තෙල් බවුසරය යට තිබුණ ගිනිපන්දම අහකට විසි කළා කිව්ව පුතාව පොලිසියෙන් අරගෙන ගියා – පියා කියයි

641

මං නැත්නම් රඹුක්කන අද ඉවරයි කියලත් කිව්වා:

බියර් එක බීලාම එන්නකෝ කියලා පුතාට පොලිසියෙන් කිව්වා

කෑගල්ල උසාවියෙන් ඇප දෙයි

ඇප කොන්දේසි සපුරා ගන්න  බැරි වූ සැකකරු රිමාන්ඩ්


සැකකරු බවුසරයට ගිනි තැබීමක් හෝ  ගිනි තැබීමට තැත් කිරීමක් දර්ශනය වෙනවා – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

“තෙල් බවුසරේ යට තිබ්බ ගිනි පන්දම අරගෙන අහකට විසි කෙරුවා කිව්ව පුතාව පොලිසියෙන් ඇවිත් අරගෙන ගියා” යැයි පසුගියදා රඹුක්කන නගරයේදී ඇති වූ නොසන්සුන්තාවයේදී ඉන්ධන බවුසරයට ගිනි තැබූ බවට සැක පිට අත්අඩංගුවට ගත් තරුණයාගේ පියා වන එස්. ඒ. පොඩි අප්පුහාමි (67) මහතා ‘දිවයිනට’ පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රඹුක්කන පින්නවලවත්ත ධර්මපාල මාවතේ පදිංචි ඉන්දික ප්‍රසාද් නමැති 28 හැවිරිදි තරුණයෙකි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහුගේ මව වන ඉන්ද්‍රා ලාලනී (59) මහත්මිය මෙසේ පැවසුවාය.

“එකපාරටම පොලිසියෙ කට්ටියක් ඇවිල්ලා ඉන්දික කෝ ඇහුවා. එතකොට ළමයින්ගේ තාත්තා කිව්වා කඩේට ගියා කියලා. ඊට පස්සෙ ටෙලිෆෝන් නම්බරේ ඉල්ල ගත්තා “එහෙනන් අපි කෝල් එකක් දෙන්නම්” කියලා. එතකොටම වගේ කඩේට ගිය ඉන්දික ආවා. ඊට පස්සෙ අයිඩින්ටියයි, එදා ඇඳගෙන හිටපු ටීෂර්ට් එකයි, කලිසමයි ඉල්ලුවා. එතකොට ඉන්දික කලිසමනම් නෑ කියලා කොළ පාට ටීෂර්ට් එක දුන්නා” යැයි ඇය පැවසුවාය.

මෙහිදී අදහස් දැක්වූ ඉන්දිකගේ පියා මෙසේ ද පැවසීය.

“මෙතන දොර ගාව මම ඉඳගෙන හිටියේ. එතකොට පොලිසියේ කට්ටියක් ආවා. ඇවිල්ලා ඉන්දික කෝ ඇහුවා. මම කිව්වා ඉන්දික නෑ කියලා. ඊට පස්සෙ කිව්වා මෙහාට මහා පරිමාණෙන් කසිප්පු වගයක් ගෙනාවා… ඒක අල්ලන්න ආවේ කියලා. එතකොට මම කිව්වා එහෙනම් ගෙදර බලල අරගන්න කියලා. මම බත් කකා හිටියේ. එතකොට තමා ඉන්දික අස්සරහෙ ඉඳලා ආවේ. ඉන්දික ගෙට යනකොට කිව්වා “ලෑස්ති වෙන්න යන්න” කියලා. එතකොට ඉන්දික කිව්වා “මං බියර් එකක් බිබී ඉන්නේ අයියේ” කියලා. ඊට පස්සෙ ඒ අය කිව්වා “එහෙනම් බියර් එකත් බීලම එන්නකෝ” කියලා. ඊට පස්සේ ඉන්දිකව අරගෙන ගියා. පැය දෙකකින් ගෙනත් දෙනව කියලා තමා ගියේ. ඒ ආපු කට්ටියව අඳුරන්නෙනන් නෑ. යුනිෆෝම් එකෙනුත් හිටියා. මට වැඩිය පේන්නෙත් නෑ. ඒ කට්ටිය පාර දිගටම හිටියා. ඊට පස්සෙ අපි දෙන්නා ගියා පොලිසියට පැමිණිලි කරන්න. ඊට පස්සෙ රඹුක්කන පොලිසියෙ ලොකු මහත්තයා කිව්වා ඉන්දික අරගෙන ගියා සී.අයි.ඩී. එකෙන් කියලා. “දැන් කෑගල්ලේ ඉන්නේ එයාලා… කට උත්තරයක් අරගෙන එවයි” කියලත් කිව්වා. ඒක හින්ද අපි ආපහු ගෙදර ආවා.”

“එදා ඉන්දික අපිට ඇවිල්ලා කිව්වේ බවුසරේ යට ගිනි පන්දමක් තිබ්බා. මං ඒක අරගෙන එහාට විසි කෙරුවා කියලා. මම නැත්නම් අද රඹුක්කන ඉවරයි කියලත් කිව්වා. අපි ඒත් ඇහුවා ඇයි ඔයා ඕවට ගියේ කියලා. එතකොට ඉන්දික කිව්වා නෑ අම්මෙ මම උද්ඝෝෂණේට ගියේ නෑ… අර බවුසරේ යට තිබ්බ ගිනි පන්දම අරගෙන අහකට විසි කෙරුවා විතරයි කියලා. ඊට පස්සෙ ඒක එහාට විසි කරලා මම අර පොලිසියේ කට්ටිය කීපදෙනෙක් ඉන්න තැනට ගියා කියලත් කිව්වා.

කෙසේ නමුත් තෙල් බවුසරයට ගිනි තැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඉන්දික නැමැත්තා කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩබලන මහෙස්ත්‍රාත් මැල්කම් මචාඩෝ මහතා නියෝග කළේ රුපියල් ලක්ෂය බැගින් වූ පුද්ගලික ඇප දෙකක් මත සැකකරු මුදාහරින ලෙසය. එහෙත් එම ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙසේ පැවසීය.

“රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 22ක කණ්ඩායමක් අදාළ විමර්ශන හා පරීක්ෂණ කටයුතු කරනවා. මේ සඳහා විවිධ ස්ථානවල ඇති සී.සී.ටී.වී. කැමරා දර්ශන, සමාජ මාධ්‍ය ජාලාවල පළ වූ දර්ශන වගේම විද්‍යුත් මාධ්‍ය නාලිකාවල පළවූ දර්ශනත් විමර්ශනයට භාජනය කර තිබෙනවා. මෙහිදී අදාළ පුද්ගලයා බවුසරයට ගිනි තැබීමට හෝ ගිනි තැබීමට තැත් කිරීමක් දර්ශනය වනවා. ඒ සම්බන්ධයෙන් සැකපිට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රඹුක්කන – නිහාල් පුෂ්පකුමාර
 

advertistmentadvertistment
advertistmentadvertistment