අතරමග නවතා දමා තිබුණි. ආයෝජකයින් විසින් ගවේෂණ කටයුතු අතරමග නවතා දැමීම හේතුවෙන් නැවත නැවත ලංසු කැඳවීමේ වට ක‍්‍රියාත්මක කිරීමට සිදුවී ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. ඒ නිසා අධික වශයෙන් අලෙවි ප‍්‍රවර්ධන වියදමක් දැරීමට සිදුවී තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි- ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment