තෙල් ටැංකි ගිවිසුමට නීතිපති අනුමැතිය ගත්තේ වැදගත් ලේඛනයක් නැතිව

357

* බෙංගමුවේ නාලක හා ඇල්ලේ ගුණවංශ හිමිවරුන්ගෙන් පෙත්සමක්

රජය විසින් ති‍්‍රකුණාමලය චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු සමාගමකට ලබාදීම සඳහා අත්සන් කළ ගිවිසුමට නීතිපතිවරයාගේ අනුමැතිය ලබාගෙන ඇත්තේ එම ගිවිසුමට අදාළ ඉතා වැදගත් ලේඛනයක් ඉදිරිපත් කිරීමකින් තොරව බවට අනාවරණය වී ඇතැයි පෙන්වා දෙමින් බෙංගමුවේ නාලක හා ඇල්ලේ ගුණවංශ හිමිවරු ඊයේ (12 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

තමන් වෙත ඉදිරිපත් කළ ලේඛන සලකා බලමින් නීතිපතිවරයා එකී ගිවිසුමට අදාළ උපදෙස් ලබාදී ඇති බැවින් ඔහු ලබාදුන් උපදෙස්වල වලංගුභාවය හා ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ වගකීම පිළිබඳ ගැටලූවක් පවතින්නේ යැයි ද නීතිඥ දර්ශන වේරදුවගේ මහතා මගින් ගොනු කළ එම මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් අධිකරණයට පෙන්වා දී තිබිණි.

ඉන්දියානු සමාගමකට ති‍්‍රකුණාමලය චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය ලබාදීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය හා එකී ගිවිසුම බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබුණි. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඇතුළු 47 දෙනකු නම් කර තිබිණි.

එකී ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ බලශක්ති අමාත්‍යාංශය විසින් අතිවිශාල මුදලක් වැය කර තෙල් ටැංකි යළි රටට යන මාතෘකාව යටතේ දැන්වීම් පළකර ඇති බැවින් ඒ සඳහා කොපමණ මුදලක් වැය කළේ දැයි ගිණුම් වාර්තා කැඳවීමට නියෝගයක් කරන්නැයි ද ඉල්ලා තිබූ පෙත්සම්කරුවන් සිය පෙත්සම විභාග කිරීම සඳහා විශේෂ විනිසුරු මඬුල්ලක් පත් කරනා ලෙසට ද ඉල්ලා තිබිණි.

එයට අමතරව එකී ගිවිසුමට අදාළ සියලූ ලේඛන හා නීතිපති උපදෙස් ඇතුළු වාර්තා අධිකරණයට කැඳවා නිසි විමර්ශනයක් සිදු කිරීමට පියවර ගන්නා ලෙසට ද පෙත්සම්කරුවන් ඉල්ලා තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment