තෙල් පෝලිමේදී පුරවැසියාට ලුතිනන් කර්නල් පයින් ගසයි – වීඩියෝ කළ පුද්ගලයාට මරණීය තර්ජන!

1716

කුරුණැගල ඉන්ධන පිරවුම්හලකදී නිරායුධ සාමාන්‍ය පුද්ගලයකුට පහර දුන් ලුතිනන් කර්නල්වරයා සම්බන්ධයෙන් යුද හමුදාව මගින් ඊයේ (04 දා) විමර්ශනයක් ආරම්භ කර තිබේ.

 ඉන්ධන ලබා ගැනීමට පැමිණි බව කියන පුද්ගලයකුට යුද හමුදා නිලධාරියකු විසින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය හරහා හුවමාරුවන බවත්, හමුදාපතිවරයාගේ උපදෙස් මත එම හමුදා නිලධාරියා එම ස්ථානයෙන් ඉවත් කර විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පැවසීය.

තෙල් පෝලිමේදී පුරවැසියාට ලුතිනන් කර්නල් පයින් ගසයි - වීඩියෝ කළ පුද්ගලයාට මරණීය තර්ජන!

මෙම සිදුවීම කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ යක්ගහපිටිය ඉන්ධන පිරවුම්හලේදී සිදු වී ඇත. මෙම පහරදීම සිදුවන අවස්ථාවේ එය වීඩියෝකර සමාජ මාධ්‍ය වෙත මුදාහැරිය කුරුණෑගල රසික හේරත් මහතාට පහරදීම සිදුකළ හමුදා නිලධාරියා විසින් මරණීය තර්ජන එල්ල කළ බව ඔහු සමාජ මාධ්‍ය සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.

 සමාජ මාධ්‍ය හරහා ඔහු ප්‍රකාශ කර ඇත්තේ පහර කෑමට ලක් වූ තරුණයා දින 04 ක් පමණ පෝලිමේ සිට ඇති බවත්, පෝලිමට පිටින් පොලිස් නිලධාරීන් පැමිණ ඉන්ධන ලබාගෙන යෑම නිසා තමා ඇතුළු පිරිසට අසාධාරණයක් සිදුවන බව ඔහු පවසා ඇති බවත් ය. එහිදී ඔහු විසින් පොලිසියට හෝ හමුදා නිලධාරීන්ට බැණවැදී නොමැති අතර පොලිස් නිලධාරීන්ට ඉන්ධන ලබාදෙන ආකාරයට තමන් ඇතුළු පිරිසට ද ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා සිට ඇත. එහිදී එම තරුණයා හමුදා නිලධාරියා හමුවට රැගෙන ගොස් ඇති අතර එහිදී තරුණයාගේ පපු ප්‍රදේශයට හමුදා නිලධාරියා විසින් පා පහරක් එල්ල කළ බව ඔහු පවසයි.

 තමා එම අවස්ථාව වීඩියෝකර සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමෙන් පසු මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීමට පෝලිමේ සිටියදී දුරකථනයෙන් කතා කළ පුද්ගලයකු ඉන්ධන ලබාගත්තා දැයි විමසූ බවත් එහිදී ඇමතුම ලබාදුන් පුද්ගලයා කවුරුන්දැයි ඇසූ විට “මම උඹව හම්බවෙන්න මගේ කොල්ලො ටිකක් එක්ක අද රෑ එනවා. උඹ පරිස්සම් වෙයන්” කියා ප්‍රකාශ කළ බව ද ඔහු සමාජ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

 මේ ආකාරයෙන් තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබීම නිසා තමා බිරිඳ සහ දරු දෙදෙනා රැගෙන අසල ඥාති නිවසකට ගිය බවත්, ඔහු ප්‍රකාශ කර සිටියේය. පසුව තමාට තර්ජනය කරන්නේ ලුතිනන් කර්නල් විරාජ් කුමාරසිංහ නමැත්තා බව දුරකථන ජාල හරහා තහවුරු කරගත් බවත් ඔහු පැවසීය. මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් නොකළ බව ද පොලිසියට කරන පැමිණිල්ල තවත් පැමිණිල්ලක් පමණක් විය හැකි නිසා එසේ නොකළ බව ද ඔහු කියා සිටියේය.

 මේ සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ ඉන්ධනහලේ රාජකාරි කළ පොලිස් හා හමුදා නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණවැදීම නිසා මෙම පහරදීම සිදුකර ඇති බවට දැනගන්නට ලැබුණු බවයි. කෙසේ වෙතත් පහරදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බැවින් තමාට නිසියාකාරව යමක් ප්‍රකාශ කළ නොහැකි බව ද ඔහු පැවසීය.

 හමුදා නිලධාරියා පහරදෙන අවස්ථාව පටිගත වී ඇතත් ඊට පෙර සිට සිදු වූ දේ පටිගතව තිබුණා නම් පරීක්‍ෂණවලට වඩා පහසුවක් බව ද ප්‍රේමරත්න මහතා කීය.

advertistmentadvertistment
advertistmentadvertistment