තෙල් ටැංකි ඉන්දියාවට දුන්නා වගේ නෙවෙයි ගන්න අමාරුයි… බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල

234

ආණ්ඩුව ඇමරිකානු සමාගමක් සමග ගිවිසුමකට එළඹීම, ඉන්දීය විදේශ ලේකම්වරයා ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීම සහ ඛනිජ තෙල් සංවර්ධන නමින් වූ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම යන කාර්ය තුනම බලශක්තිය හා සම්බන්ධ වී තිබේ. එම නිසා බලශක්ති අමාත්‍යවරයා වූ උදය ගම්මන්පිල මහතා වෙත සියලූ පාර්ශ්වයන්ගේ අවධානය යොමු වී තිබෙන්නේ නිතැතිනි.

ගම්මන්පිල ඇමැතිවරයා ජාතිකවාදී මත දරන්නකු වීම නිසා එම අවධානය වැඩිදුරටත් තීව‍්‍ර වී ඇති බවක් ද දැකගත හැක. එබැවින් ඉහත සඳහන් කාරනා පිළිබඳව ගම්මන්පිල ඇමැතිවරයාගෙන් විමසීමට අදහස් කළෙමු. ඇමැතිවරයා එම කාරනා සහ යෝජනා සහ චෝදනා පිළිබඳව දැක්වූ අදහස් මෙසේය.

ඛනිජතෙල් සංවර්ධන පනත ගෙනාවේ රට සතු තෙල් සහ ගෑස් ගොඩ ගැනීමට බව ඔබ පවසනවා. නමුත් වෘත්තීය සමිති කියන්නේ තෙල් සංස්ථාවේ ඒකාධිකාරිය බිඳ දැමීමට ගෙනා පනතක් බවයි. ජනතාවට ඇත්ත කියන්නේ කවුද?

මේ පනත් කෙටුම්පත ජූලි 27 දින ගැසට් මගින් ප‍්‍රසිද්ධ කළා. දැන් පාර්ලිමේන්තුවේ සම්මත කරලා ඉවරයි. ඒ පනතින් ඛනිජතෙල් සංස්ථාවේ ඒකාධිකාරිය අවසන් කරන බව පැවසුවත් එහි ඛනිජතෙල් සංස්ථාව කියන වචනයවත් නෑ. මම කියන්නේ ඇත්තද ඒ අය කියන්නේ ඇත්ත ද කියන එක පනත කියවලා ජනතාවට තීරණය කරන්න පුළුවන්. ඔය වෘත්තිය සමිති විසින් මීට කලින් තෙල් හිඟයක් ඇති වෙන බවට බොරුවක් ප‍්‍රචාරය කළා. සංස්ථාව පෞද්ගලීකරණය කරන බවට බොරුවක් ප‍්‍රචාරය කළා. මම ත‍්‍රිකුණාමලයේ දී ඉන්දියානු විදේශ ලේකම් සමග තෙල් ටැංකි පිළිබඳ ගිවිසුමක් අත්සන් කරන බවට බොරුවක් ප‍්‍රචාරය කළා. දැන් විදේශ ලේකම් ඇවිත් ගිහින් ඉවරයි. ගිවිසුමක් අත්සන් කළේ නෑනෙ. මේ අය සිතා මතා සැලසුම් සහගතව බොරු කියන්නේ ජනතාව තණකොල කනවා කියලා හිතාගෙන ද කියන ප‍්‍රශ්නය මතු වෙනවා.

ඔබතුමා හොඳ තැනකට ආවේ. ඇත්තටම ඉන්දියානු විදේශ ලේකම් ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි බලන්න ගියේ ඇයි?

විපක්ෂයේ මන්ත‍්‍රිවරු නම් කිව්වේ එතුමා එක්ක මමත් හෙලිකොප්ටරයක නැගලා ත‍්‍රිකුණාමලයේ ගියා කියලානෙ. අඩුම ගණනේ එතුමා මා සමග සාකච්ඡාවක්වත් ඉල්ලූවේ නෑ. එතුමා ටැංකි බලන්න ගියේ ඇයි කියලා අහන්න ඕනෑ එතුමාගෙන් මිස මගෙන් නොවේ. මට එකක් කියන්න පුළුවන්. එජාපය 2003 පෙබරවාරි 7 දින අත්සන් කළ ගිවිසුමෙන් වසර 35කට තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට දුන්නා. 1987 ඉන්දු – ලංකා ගිවිසුමෙන් තෙල් ටැංකි සදහටම පාලනය කරන්නේ ඉන්දියාව සමගයි කියා පොරොන්දු වුණා. ඉතින් තමන්ට භුක්තිය හිමි දේපලකට යන්න එතුමා කාගෙන්වත් අවසර ගන්න ඕනෑ නෑ. තෙල් ටැංකි ඉන්දියාවට ලබා ගැනීම පිළිබඳ කරන්න සාකච්ඡාවක් නෑ. ඒවා දැන් දීලා ඉවරයි. මම සාකච්ඡා කරන්නේ ඒවා ආපසු ලබා ගන්නයි.

නමුත් විපක්ෂය කියන්නේ ඒ අය බදු දුන්නේ ටැංකි 15ක් පමණයි. ඒකත් 2023 දී යළි ලංකාවට අත් වෙනවා කියලානෙ. දැන් ඇත්ත කියන්නේ කවුද?

තෙල් ටැංකි ඉන්දියාවට දුන්නා වගේ නෙවෙයි ගන්න අමාරුයි…  බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල

එජාපය ටැංකි 99ම වසර 35කට බදු දුන් ගිවිසුම මම පාර්ලිමේන්තුවේ දී සභාගත කළා. ටැංකි 15ක් පමණක් 2023 දී ආපසු ලැබෙන අයුරින් බදු දුන් ගිවිසුම සභාගත කරන්න කියා මම පසුගිය 6දා කබීර් හෂීම් මන්ත‍්‍රිතුමාට අභියෝග කළා. එයා අභියෝගය භාර අරගෙන ගියා ගියාමයි. එදා දවස ඉවර වෙනතුරු ගිවිසුමත් නෑ, කබීර් මන්ත‍්‍රිතුමාත් නෑ. එජාපය විසින් 1987 දී සහ 2003 දී අත්සන් කළ ඉන්දු – ලංකා ගිවිසුම් මම www.udayagammanpila.com වෙබ් අඩවියට එක් කර තිබෙනවා. ඒවා බැලූවාම කවුද ඇත්ත කියන්නේ කියන එක ජනතාවටම තීරණය කරන්න පුළුවන්.

හොඳයි. දැන් ඒ තෙල් ටැංකි යළි ලබාගන්න ඔබ අරගත් පියවර මොනවාද ?

හොඳට මතක තබා ගන්න. ඕනෑම දෙයක් දෙනවා තරම් ලෙහෙසි නෑ ආපසු ගන්න එක. විශේෂයෙන්ම ඉන්දියාව වැනි බලවත් රටකට ලබා දුන් දෙයක් ආපසු ගැනීම අතිශයින්ම දුෂ්කරයි. ඒ නිසා මට වසරකට වැඩි කාලයක් සාකච්ඡා පවත්වන්න වුණා. ඉන්දියානු පිල ඉන්දියාවට ආදරය කරන තරමටම අපි ලංකාවට ආදරය කරන නිසා තමයි සාකච්ඡා මෙතරම් දිගු කලක් ඇදුනේ. සාමාන්‍යයෙන් වෙන්නේ බලවත් රටේ කොන්දේසි වලට අනිත් රට එකඟ වෙලා දින කිහිපයකින් නැතිනම් සති කිහිපයකින් සාකච්ඡා අවසන් වෙනවා. දෙපැත්තම තදින්ම තමන්ගේ රට වෙනුවෙන් පෙනී සිටින නිසා සාකච්ඡා ඉදිරියට ඇදෙනවා. නමුත් අපට වාසි ගිවිසුමකට එළැඹෙන්න පුළුවන් බවට අපට විශ්වාසයි.

සිරිමාවෝ මැතිණියගේ ආණ්ඩුවත් පේසාලේ තෙල් ගවේෂණය කළානෙ. එදා අවශ්‍ය නොවුණු පනතක් අද අවශ්‍ය ඇයි?

1957 සිට තෙල් ගවේෂණය කළත් මුහුදු පතුලේ සැ`ගවී තිබෙන මේ සම්පත ගොඩගන්න කවුරුවත් සමත් වුණේ නෑනෙ. ඒ සඳහා ආයෝජනය කිරීමට අවශ්‍ය ප‍්‍රකෝටි ගණනක ධනය ලාංකිකයින් සතුව නෑ. ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට නම් නිශ්චිත නීති රාමුවක් තිබෙන්න ඕනෑ. ඒ වගේම මෙයින් උපයන ධනයෙන් නිලධාරින් සහ දේශපාලකයින් වෙනුවට රට පොහොසත් වන බවට වග බලා ගන්න ඕනෑ. ඒ සඳහා අවශ්‍ය විධිවිධාන පනතේ අඩංගු කළා. නැතිනම් තෙල් සොයා ගත් අප‍්‍රිකානු රටවල ඉරණම අපටත් අත්වෙන්න ඉඩ තිබෙනවා. ඒ රටවල් දුප්පත් වුණත් නිලධාරින් පොහොසත්.

එදා පේසාලේ තෙල් ගවේෂණය කළත් ඛනිජතෙල් ලැබුණේ නෑනෙ. ඒ නිසා තෙල් සහ ගෑස් ගොඩ ගැනීමත් ”ගෝනි එළුවා” නාට්‍ය වගේ බොරුවක් ද කියලා ජනතාවට සැකයක් මතු වෙලා තිබෙනවා. ඇත්තටම තෙල් සහ ගෑස් ගොඩගන්න පුළුවන් ද?

1970 දශකයේ දී ඇත්තටම පේසාලෙන් ගෑස් ලැබුණා. නමුත් ඒ යුගයේ ගෑස් ඉතාම ලාභයි. එතරම් ගැඹුරකින් ගෑස් ගොඩට ගැනීමට යන වියදම ඉතාම අධිකයි. ඒ නිසා ඒ ව්‍යාපෘතිය ලාභදායි වුණේ නෑ. දැන් අපි මන්නාරම් ද්‍රෝණියේ එම්2 කැබැල්ලේ ගෑස් සහ තෙල් සොයාගෙන තිබෙනවා. දැන් අපට ආයෝජකයෙකු සොයා ගත යුතු වෙනවා. අපි තෙල් කැණීමට යන්නේ අතිශයින්ම අඳුරු යුගයක. අපට ආයෝජකයෙකු සොයා ගැනීම දුෂ්කර කරන අභියෝග හතරක් තිබෙනවා. පළමු අභියෝගය තමයි ලෝකය තෙල් අත්හරිමින් පුනර්ජනනීය විදුලිය කරා යොමු වීම. 2015 දී අත්සන් කළ පැරිස් සම්මුතිය හරහා 2050 වන විට ඛනිජතෙල් අත්හැරීමට ලෝකයේ බහුතර රටවල් ප‍්‍රතිඥා දී තිබෙන්නේ.

දෙවන අභියෝගය තමයි කොරෝනා වසංගතය ඇති කළ ලෝක ආර්ථික අර්බුදය හේතුවෙන් ලෝකය පුරා ආයෝජකයින්ට ධනය හිඟවීම. ලංකාවේ ආර්ථිකය අතිශයින්ම දුර්වලවීම අපි මුහුණපාන තුන්වන අභියෝගයයි. ලංකාවේ ගෑස් ඒකාධිකාරිය නිව් ෆෝට්රස් එනජි සමාගම ලබා දීම හේතුනේ ලංකාවේ ගෑස්වලට වෙළඳපොළක් අහිමි වීම සිව්වන අභියෝගයයි. ඒ ගැටලූව විසඳා ගන්න අපි දැන් මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරනවා.

අපේ රටේ නිෂ්පාදනය කරන බොහෝ දේ ඊට වඩා ලාභයට පිටරටින් ගේන්න පුළුවන්. අපේ තෙල් පිටරටින් ගේන ඒවාට වඩා මිල අධික වේවිද?

තෙල් සඳහා මිල තීරණය වන්නේ ජාත්‍යන්තර වෙළඳපොළේ. වත්මන් ගෑස් මිලෙන් 50%ක පිරිවැයකට ගෑස් ද බොරතෙල් මිලෙන් 40%ක පිරිවැයට බොරතෙල් ද නිෂ්පාදනය කරන්න අපට පුළුවන්. ලෝක වෙළඳපොළේ මිලට වඩා අපේ නිෂ්පාදන පිරිවැය වැඩි නම් කිසිම ආයෝජකයෙකු ලංකාවට එන්නේ නෑනෙ. පසුගිය මාසවල අපි ජාත්‍යන්තරව කළ ප‍්‍රචාරණ කටයුතු නිසා ලෝකයේ දැවැන්තයින් දැන් ලංකාවට අවධානය යොමු කරලා තිබෙන්නේ.

යුගදනවි විදුලි බලාගාරය සම්බන්ධයෙන් ආණ්ඩුව මෑතක දී ඇති කරගත් ගිවිසුමට ඔබේ විරෝධය එල්ල වුණු බවත් ජනපතිතුමන් සමග සාකච්ඡාවක් ඉල්ලූ බවත් වාර්තා වුණා. ඔබට ඒ සාකච්ඡාව ලැබුණා ද?

යුගදනවි ගිවිසුම පිළිබඳ අපේ ස්ථාවරය වාසු, ඩලස් සහ විමල් ඇමැතිතුමන්ලා සහ මම ඇමැති මණ්ඩලයට ලිඛිතව භාර දුන්නා. ඒ නිසා ඒ පිළිබඳ අපේ ස්ථාවරය ජනපතිතුමන් දන්නවා. ආණ්ඩුවේ සහෝදර පක්ෂ 10 එකතු වී මේ පිළිබඳ ජනපතිතුමන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටීමට තීරණය කළා. ඉදිරියේදී ජනපතිතුමන් අපට වෙලාවක් ලබා දේවි.

රටට එරෙහි ගිවිසුම් වලට ඔබ අත්සන් නොකරන බවට ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් සිදු කළා. මීට ප‍්‍රථම එවැනි ගිවිසුමක් අත්සන් කිරීමට ප‍්‍රතික්ෂේප කල බැටී වීරකෝන් ඇමැතිතුමාට ඇමැති ධුරය අහිමි වුණා. ඒ දේම ඔබටත් සිදුවේවි ද?

මට කවදාවත් මගේ හෘද සාක්ෂියට බොරු කරන්න බෑ. මගේ හෘද සාක්ෂිය විසින් මගේ දේශපේ‍්‍රමය ප‍්‍රශ්න කළොත් මට සැඳෑසමය සැනසිල්ලේ ගත කරන්න බැරි වෙනවා. ඒ සැනසිල්ල මට ඇමැතිකමට වඩා ලොකුයි. ඒ නිසා ඇමැතිකම වෙනුවෙන් දේශපේ‍්‍රමය කැප කරන්න මම සූදානම් නෑ. අගමැතිතුමාට සහ ජනපතිතුමාට එක් වී ඕනෑම මොහොතක මාව ඇමැති ධුරයෙන් ඉවත් කළ හැකි බව දනිමින් තමයි මම කියන කරන දේ කරන්නේ.

සාකච්ඡා කළේ
එරික් ගාමිණි ජිනපි‍්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment