තෙල් පෝලිමේ සිටි හමුදා සෙබළා කෑම කාලා එද්දී රිය අනතුරින් මරුට

438

මහත්තයා දින දෙකක් නිදිවරලා හිටියේ යාලුවෙකුටත් කෑම එකක් අරන් ගියා – බිරිඳ හැඬූ කඳුළින් කියයි

දවස් දෙකක් තෙල් පෝලිමේ ඉඳලා රෑ කෑම ගෙනයන්න ආව මගේ මහත්තයාට මේ ව වගේ දෙයක් වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ. එයා හමුදාවෙ ඉඳලා රටට සේවයක් කරලා ආබාධිත තත්ත්වයට පත්වුණත් මට ලොකු ආඩම්බරයක් තිබුණේ. රටට සේවයක් කළ එහෙම කෙනෙක් මේ වගේ අවාසනාවන්ත ලෙස අපෙන් වෙන් කළේ ඇයි දෙවියනේ. අද මටයි දරුවෝ දෙන්නටයි සෙවණ දුන්න දරුවන්ගේ තාත්තා නැතිව අපි අසරණ තත්ත්වයට පත්වෙලා.

තෙල් පෝලිමේ සිටි හමුදා සෙබළා කෑම කාලා එද්දී රිය අනතුරින් මරුට

හලාවත – මාදම්පේ නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලෙන් සිය ත්‍රිරෝද රථයට ඉන්ධන ලබා ගැනීමට දින දෙකක් තිස්සේ පෝලිමේ රැඳී සිට පාපැදියෙන් නිවසට පැමිණ රාත්‍රි ආහාරය රැගෙන ආපසු යන අතරතුරදී සිදු වූ රිය අනතුරකින් මියගිය ආබාධිත රණවිරුවෙකු වන එම්. ආර්. පවිත්‍ර උදේසිරි නමැති අයගේ බිරිඳ වන දොන් ගමගේ තමරා කුමාරි (49) නමැති අය ඇඬූ කඳුළින් කීවාය.

ඉකුත් 8 වැනි දින හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ තල්විල මංසන්ධියේදී කොළඹ දෙසට ගමන් ගත් එළවළු ප්‍රවාහනය කළ ලොරි රථයක පාපැදිය ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.

මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩප්පරගම ගම්මානයේ පදිංචිව සිටි මියගිය එම්. ආර්. පවිත්‍ර උදේසිරි යන අය දෙදරු පියෙකි. ඔහු යුද හමුදා අටවැනි ගැමුණු හේවා බළකායේ සැරයන්වරයකු ලෙස සේවය කළ අයෙකි. 1991 වර්ෂයේ මඩකලපුව ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී ත්‍රස්තවාදීන් එල්ල කළ කාලතුවක්කු ප්‍රහාරයකින් ඔහුගේ ගෙල ප්‍රදේශයට බරපතළ ලෙස හානි සිදු වී වසර එකහමාරකට අධික කාලයක් ප්‍රතිකාර ලබමින් සිට තිබේ.

“එයා දරුවන්ට හරි ආදරෙයි. දුවගෙයි පුතාගෙයි අධ්‍යාපන කටයුතු සොයල බලල විශාල ලෙස සහාය දෙනවා. ලොකු දුව උසස් පෙළ කරලා ගෙදර ඉන්නවා. පොඩි පුතා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්න ඉන්නේ. සිද්ධිය වෙන්න දින දෙකකට පෙර එයා මාදම්පේ පැරණි නගරයේ ෂෙඩ් එකට ගියේ පෙට්‍රල් ගහන්න. දින දෙකක් ම නිදිවරලා හිටියේ. 8 වැනිදා රාත්‍රි 8 ට විතර ගෙදර ඇවිල්ලා යාළුවෙකුටත් කෑම එකකුත් අරගෙන ගියා. ඒ අතරතුරේ තමයි මේ අනතුර සිදුවෙලා තියෙන්නේ. අනතුර සිදුවෙන එක ඒ අසල කැමරාවක සටහන් වෙලා තියෙනවා. පොලිසිය ඒ වීඩියෝ බලලා කියලා තියෙනවා ලොරියෙ නොම්බරේ පැහැදිලිව ගන්න බැහැ කියලා. ලොරියෙ රියැදුරා අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා කියලා කියනවා. මේ වගේ අය අත්අඩංගුවට අරන් නිසි දඬුවම් දෙන්න ඕන. නැත්නම් මේ වගේ අහිංසක මිනිසුන්ගේ ජීවිත නිකරුනේ විනාශ වෙනවා. වැඩිදුරටත් මියගිය අයගේ බිරිඳ කියා සිටියේය.

මේ සම්බන්ධව අදහස් දක්වන පුත්තලම දිස්ත්‍රික් රණවිරු සංසදයේ ප්‍රධාන සංවිධායක මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යායේ රණවිරු සංසදයේ සභාපති. එච්. ඩී. නිමල් රංජිත් මහතා…

ඇත්තටම අද ආබාධිත රණවිරුවන්ට ඉන්ධන පෝලිම්වල ඉන්ධන ලබාගැනීමේදී දිගු කාලයක් පෝලිම්වල රැඳී සිටීමට සිදුවෙනවා. බොහෝ දෙනෙකුට මෙය ඉතා අසීරු කාර්යයක්. අපි ඉල්ලා සිටින්නේ රටට ලොකු සේවයක් කර මේ වගේ ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන්ට ඉන්ධන ලබාදීමේදී සාධාරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතු බවයි. එවැනි ක්‍රමවේදයක් තිබුණා නම් මේ වගේ අවාසනාවන්ත ලෙස මියයෑම වළක්වා ගන්න තිබුණා. ප්‍රාදේශීය වශයෙන් අපි රණවිරු අධිකාරියෙන් මේ සම්බන්ධව අවධානය යොමුකරන්න කියලා ඉල්ලීමක් කර තියෙනවා. අපි ඉල්ලා සිටින්නේ කඩිනමින් ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න කියලා.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment