තෙල් පෝළිමේ නොසිට පා පැදියෙන් උසාවි යන නිතීඥ මහත්තයා

597

ලෝකයේ දියුණුවත් සමග විවිධ වර්ගයේ සැප පහසු වාහන වෙළෙඳපොලට පැමිණියද දුප්පතාගේ හිතවතා ලෙස සැළකෙන පාපැදියට නම් ඉන් කිසිදු බළපෑමක් සිදු නොවීය. මුල්ම පාපැදිය මීට වසර 300කට පමණ පෙර නිෂ්පාදනය කළ බවට සැළකෙයි. කුමන තරාතිරමේ වාහන නිෂ්පාදනය කෙරුණත් පාපැදියේ කාර්යභාරය ඉටුකිරීමට සමත් වාහනයක් නිපදවීමට නොහැකි වීය යන්න අප අදටද පිළිගත යුතුව තිබේ. ප‍්‍රධාන වශයෙන්ම පරිසර දූෂණයක් සිදු නොවීම, ආර්ථික වශයෙන් ලාභයක් ගෙන දීම වගේම මිනිස් ශරීරයටද ව්‍යායාමයක් ලබාදීම යතුරුපැදියෙන් අපට ලැබෙන ප‍්‍රධාන වාසි ලෙස සැළකිය හැකිය. ලංකාව තුළද ඉතා ජනප‍්‍රියව පැවති පාපැදිය ටිකෙන් ටික මිනිසුන්ගෙන් ඈත්ව ගියේය. ලෝකයේ ජනගහනයටත් වඩා වැඩි බයිසිකල් තිබෙන ප‍්‍රථම රට ලෙස සැළකෙන්නේ නෙදර්ලන්තයය. 2018 වසරේදී එරට නිකුත් කර ඇති දත්තවලට අනුව එම වසරේ නෙදර්ලන්තයේ ජනගහනය මිලියන 17ක් වන අතර යතුරුපැදි ගණන මිලියන 23කි. රටේ සමස්ත ගමනාගමනයෙන් ¼ ක්ම සිදුවන්නේ පාපැදිවලනි. රටේ අගමැතිවරයාද පුළුවන් සෑම දිනකම සිය රාජකාරියට ගියේ පාපැදියකිනි. නෙදර්ලන්තයේ පමණක් නොව තවත් විවිධ රටවල රාජ්‍ය නායකයන් මැති ඇමැතිවරුන්ද පාපැදියෙන් රාජකාරි සඳහා ගිය හා තවමත් යන පුවත් ඕනෑ තරම්ය.

පාපැදිය යළි ජනතාව තුළට රැගෙන ඒමත් හා පවතින බන්ධන මිල ඉහළ යෑම හමුවේ සිය නීතිඥ ගාස්තුව වැඩි නොකර එලෙසම පවත්වාගෙන යෑමේ විසඳුමක් ලෙස නීතිඥ මහතෙකු පසුගිය 14 දින සිට පාපැදියෙන් උසාවියට එන පුවතක් ඇඹිලිපිටියෙන් අපට වාර්තා විය. ඒ පිළිබඳව අපිද ඔහුව මුණගැසුනේ ඒ පිළිබඳව පාඨක ඔබටද කියන්නටය.

ඔහු නිමින් නීතිඥ විජිත ජී. පුංචිහේවාය. වයස අවුරුදු 64ක් වන ඔහු එක්දරු පියෙකි. වසර 30ක් තිස්සේ ඇඹිලිපිටිය අධිකරණයේ නීතිඥවරයකු ලෙස සේවය කරන ඔහු ඇඹිලිපිටිය ප‍්‍රදේශයේම පදිංචිකරුවෙකි. මේ ඔහු අපත් සමග කී කතාවයි.

ගෙවුණු මාසෙට විතරක් ඉන්ධන මිල කී වතාවක් වැඩි වුණාද බලන්න. මම වෙනදා උසාවි ආවේ මගේ මෝටර් රථයෙන්. මම ජීවත් වෙන්නේ උසාවි එන මිනිස්සු මට දෙන නීතිඥ ගාස්තුවෙන්. එතකොට වෙනද පෙට‍්‍රල් ලීටරයක් ගහපු ගාණට මට දැන් පෙට‍්‍රල් ලීටරයක් ගහන්න පුළුවන්ද. බෑ. එතකොට ඉන්ධන මිල ඉහළ යෑමත් බඩු මිල ඉහළ යෑමත් එක්ක ඒ වැඩිවෙන ගාස්තුව මන් වැඩි කරන්න ඕනේ මගේ සේවාදායකයාගෙනුයි. ඒ කියන්නේ මන් මගේ නීතිඥ ගාස්තුව වැඩි කළ යුතුයි කියන එකනේ. උසාවියට එන්නේ ගොඩක් අසරණ මිනිස්සු. මේ වෙලාවේ ඒ මිනිස්සුත් ඉන්නේ ඉතා අසරණ තත්ත්වයේ. එවැනි මොහොතක මන් මගේ නීතිඥ ගාස්තුව වැඩි කරනවා කියන්නේ ඒක අසරණ මිනිස්සුන්ට කරන අසාධාරණයක් කියලයි මට හිතුනේ. ඒ නිසා තිබුණු එකම විකල්පය තමා මෝටර් රථය ගෙදර නවත්තලා පාපැදියෙන් උසාවි එන එක. මගේ එක් පාදයක් ශල්‍යකර්මයකටත් ලක් කරලා තියෙන්නේ. නමුත් මන් ඉන්ධන මිල අඩුවෙන තෙක්ම මේ විදියට පාපැදියෙන් උසාවි එන්න තීරණය කළා. එක්කෝ ඉන්ධන මිල අඩුවෙලා මම නැවත සුපුරුදු පරිදි උසාවි ඒවි. නැත්නම් දිගටම මේ විදියටම පාපැදියෙන් උසාවි ඇවිත් අසනීප තත්ත්වය වැඩි වේවි. ඔය දෙකෙන් එකක් වෙනතුරු මම අඛණ්ඩව නීතිඥ කටයුතු සඳහා පාපදියෙන් තමා යන්නේ.

ඔබගේ මිත‍්‍ර නීතිඥ මහතුන්ගෙන් ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?

ඇත්තටම මන් ඒ අයටත් ආරාධනා කළා අපි සියලූම දෙනා එකතු වෙලා පාපැදියෙන් උසාවි යමු කියලා. නමුත් ඉතින් ඒ අයට ප‍්‍රායෝගිකව ඒක කරන්න බැරිව ඇති. මොකද ගොඩක් නීතිඥ මහත්වරු උදේට බිරිඳත් වැඩට දමාගෙන, දරුවනුත් පාසලට ඇරලවගෙන තමයි උසාවි එන්නේ. ඉතින් එහෙම කෙනකුට පාපැදියෙන් එන්න වුණොත් පාපැදි කිහිපයක් මිලට ගන්නත් වෙනවා. ඉතිත් කවුරු කොහොම ආවත් මන් මගේ මේ තීරණය වෙනස් කරන්නේ නෑ.

ඔබ රජය හෝ කිසියම් පාර්ශ්වයක් අපහසුතාවයකට පත් කරන්නද මේ විදියට පාපැදියෙන් යන්නේ?

තෙල් පෝළිමේ නොසිට පා පැදියෙන් උසාවි යන නිතීඥ මහත්තයා

මට තේරෙන්නේ නෑ මේ රටේ මිනිස්සුන්ගේ මානසිකත්වය මොකද්ද කියලා. ඉන්ධන ගාස්තු වැඩි වෙච්ච නිසා මන් ඒකට තියෙන හොඳම විකල්පය තෝරගත්තා. පාපැදියෙන් මන් උසාවි ගියා. නීතිඥ මහත්තයෙන් පාපැදියෙන් උසාවි ගියා කියන එක රටේම ප‍්‍රවෘත්තියක් බවටත් පත් වුණා. හැමෝමත් කතාවෙන්න ගත්තා. මම සාමාන්‍ය පවුලකින් ආව කෙනෙක්. නිදහස් අධ්‍යාපනයට පිං සිද්ධ වෙන්න තමයි ඉගෙනගෙන නීතිඥවරයෙක් වෙන්නේ. ඒ කියන්නේ ජනතාවගේ සල්ලිවලින් තමයි මාත් ඉගෙන ගත්තේ. නිතීඥවරයෙක් වෙලා මම අද ජීවත් වෙන්න ඕනි නිසා මගෙන් සේවය ලබාගන්න එන අයගෙන් යම් මුදලක් අය කරනවා. නමුත් රටේ මේ තියෙන තත්ත්වයත් එක්ක මට වැඩිවෙන ඉන්ධන ගාස්තුව අය කරගන්න වෙන්නේ මිනිස්සුන්ගෙන්මයි. නැතුව මට රජයෙන් කියලා ගෙවීමක් කරන්නේ නැහැනේ. ඉතින් ඒකට තියෙන හොඳම විකල්පය ලෙස මන් පාපැදියෙන් අසාවි එන්න තීරණය කළා. ඉතින් මේක කවුරුවත් අපහසුතාවයකට පත් කරන්න කරපු දෙයක් නොමෙයි. මේක උසාවි එන අසරණ මිනිස්සු තවත් අසරණ කරන්න බැරි නිසා ගත්ත තීන්දුවක්. මන් දන්නේ නෑ කවුරු හරි මේක රජය අපහසුතාවයට පත් කරන්න හදනවා කියලා විග‍්‍රහ කරන්න හදනවද කියලා.

ඇත්තමට අද මේ රටේ ඇතිවෙලා තියෙන තත්ත්වය අපි විසින් ඇති කරගනිපු දෙයක් මිසක් ඉබේ ඇති වෙච්ච දෙයක් නෙමෙයි. 1978දී අපේ ජාතික දළ දේශීය නිෂ්පාදනය 24% යි. ඒක 2013 දී ඒක 13% යි. 2019 වර්ෂයේදී දළ දේශීය නිෂ්පාදනය 06% යි. 2021 වසර වෙනකොට ඒක බින්දුවයි හයයි අතරේ තියෙන්නේ. මේවට හිටපු වගේම ඉන්න පාලකයොත් වගකියන්න ඕනේ කියන චෝදනාව නම් රටේ පුරවැසියෙක් විදියට මන් කරනවා. මෙරටට නොගැළපෙන බොහෝ තීන්දු තීරණ නිසා අදටත් මේ රටේ මිනිස්සු දුක් විඳිනවා. හොඳම උදාහරණයක් කියන්නම්කො. ඝර්ම කලාපීය රටක් ලෙස මෙච්චර හිරු එළිය තියෙද්දී රට වටා පිහිටි මුහුද වටාම සුළං තිබියදී මොකටද කියන්නකෝ පාලකයෝ ඞීසල් බලාගාර පවත්වාගෙන යන්නේ කියන්නකෝ. රටේ මෙච්චර ඉන්නධ ගැටලූවක් තියෙද්දිත් අපි කරන්නේ ඞීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමයි. මේ කවුරුහරි පාලකයෙක් මේ රටේ අනාගතය ගැන හිතුවා නම් මේවා වෙනස් කරන්න තිබුණේ නැද්ද කියන්නකෝ මට. පත්වෙන හැම කෙනාම මේ ඞීසල් බලාගාර පවත්වාගෙන ගියේ කොමිස් ගන්න පුළුවන් නිසානේ. ප‍්‍රාදේශීය සභාවේ ඉඳන් පාර්ලිමේන්තුව දක්වාම ඉන්න බහුතරයක් දේශපාලනඥයෝ ඉන්නේ කොමිස් ගහන අය. මේ අයට රට ගැන මේ රටේ ජනතාව ගැන කිසි කැක්කුමක් නෑ. ඒ නිසා ජනතාව ලෙස අපි හරි දැන් මේ පවතින ක‍්‍රමවේදය වෙනස් කළ යුතුයි. බොහෝ රටවල රාජ්‍ය නායකයන් වගේ මැති ඇමැතිවරුත් වැඩට යන්නේ පාපැදි වලින්. ඉන්දියාව ගත්තම බොහෝ දෙනෙක් යන්නේ පා පැදියෙන්. දැන් නම් මන් දන්න විදියට ලංකාවේ ඇමැතිවරුන්ට නම් පාපැදියෙන් පාරක යන්න ලැබෙන්නේ නෑ. මොකද එහෙම ගියොත් ඉන්ධන පෝලිමේ ඉන්න මිනිස්සු ගෑස් පෝලිමේ ඉන්න මිනිස්සු ඇමැතිට එළව එළවා ගහනවා. ඒ නිසා ඉතින් ඉන්ධන මිල තව කොච්චර වැඩි වුණත් මිනිස්සු කොච්චර පීඩාවට පත් වුණත් මැති ඇමැතිලාට නම් ඔය විදියටම වාහන වල හැංගිලාම තමයි යන්න වෙන්නේ.

මම කියන්නේ මේ වෙලාවේ අපි යළි ජනතාවගේ සිතුම් පැතුම් ඉඳලම වෙනස් කරන්න කාලය එළඹිලා තියෙනවා කියලයි. ජාවාරම්කාරයන්ට කොමිස් කාරයන්ට ජනතාව පාඩමක් කියා දිය යුතුයි. මම පාපැදියෙන් ගියාම ඒක දිහා ගොඩක් දෙනෙක් බලන්නේ වපර ඇහෙන්. තීරණයක් ගත යුතු හොඳම වෙලාවේ මන් එම තීරණය ගත්තා. ඇයි නීතිඥවරයකුට පාපැදියෙන් යන්න බෑ කියලා කොහෙවත් තියෙනවද. කළු කෝට් එක ඇඳන් පාපැදියෙන් යන්න හොඳ නෑ කියලා තියෙනවද. නෑ. මෙතන තියෙන්නේ ජනතා සිතුම් පැතුම්වල ඇති කරපු වෙනසකුයි. කාලාන්තරයක් තිස්සේ මෙරට බිහිවෙච්ච පාලකයෝ සාමාන්‍ය මිනිහගේ සිතට ඇතුළත් කරලා තියෙනවා ඇමැති නම් මන්ත‍්‍රී නම් පාපැදියෙන් යන්න හොඳ නෑ. ඉන්ටකූලර් එකේ යා යුතුයි කියලා. ඒකනේ පෙළපාලියෙත් ඇමැති ඒ. සී. දමාගෙන වාහනෙන් යද්දී මිනිස්සු දාඩිය දමාගෙන අව්වට කර වෙවී වාහනේ පස්සෙන් පයින් යන්නේ. පාලකයාගේ පහසුව සඳහා ජනතා සිදුම් පැතුම් වෙනස් කිරීමේ විපාකය අද අපි හැමෝම අත්විඳිනවා දැන්.

ඒ නිසා මන් හැමෝටම ආරාධනා කරනවා එන්න අපි හැමෝම පාපැදියෙන් වැඩට යමු කියලා. ඒ විතරක් නෙමේ මන් මේ පාලකයන්ගෙන්නුත් එක ඉල්ලීමක් කරනවා. ජනතාවට සහන ක‍්‍රමයකට පාපැදියක් මිලදී ගන්න පහසුකම් කඩිනමින් හදලා දෙන්න කියලා. එහෙම වුණා නම් හැමෝටම පාපැදියෙන් තමන්ගේ කටයුතුවලට යන්න පුළුවන්. දුප්පතාගේ හිතවතා කියලා කියපු පාපැදිය අද දුප්පතාට ගන්න බෑ. ඒකේ මිලත් අහස උසට වැඩි වෙලා. ඒ නිසා මේ වෙලාවේ රටේ තියෙන ඉන්ධන විසඳුමට පිළියමක් ලෙසත් රටේ ජනතාවගේ ශරීර සෞඛ්‍ය ගැනත් හිතලා පාපැදියේ මිල අඩු කරන්න. එහෙම නැත්නම් සහන ක‍්‍රමයක් හදා දෙන්න හැමෝටම පාපැදියක් මිලදී ගන්න පුළුවන් විදියට යැයි පැවසීය.

සටහන හා සේයාරූ –
මත්තල දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment