තෙල් වැඩි කරන්න තවම තීරණයක් නැහැ – ගම්මන්පිල කියයි

45

* හැමෝම සිපෙට්කෝ එන නිසා පාඩුවක් වැඩියිලූ

ඉන්දියන් ඞීසල් සමාගම ඉන්ධන මිල වැඩි කළත් ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල වැඩි කිරීමට තවම තීරණයක් ගෙන නැතැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා දිවයිනට ඊයේ (22දා) පැවසීය.

ඉන්දියන් ඔයිල් සමාගමද පාඩු ලබමින් සිය සේවාවන් පවත්වාගෙන ගිය බවත් එය අවම කර ගැනීම සඳහා ඔවුන් ඉන්ධන මිල වැඩි කළත් එය නතර කිරීමට බලශක්ති ඇමැතිවරයා වශයෙන් මැදිහත්වීමේ හැකියාවක් තමන්ට නොමැති බවත් ඇමැතිවරයා කීය.

මේ වනවිට තෙල් සංස්ථාව ඞීසල් ලීටරයකින් රුපියල් 38ක්ද පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් 22ක පාඩුවක් ලබන බවත් මේ වසරේ ගෙවීගිය මාස 09ට (සැප්තැම්බර් 30) තෙල් සංස්ථාව රුපියල් බිලියන 83ක පාඩුවක් ලබා තිබෙන බවත් ඇමැතිවරයා කීය. එමෙන්ම ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන මිල වැඩිකිරීම නිසා පාරිභෝගිකයන් ඉන්ධන නොගැනීම සඳහා ඛනිජ තෙල් සංස්ථාවට අයත් (සිපෙට්කෝ) ඉන්ධන හල්වෙත පැමිණ මෙම පෙලඹීම නිසා තෙල් සංස්ථාව ලබන පාඩුව තවත් වැඩිවන බවද ඇමැතිවරයා කීය. මේ සඳහා රජයෙන් සහනයක් නොලැබෙන්නේ නම් තෙල් මිල වැඩිකිරීම ගැන සිතා බැලීමට සිදුවන බවද ඇමැතිවරයා කීය.

ඇතැම් වෘත්තීය සමිති විසින් ඛනිජ තෙල් පනත සංශෝධනය කිරීමට යෑමෙන් තෙල් සංස්ථාව අහෝසිවන බවට ප‍්‍රකාශ කළත්, එසේ අහෝසි වන බවට පනතේ කුමන වගන්තියේ සඳහන් කර ඇතිද යන්න එම පිරිස්වලින් තමා විමසා සිටින බවද ඇමැතිවරයා කීය. මෙය හරියට තමා ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි ටික ඉන්දියාවට නොදීමට කටයුතු කරන බවට සිදුකළ චෝදනාවට සමාන චෝදනාවක් බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment