තෙල් නෑ – පොහොර නෑ වී ගොවියෝ යල කන්නය අත්හරිති

234

වතුර තිබුණට මදි රසායනික පොහොරත් ඕනෑ!

හාල් මිල දෙගුණයකින් ඉහළ යෑමේ අවදානමක්…

වන්දි මුදලක් දෙනවා කීවාට ඒකත් නෑ.

පොහොර ඉල්ලා ගොවීන් නඟන අඬහැරය රජරට ඇතුළු වී වගාකරන පෙදෙස්හි ගොවිබිම්වලින් යළිත් වතාවක් උස් හඬින් ඇසෙන්නට පටන්ගෙන තිබේ. ඒ යල් කන්නයේ වී වගාව වෙනුවෙනි. වාරි පහසුකම් යටතේ වී වගාකරන බොහෝ ප්‍රදේශවල ජලාශයන්හි මේ වනවිට ජලය නිකුත්කර සති කිහිපයක් ගතව තිබේ. එහෙත් වී වගාවට යොදන පොහොර වර්ග කිසිවක් තමන්ට මෙතෙක් ලැබී නැතැයි ගොවි ජනතාව කියා සිටිති. වගාවට අවශ්‍ය පොහොර කලට වේලාවට නොලැබීමෙන් සිදුවන්නේ පසුගිය කන්නයේ අත්වූ සන්තෑසියම බවද ඔවුහු පෙන්වා දෙති. මෙවරත් රසායනික පොහොර නොලැබෙන්නේනම් ගොවිතැන කරනවාට වඩා අත්හැර දැමීම වඩාත් යහපත් බවයි බොහෝ ගොවීන්ගේ මතය වී තිබෙන්නේ. ඒ අනුව මෙවර යල කන්නයේ වී වගාව නොකර ඇනහිටින්නට ඉඩ තිබෙන බවයි ගොවි සංවිධාන සහ ගොවි ජනතාව පෙන්වා දෙන්නේ.

“රසායනික පොහොර නොලැබෙනවානම් අපි යල් කන්නයේ වී වගාව කරන්නේ නෑ. වගාව අත් හරිනවා මේ විදියට දිගින් දිගටම පාඩු ලබන්න අපිට බෑ.” රජරට ගොවිබිම් කරා ගිය ගමනේදී ගොවීන් බොහෝ දෙනකු අප සමඟ එසේ කියා සිටියහ.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් වී වගා කෙරෙන කඹුරු ප්‍රමාණය හෙක්ටයාර් 60,000ක් පමණය. පරාක්‍රම සමුද්‍රය, ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල යන මහවැව් යටතේ සහ ඇලහැර අමුණෙන් පෝෂණය වන ඇලහැර මහ ගොවිජනපදයේ කුඹුරුවලට සහ මහවැලි කලාපවල කුඹුරුවලට යල කන්නයේ වී වගාව සඳහා මෙතෙක් ජලය නිකුත්කර නොමැත. එයට හේතුව වගාවට අවශ්‍ය පොහොර සම්බන්ධයෙන් කාරණයට මෙතෙක් විසඳුමක් නොලැබීමය. එහෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් වැව්වල මේ වනවිට ජලය නිකුත් කිරීම ආරම්භ කර ඇත.

එලෙස ජලය නිකුත් කළද ගොවීන් මෙතෙක් වගා කටයුතු ආරම්භ කිරීමට ගොවීන් පියවර ගෙන නොමැති බව අපට දැනගන්නට ලැබිණි. පොහොර ප්‍රශ්නය ඇතුළුව ගොවිතැනට අදාළව තමන් මුහුණදෙන මූලික ප්‍රශ්න කිහිපයකට විසඳුම් ලබා දෙන්නැයි ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති. මේ ගොවීන්ගේ ඉල්ලීම වනුයේ පොහොර ප්‍රශ්නය ඇතුළු එම ඉල්ලීම්වලට කඩිනමින් විසඳුම් ලබාදීමෙන් පසුව යල කන්නයේ වගාව සඳහා වැව්වලින් ජලය නිකුත් කිරීම ආරම්භ කරන ලෙසය. පසුගියදා පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාර අධිකාරී කාර්යාලයේ පැවැති දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ රැස්වීමකදී දිස්ත්‍රික්කයේ ගොවි නායකයන් මේ බව රජයෙන් ඉල්ලා සිටියහ. යල කන්නයේ වී වගාව ආරම්භ කිරීමට පෙර රසායනික පොහොර සහ කෘෂි රසායන ගොවීන්ට ලබාදෙන ලෙසත් එමෙන්ම පසුගිය මාස් කන්නයේ කාබනික පොහොර භාවිත කිරීම නිසා අඩුවූ අස්වැන්න වෙනුවෙන් ලබාදීමට රජය පොරොන්දු වී ඇති වන්දි මුදලද නොපමාව ලබාදෙන ලෙසත් ගොවීහු ඉල්ලීම් කළහ. මෙම ඉල්ලීම්වලට කඩිනම් විසඳුමක් ලබාදෙන තෙක් යල කන්නයේ වී වගාව සඳහා දිස්ත්‍රික්කයේ මහ වැව්වලින් ජලය නිකුත් කිරීම ආරම්භ නොකරන ලෙස පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් ඉල්ලා සිටීමටද ගොවි නායකයෝ මෙහිදී තීරණය කර තිබේ.

තෙල් නෑ - පොහොර නෑ වී ගොවියෝ යල කන්නය අත්හරිති

එහිදී අදහස් දැක්වූ පොලොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති හා පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා

“දැන් යල කන්නයේ වගාව පිහිටුවීමට කාලයත් ඉක්මයමින් තිබෙන්නේ. මැයි මාසයේ පස් වෙනිදට කලින් වගාව ආරම්භ නොකළොත් කන්නයට පමා වෙනවා. එහෙම පහුවෙලා වගා කරලා වැඩක් නෑ. අනිවාර්යෙන්ම කෘමිහානි වසංගත රෝග ආදියට වගාව ගොදුරුවෙනවා. ඒ බව අත්දැකීම් තියෙන ගොවීන් හොඳින්ම දන්නා කාරණයක්. ඒ නිසා කන්නයට පහු නොවී වගාව කරන්න ඕන. නමුත් යල කන්නයේ වගාවට යෑමට පෙර ගොවීන් හැටියට අපිට මූලික ප්‍රශ්න තුනක් තිබෙනවා. ඒ තමයි රසායනික පොහොර, කෘෂි රසායන සහ පසුගිය කන්නයේ වගා හානි වෙනුවෙන් රජය ලබාදීමට එකඟ වී ඇති වන්දි මුදල. ඒවා අපිට කඩිනමින් ලබා දෙන්න. ඒ වන්දි මුදල් දෙනවා කියලා කියනවා විතරයි. කොපමණ මුදලක් දෙනවාද, දෙන ක්‍රමවේදය මොකක්ද ඒ කිසිම දෙයක් ගැන පැහැදිලි පිළිතුරක් නෑ. යල කන්නයේ වගාවට යන්න ලොකු කාලයක් නෑ. ඒ වගේම අඩුම තරමින් පසුගිය මාස් කන්නයේ අස්වනු අඩුවීම සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් තවම කරලා නෑ. නිලධාරීන් අස්වනු සමීක්‍ෂණ කළා. ඒවයේ ප්‍රතිඵලය මොකක්ද කියලා අපි දිසාපතිවරයාගෙන් අවස්ථා ගණනාවක විමසීම් කළා. නමුත් අපිට මේ වෙනතෙක් කිව්වේ නෑ. හැම වෙලේම කියන්නේ තවම ඒ කටයුතු අවසන් නෑ කියලා. මේ විදියට ආණ්ඩුවයි, නිලධාරීනුයි අපිව රවට්ටනවා. දැන් වැව්වල අවශ්‍ය තරම් වතුර තිබෙනවා. නමුත් වගාවට අවශ්‍ය මූලික යෙදවුම් ටික නැතිව වගාවට යන්න හැකියාවක් ගොවීන්ට නෑ. එම නිසා මේ ඉල්ලීම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන්න කියන ඉල්ලීමයි අපි කරන්නේ. කාබනික පොහොර භාවිතය නිසා ගොවීන්ට සිද්ධ වෙලා තියෙන දේ අද ඇස් පනාපිට පේන්න තිබෙනවා. අපි මේ ගැන මේ මුලදිම කිව්වා. අස්වැන්න අඩුවෙලා ගොවියා කබලෙන් ළිපට වැටෙනවා. රටේ වී හිඟයක් ඇතිවෙනවා. හාල් හිඟයක් ඇතිවෙනවා කියලා. නමුත් වගකිවයුතු කිසිම කෙනෙක් ඒ ගැන ඇහුම්කන් දුන්නේ නෑ. දැන් ජනාධිපතිතුමා පවා පිළි අරගෙන තිබෙනවා ගොවීන්ට රසායනික පොහොර නොදීම වරදක් කියලා.

රෑ වැටුණු වළේ අපිට දවල් වැටෙන්න බෑ. ඒ නිසා කන්නය ආරම්භ කිරීමට පෙර අපිට රසායනික පොහොර දෙන්න. වල් නාශක කෘමි නාශක ටික සහන මිලකට ලබාගන්න අවශ්‍ය වෙළඳපොළ වටපිටාව සකසන්න. අපි සූදානම් යල කන්නයේ වී වගාව කරන්න. එහෙම නොවුණොත් පසුගිය කන්නයට වඩා අන්ත තත්ත්වයත් මේ වතාවේ ඇතිවෙනවා. වගාව අසාර්ථක වෙලා අස්වැන්න අඩු වෙනඑක ස්ථිරයි. එම නිසා පොහොර ලබාදීම සම්බන්ධයෙන් ස්ථිර පොරොන්දුවක් අපිට ලැබෙනතෙක් අපිට වතුර එපා. රසායනික පොහොර නැත්නම් අපි මේ කන්නයේ කුඹුරු වගා කරන්නේ නෑ. ඒ නිසා මේ රටේ වී ගොවිතැන වළ පල්ලට යවන්න එපා කියන ඉල්ලීම අපි කරනවා. රසායනික පොහාර ලබාදීමේ ප්‍රශ්නය ඇතුළුව අපේ මූලික ප්‍රශ්න සම්බන්ධයෙන් අපිට පැහැදිලි පිළිතුරක් අවශ්‍යය. එහෙම නොවුණොත් මේ කන්නයේ වී වගාවෙන් වළකින්න අපට සිද්ධවෙනවා.”

පොලොන්නරුව ගිරිතලේ ව්‍යාපාර ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික පී. ආර්. යූ. විජේරත්න මහතාගෙන් යල කන්නයේ වී වගාව සම්බන්ධයෙන් අප කළ විමසුමකදී පිළිතුරු දුන්නේ මෙසේය.

“මේ ආණ්ඩුව බලයට පත්වුණේ ගොවියාට පොහොර සහනාධාරය නොමිලයේ දෙනවා කියලා. නමුත් මේ වෙනකොට නිකංදෙනවා කිව්ව පොහොරත් නෑ. මොනවත් නෑ. පොහොර අපිට ඔරොත්තු දෙන මුදලකට සල්ලිවලට ගන්නත් නෑ. වෙළෙඳපොළේ රුපියල් 1500ට තිබුණු පොහොර හොණ්ඩරය දැන් 45,000යි. ඩීසල් මිල ඉහළ ගිහින්. ඒ නිසා මේ කන්යේ සී සෑමට ඇතුළුව යන්ත්‍ර සූත්‍ර සඳහා විශාල මුදලක් වැයකරන්න වෙනවා. මේකයි තත්ත්වය ඉතින් අපි කොහොමද කුඹුරු ගොවිතැන් කරන්නේ. අවශ්‍ය කරන රසායනික පොහොර, කෘමිනාශක ලැබුනොත් විතරයි අපි මේ කන්නයේ වගාවට කුඹුරට බහින්නේ. මේ බව කියලා ගිරිතලේ ව්‍යාපාරයේ ගොවීන් සියලුම දෙනා අත්සන් කරලා දිස්ත්‍රික් ලේකම්වරයාට ලිඛිතව බාර දීලා තියෙනවා.”

තෙල් නෑ - පොහොර නෑ වී ගොවියෝ යල කන්නය අත්හරිති

මින්නේරිය ව්‍යාපාර ගොවි සංවිධානයේ ලේකම් අයි. එම්. එස්. ආර්. බණ්ඩාර මහතා මෙවර යල කන්නයේ වී වගාව සම්බන්ධයෙන් අප හමුවේ සිය අදහස් දැක්වූයේ මෙසේයි.

“පසුගිය මාස් කන්නයේ අපි වගා කළේ කාබනික පොහාර යොදලා. අපිට ලැබුණේ සියයට 30 විතර ඉතාම අඩු අස්වැන්නක්. මේ හේතුවෙන් ගොවීන් සෑම දෙනෙක්ම අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්නේ. පසුගිය කන්නයේ අපිට මේ විදියේ අඩු අස්වැන්නක් ලැබුණේ රජය ගත්තු වැරදි තීන්දු තීරණ නිසයි කියන එක අපි හොඳාකාරවම දන්නවා. ඒ නිසයි අපි මේ වගේ අසරණ තත්ත්වයකට පත්වුණේ. මේ විදියට ලබන කන්නෙත් අසරණ තත්ත්වයට පත්වෙන්න අපේ ගොවි ජනතාව කැමතිනෑ. ඒකට හේතුව යූරියා ඇටයක්වත් අපිට දකින්න නෑ. කෘමිනාශක නෑ. ඩීසල් මිල ඉහළ ගිහිල්ලා. මේ අනුව හෙක්ටයාරයක් වගාකරන්න විශාල මුදලක් වියදම් කරන්න සිද්ධ වෙනවා.ඒ නිසා රසායනික පොහොර දුන්නේ නැත්තම් අපි මේ වතාවේ කුඹුරු වගා කරන්නේ නෑ. ඒක ස්ථිරවම කියනවා.”

මහවැලි සී කලාපයේදී අපට මුණගැසුණු එහි ගොවි නායකයෙකු වන ජයන්ත රන්දෙණිය මහතා ප්‍රකාශ කළේ මෙවර යල් කන්නයේ වී ගොවිතැන අත්හැරෙන තත්ත්වයක් පෙනෙන්නට තිබෙන බවයි. එයට හේතුව පසුගිය මාස්කන්නයේ ලැබුණු අස්වනු අඩුවීම සහ යෙදවුම් මිල ඉහළ යෑම නිසා ගොවිතැන සඳහා විශාල මුදලක් දැරීමට සිදුවීම බවද ඒ මහතා කීය.

“මේ මහවැලි සී කලාපයේ ගොවීන් බොහෝ දෙනකුගේ අස්වැන්න මෙවර අඩුවුණා. එයට ප්‍රධාන හේතුව අවශ්‍ය රසායනික පොහොර නොමැතිවීම. වෙනදා හෙක්ටයාරයකින් වී කිලෝ 4000ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ගත්තු ගොවීන්ට මෙවර ලැබුණේ වී කිලෝ 3000කටත් අඩු ප්‍රමාණයක්. ඉදිරි යල කන්නයේ අස්වැන්න ඊටත් අඩුවේවි. මෙහෙම ගොවිතැන් කරලා වැඩක් නෑ කියලයි ගොවීන් කියන්නේ. පසුගිය කන්නයේ අස්වැන්න අඩුවීම වෙනුවෙන් රජය වන්දි මුදලක් දෙනවා කියලා කියනවා. නමුත් තවම ඒ මුදල් ලැබුණේ නෑ. මුදල් ලබාදෙන දිනයක් ගැනවත් හරි තොරතුරක් නෑ. ඒ විතරක් නොවෙයි මේ වෙනකොට රසායනික පොහොර තියා කිසිම පොහොරක් ගොවීන්ට ලැබිලා නෑ. ගොවීන් හරිම අසරණ තත්ත්වයකට පත්වෙලා ඉන්නේ.”

ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානයේ ප්‍රධාන ලේකම් නිහාල් වන්නිආරච්චි මහතාගෙන් යල කන්නයේ වී සඳහා මේ රටේ ගොවි ජනතාවගේ සූදානම කෙබඳුද යන්න විමසූ අවස්ථාවේදී ඔහු පිළිතුරු දුන්නේ මේ අන්දමටය.

“පසුගිය යල් කන්නයේ ගොවීන්ට රසායනික පොහොර නොදීමේ ප්‍රතිවිපාකය අපි අත්වින්දා. රටක් විදියට ලැබුණු ප්‍රතිඵලය අමුතුවෙන් කියන්න වුවමනා නෑ. මුළු රටේම වී අස්වැන්න සියයට පනහකට වැඩිය අඩුවුණා. මෑත ඉතිහාසයේ නොවූවිරූ අන්දමට පිටරටින් සහල් ගෙන්වන්න සිද්ධ වුණා. මේ දක්වා අඛණ්ඩව එය ක්‍රියාත්මක වෙනවා. එමගින් ජාතික ආර්ථිකයට මරු පහරක් එල්ල වුණා. කිව්වොත් නිවැරදියි. දේශීය කෘෂිකර්මාන්තය වළපල්ලට ගියා පමණක් නොවෙයි ගොවි ජනතාවගේ ආර්ථිකයත් එහෙම පිටින්ම බිඳවැටුණා. මේ කන්නයේත් ඒ තත්ත්වය තමයි වෙන්නේ. මම ගොවිතැන් කරන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් රාජාංගනය ජලාශය යටතේ. මේ වෙනකොට රාජාංගනය ජලාශයේ යල කන්නයේ වගාවට ජලය නිකුත් කරලා මාසයකට කිට්ටු වෙනවා. අප්‍රියෙල් පළමුවෙනිදා ජලය නිකුත්කළේ. කිසිම ගොවියෙකුට වගාවට අවශ්‍ය කිසිම පොහොර වර්ගයක් මේ වනතෙක් ලැබිලා නෑ. ඒ හේතුවෙන් ගොවීන් තවමත් වගාකටයුතු ආරම්භ කරලා නෑ. අපේ ජලාශය යටතේ ගොවි සංවිධාන 64ක් තියෙනවා. ඒ කිසිම ගොවියෙක් යල කන්නයේ වගාවට පොහොර දෙන දිනයක්වත් තවම දන්නේ නෑ. මේකයි ඇත්ත තත්ත්වය. ආණ්ඩුවේ ඇමැතිවරුයි නිලධාරීනුයි පුරසාරම් දොඩනවා පමණයි. මේ වතාවෙත් ගොවීන්ට වගාවට අවශ්‍ය පොහොර නෑ. ඒ නිසා මේ කන්නයේ වී වගාවට යොමුවෙනවාද නැද්ද කියලා තවම තීරණයක් නැති තත්ත්වයකයි ඉන්නේ.”

ගොවීන්ට අවශ්‍ය පොහොර සහ කෘෂි රසායන කලට වේලාවට නොලැබීමේ හේතුවෙන් ඇතිවී තිබෙන අර්බුදය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ ගොවි අරගල ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික ආර්. කේ. ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා-

තෙල් නෑ - පොහොර නෑ වී ගොවියෝ යල කන්නය අත්හරිති

“ආණ්ඩුව පසුගිය වතාවේ කළේත් ගොවියා අන්ත අසරණ තත්ත්වයට පත්කරලා අමාරුවේ දාපු එක. මේ වතාවේ කරන්න සූදානම් වෙන්නෙත් ඒ ටිකමයි. පොහොර නැත්නම් වතුර එපා කියන මතයේ පසුගිය කන්නයේ ගොවීන් හිටියා. නමුත් ආණ්ඩුව ගොවීන්ට පොහොර දෙනවා කියලා පොරොන්දු වුණ නිසා ගොවීන් කුඹුරට බැස්සා. ඒත් පොහොර ටික කලට වේලාවට ලැබුණේ නෑ. පසුගිය කන්නයට වඩා මේ කන්නයේ තත්ත්වය ගොඩක් වෙනස්. ඒ කන්නයේ ආණ්ඩුව රසායනික පොහොර ගෙන්වීම නතර කරනවා කියලා කියනකොට ගොවීන් සතුව කිසියම් ප්‍රමාණයක රසායනික පොහොර වර්ග තිබුණා. අම්පාර, මොණරාගල වගේ දිස්ත්‍රික්කවල බඩඉරිඟු, එළවළු, පලතුරු ආදිය වගාකරන ගොවීන් ළඟත් එවකට වෙළඳපොළේ පැවැතුණු මිලට රසායනික පොහොර වර්ග මිලදීගෙන තිබුණා. උදාහරණයක් විදියට යූරියා හොණ්ඩරය රුපියල් 1500ට වගේ මිලකට වෙළඳපොලේ මිලදීගන්න තිබුණා. මේ රසායනික පොහොරත් කාබනික පොහොරත් දෙකම යොදලා තමයි පසුගිය මාස්කන්නයේ සියයට පනහක පමණ වී අස්වැන්නක් ලැබුණේ. ඒ වගේම මාස්කන්නයේ වර්ෂාව නිසාත් නයිට්‍රජන් ප්‍රමාණයකුත් ලැබුණා. නමුත් මේ කන්නයේ ඒ කිසිම දෙයක් නෑ. දැන් යූරියා හොන්ඩරයක මිල රුපියල් 40,000ක් විතර වෙනවා. ඒ වගේ මිලකට පොහොර මිලදී අරගෙන කොහොමද ගොවියා ගොවිතැන් කරන්නේ. එම නිසා ආණ්ඩුව හැකි ඉක්මනින් මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදිය යුතුයි. ආණ්ඩුව කියනවා ගොවීන්ට රසායනික පොහොර ගෙන්වලා දෙනවා කියලා. නමුත් මේ වෙනකොට රසායනික පොහොරත් නෑ. කාබනික පොහොරත් නෑ. රසායනික පොහොර ලබා නොදී කාබනික පොහොරවලින් පමණක් මොනම ආකාරයෙකින්වත් පසුගිය කන්නයේ ලබාපු අස්වැන්න මේ කන්නයේ ලබන්න බෑ කියන එක ගොවීන් ඉතා පැහැදිලිව කියනවා.”

රජය රසායනික පොහොර මෙරටට ගෙන්වීම තහනම් කිරීමට තීරණය කළේ පසුගිය මාස් කන්නයේ ආරම්භයේදීය. ඒ අවස්ථාවේදී ගොවීන් එක හඬින් කියා සිටියේ රසායනික පොහොර නොමැතිව කිසිම වගාවකින් සාර්ථක අස්වැන්නක් ලැබීමට නොහැකි බවය. රසායනික පොහොර නොමැතිව වී වගාවෙන් නිසි අස්වනු ලබන්නට බැරි බවත් ඒ හේතුවෙන් මේ රටේ වී ගොවිතැන බිඳවැටෙන බවත් ගොවීහු එදා කියා සිටියහ. අත්දැකීම් බහුල ගොවීන් පළකළ ඒ මතයට ආණ්ඩුවේ වගකිවයුතු කිසිවෙකුත් එදා ඇහුම්කන් දුන්නේ නැත. එහි ප්‍රතිඵලය දැන් ඇස් පනාපිටම පෙනෙන්නට තිබෙන බව ගොවි ජනතාව පෙන්වා දෙති. ආණ්ඩුව සියලු වැඩ අනාගැනීම එතැනින් ආරම්භ කර දැන් හොම්බෙන් යන තැනට කටයුතු යෙදී හමාර බවයි ගොවීන් පවසන්නේ. ආණ්ඩුවේ ඒ අත්තනෝමතික තීරණය නිසා මේ රටේ සමස්ත ගොවිජනතාවටම කබලෙන් ළිපට වැටී අසරණවන්නට සිදුව ඇතැයිද ඔවුහු පවසති. රසායනික පොහොර සහ කෘමිනාශක යළිත් මෙරටට ගෙන්වීමට රජය තීරණයක් ගත් බව වත්මන් කෘෂිකර්ම ඇමැතිවරයා පසුගියදා ප්‍රකාශකර තිබුණි. එම ද්‍රව්‍ය කඩිනමින් ගොවීන්ට ලබාදීමට වැඩපිළිවෙළක්ද ආරම්භ කර ඇතැයිද එම නිසා වහාම ගොවිතැන් කටයුතු අරඹන්නැයිද ඇමැතිවරයා සියලුම ගොවීන්ගෙන් ඉල්ලීමක් කර තිබූ බවක්ද කියැවිණි. එහෙත් මේ ප්‍රකාශය යථාර්ථයක් බවට පත්වීම පිළිබඳව බලවත් සැකයක් පවතින බව බොහෝ ගොවි නායකයන් අප සමඟ කියා සිටියහ. එයට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් පෙන්වාදුන්නේ යල කන්නයේ වගාව ආරම්භ කිරීමට මත්තෙන් අවශ්‍ය පොහොර තොග මෙරටට ගෙන්වා ගොවිජනතාවට ලබාදිය හැකිද යන්නයි. මන්දයත් රට තුළ වී වගාකෙරෙන හෙක්ටයාර් ලක්‍ෂ 08ක් පමණවන කූඹුරු ප්‍රමාණය සඳහා අවශ්‍ය රසායනික පොහොර කඩිනමින් සපයාදෙන්නේ කෙසේද යන කාරණයයි. අක්කරයකට පොහොර හොණ්ඩර දෙක බැගින් වනසේ පොහොර නිකුත් කිරීමට බලාපොරොත්තුවුවද පොහොර හොණ්ඩර ලක්‍ෂ 40ක් පමණ අවශ්‍යවන බව ගොවි නායකයන් පවසති. කෙසේ වුවද වගාවට අවැසි රසායනික පොහොර ගොවීන්ට නොලැබුණහොත් යල කන්නයේ වී වගාව පවතිනුයේ අවිනිශ්චිත තත්ත්වයෙක බව ගොවීන්ගේ කථා බහ සහ දැඩි තීරණ තුළ පෙනීයයි. එසේ වුවහොත් ඇතිවන වී නිෂ්පාදනයේ පහලබැසීම නිසා දේශීය සහල් නිෂ්පාදනයට විශාල බලපෑමක් එල්ලවන බව ඉතා පැහැදිලිය. මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතුව වී තොග විශාල වශයෙන් තිබෙන නමුත් වී නිෂ්පාදනය අඩාළ වුවහොත් සහල් මිල දැනට වඩා විශාල ලෙස ඉහළයනු නොවැළැක්විය හැකි යැයි මරඳගහමුල සහල් නිෂ්පාදකයෝ කියා සිටිති. එමෙන්ම රටතුළ දැනටමත් පවතින වී හිඟය හේතුවෙන් මෙතෙක් ක්‍රියාත්මකව පවතින සුළු හා මධ්‍යපරිමාණ සහල් මෝල්ද විශාල ප්‍රමාණයක් වැසීයෑමට තිබෙන ඉඩකඩ වැඩි බවද ඔවුහු කීහ. මේ තත්ත්වයට පිළියම් ලෙස සහල පිරටින් ගෙන්වීමේ රජයේ ක්‍රියාවලිය අඛණ්ඩව සහ වේගවත්ව කිරීමට සිදුවනු ඇතිබවද එම සහල් නිෂ්පාදකයෝ පෙන්වා දෙති.

මෙරට ගොවිතැන සඳහා රසායනික පොහොර භාවිතය තහනම් කිරීමේ අත්තනෝමතික ක්‍රියාව හේතුවෙන් මෙරට කෘෂිකර්මාන්තය වළපල්ලට ඇදවැටුණු බවට කිසිදු විවාදයෙක් නැත. ජීවිතය පුරාවට දුක වළඳමින් රටට බත සපයන මෙහෙවරේ විසල් වගකීමක් උසුලන ගොවි ජනතාව ඉන් දැඩි ලෙස බැටකෑ බව සැවොම දන්නා කරුණෙකි. රසායනික පොහොර නොගෙන්වීමේ රජයේ දරදඬු පිළිවෙත නිසා ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී ඇතිවූ බරපතළ පසුබෑම තව තවත් ඔඩුදුවමින් තිබේ. එහිදී ගොවි ජනතාවට සිය ආර්ථිකය බිඳවැටී විඳින්නට සිදුවූ පීඩාකාරී තත්ත්වයන් අපමණ බැව් අමුතුවෙන් කිවයුතු නොවේ. එමෙන්ම මෙරට බත්කන ජනයාටද ගිනිගණන් ගෙවා සහල් මිලදී ගන්නට තවදුරටත් සිදුව ඇත්තේද එහි කරුම ප්‍රතිඵල ලෙසින් බව සඳහන් කළ යුතුය.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment