තෙල් – විදුලි අර්බුදයට විසඳුමක්…ජර්මනියේ උලාගෙන් සෝලා ටුක් ටුක්

931

අපේ රටේ ජනතාවට මේ දිනවල මුහුණ පෑමට සිදුව ඇති ප්‍රධානම ගැටලුවක් වන්නේ ඉන්ධන හිඟයයි. ඉන්ධන ප්‍රශ්නයට විසඳුමක් ලෙස ලෝකයේ ප්‍රථම වතාවට සූර්ය බල ශක්තියෙන් ධාවනය කළ හැකි ත්‍රිරෝද රථයක් නිර්මාණය කිරීමට උණවටුන (එස්.ඕ.එස්.) ආයතනය සමත්ව තිබේ. මෙහි නිර්මාතෘවරිය වන්නේ ජර්මන් ජාතික කාන්තාවකි.

මෙයට වසර විසි හතකට පමණ පෙර ලංකාවට පැමිණ ලංකාවේ පරිසරයට ස්වභාව සෞන්දර්යයට ඇතිවූ ආදරය නිසාම පදිංචිය සඳහා රමණීය උණවටුන තෝරාගත් ඇය උලා මැස්ච්බර්ග වන්නීය. (Ulla Mashberger) බොහෝ දෙනා ඇය හඳුන්වන්නේ උලා යන ආදර නාමයෙනි.

එසේ පදිංචි වූ ඇය නව නිර්මාණ බිහි කිරීමටත් ජනතාවට පිහිට වීමටත් පුරෝගාමී වූවාය. ඒ සඳහා ඇය දෙස් විදෙස් හිතවතුන්ගේද සහාය ඇතිව සේව් අවර් ශ්‍රී ලංකා (Save Our Sri Lanka) (S.O.S) නමින් ආයතනයක්ද පිහිටුවා ගත්තාය. එය කිසිසේත් රාජ්‍ය නොවන සංවිධානයක් නොවන අතර සමාජ සත්කාරක ආයතනයක් පමණි.

මෙම සූර්ය බලශක්තියෙන් ධාවනය වන ත්‍රිරෝද රථය දැක ගැනීමට අප එස්. ඕ. එස්. ආයතනයට ගොස් උලා හමුවුණෙමු. ත්‍රිරෝද රථයට මහා මාර්ගයේ ධාවනය කිරීමට ඉඩ ලැබෙන තුරු බලා සිටින උලා මෙවැනි නව නිර්මාණයක් කිරීමට හේතුවූ කරුණු පැහැදිලි කළාය.

“මම ලංකාවට ඇවිල්ල අවුරුදු විසි හතයි. උණවටුනට ඇවිල්ල අවුරුදු විසි එකයි. ලංකාව ලස්සන රටක්. හොඳ මිනිසුන් සිටින රටක්. එනිසා මම කල්පනා කළා ලංකාව වෙනුවෙන් අලුත් යමක් කිරීමට. මේ දවස්වල මිනිස්සු ඉන්ධන ලබා ගැනීමට දවස් ගණන් පෝලිම්වල ඉන්නවා. සමහර අය පෝලිමේම මැරිල වැටිලා. ඒ අනුව අප තීරණය කළා සූර්ය බලයෙන් ධාවනය කළ හැකි ත්‍රිරෝද රථයක් නිර්මාණය කිරීමට.

තෙල් - විදුලි අර්බුදයට විසඳුමක්…ජර්මනියේ උලාගෙන් සෝලා ටුක් ටුක්

සංඛ්‍යා ලේඛන අනුව දැනට ලංකාවේ ත්‍රිරෝද රථ ලක්ෂ දහතුනක් තිබෙනවා. ඒවා සූර්ය බලශක්තියෙන් සහ තවත් ස්වාභාවික පුනර්ජනනීය බලශක්ති මගින් ධාවනයට යෙදවීම අපගේ උත්සාහයයි. එවිට ඩීසල්, පෙට්‍රල් භාවිතය සියයට සියයක්ම ඉවත් වෙනවා. රජයට විදේශ විනිමය ඉතිරි වෙනවා. ත්‍රිරෝද රථ හිමිකරුවන්ට විශාල මුදලක් ඉතිරි වෙනවා. එපමණක් නොව විශාල පරිසර ආරක්ෂණයක් සිදු වෙනවා. අප මෙය “සෝලා මල්ලි” යනුවෙන් හඳුන්වා තිබෙනවා. මෙහි සූර්ය බලශක්ති කට්ටල නිෂ්පාදනය ඇතුළු අනෙකුත් සියලුම නඩත්තු කටයුතු අප ආයතනය විසින්ම කරනවා.

දැන් ඉන්ධන මිලත් සමග සාමාන්‍ය පුද්ගලයෙකුට මෝටර් රථයක් නොව ත්‍රිරෝද රථයක් පවා ධාවනය කිරීමට අපහසුයි. ඉන්ධන මිල වැඩි වන විට ත්‍රිරෝද රථ කුලිය පවා වැඩිවෙනවා. එයට හොඳ විසඳුමක් තමයි අපේ සෝලා ටුක් ටුක් මල්ලි. එයට ඉන්ධන අවශ්‍ය නැහැ.

අපේ බලාපොරොත්තුව විසි එක්වන සියවසට සුදුසු හරිත කර්මාන්තකරණයකට පදනම දැමීමයි. මෙය ලාංකිකයන්ගේ දැනුම, සම්පත් හා පරිසරය සමග බද්ධ වන කර්මාන්තයක් වෙනවා. ඒ අනුව මේ තුළින් නව තාක්ෂණික රැකියා බිහි කිරීම යටිතල පහසුකම් පුළුල් කිරීම, පරිසරය ආරක්ෂාවීම ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමිවෙනවා. නමුත් කුමන වැඩක් කරගෙන ගියත් එය කඩාකප්පල් කිරීමටද පිරිසක්ද ඉන්නවා. සමහර නිලධාරීන් එලිපිටම අල්ලස් ගන්නවා. එවැනි අයට උපරිම දඬුවම් දිය යුතුයි.

මෙම සූර්ය බලයෙන් ධාවනය කළ හැකි ත්‍රිරෝද රථය ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, කර්මාන්ත ඇමැතිතුමාට ත්‍රිවිධ හමුදාපතිතුමන්ලාට ඉදිරිපත් කර තිබෙනවා. අපගේ මෙම සෝලා මල්ලිට තවමත් මහ පාරේ යන්න බලයක් නැහැ. එනිසා සෝලා මල්ලි (ECO Tuk-Tuk Conversion) ජාතික වැඩසටහනට රජයේ අනුග්‍රහය ලැබෙන තුරු බලා සිටිනවා. මෙම සූර්ය බලයෙන් ධාවනය කළ හැකි ත්‍රිරෝද රථයේ පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට ඉල්ලුම්කර තිබෙනවා. නමුත් තවම එයද ලැබුණේ නැහැ. එය ඉක්මනින්ම ලැබේවි කියල හිතනවා.

ආණ්ඩුවේ තීරණය කර තිබෙන්නේත් දෙදහස් තිහ වනවිට ලංකාවේ විදුලි බලයෙන් සියයට හැත්තෑවක්ම සුළං බලයෙන් මෙන්ම සූර්ය බලයෙන් ලබා ගැනීමටයි. ඒ අනුව අපේ සෝලා ටුක් ටුක් මල්ලි දැනටමත් ඉදිරියෙන්ම ඉන්නවා.”

එස්. ඕ එස්. ආයතනයේ අධ්‍යක්ෂ සේනක සොයිසා සිරිවර්ධන මහතා “සූර්ය බල ශක්තියෙන් ත්‍රිරෝද ධාවනය කිරීමට කැමති රියැදුරු මහත්වරුන්ට අවශ්‍ය සූර්ය බලශක්ති පැනල සාදාදීමට අප සූදානම්. සූර්ය බලශක්ති පැනලයෙන් ත්‍රිරෝද රථයේ බැටරිය චාජ් වී මෝටරය පණ ගැන්වෙනවා. නමුත් අපේ සෝලා ටුක් ටුක් මල්ලිට මහ පාරේ දුවන්න බලපත්‍රය ලැබෙන තෙක් බලා ඉන්න වෙලා. ඉන්පසුව වෙනත් වාහනවලටද මෙම සූර්ය බලශක්තිය හඳුන්වා දීමට අප උත්සාහ කරනවා.”

අහංගම – සුගතපාල දීයගහගේ,
වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment