තෙල් සංස්ථාව පාඩු ලබද්දී දිනපතා ලක්ෂ 70 ඕටී ගෙවන්න වෙයි

359

තෙල් සංස්ථාව පාඩුපිට පාඩු ලබද්දීත් එහි මූල්‍ය විනයක් නොමැතිවීම නිසා සේවක අතිකාල ලෙස දෛනිකව රුපියල් ලක්‍ෂ 70ක් පමණ ගෙවීමට සිදුවී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

බලශක්ති අමාත්‍යාංශය යටතේ පවතින මෙම ආයතනයේ සේවකයන් 4800ක පමණ පිරිස අතරින් 3000කට අධික සේවක පිරිසක් තෙල් පිරිපහදුවේ ප‍්‍රධාන කාර්යාලයේ සහ ප‍්‍රාදේශීය කාර්යාලවල මෙසේ අසීමිත ලෙස අතිකාල කරන බවත් එය අධීක්‍ෂණය කිරීමට කිසිදු බලධාරියකු කටයුතු නොකරන බවත් එම ආරංචි මාර්ග පවසයි.

තෙල් සංස්ථා සේවකයන් සඳහා 2018 වසරේදී සියයට 30 කද, 2021 දී සියයට 25 කද වැටුප් වැඩිවීමක් කළ බවත් ඒ අනුව අතිකාල පැය සඳහා ගෙවන මුදල ද වැඩි වී ඇති බවත් පවසන ආරංචිමාර්ග මීට පෙර අර්ජුන රණතුංග සහ කබීර් හෂීම් මහත්වරුන් බලශක්ති ඇමැතිවරුන් ලෙස කටයුතු කරන විට අතිකාල සීමා කිරීම් කළ බව ද කියයි.

ඛනිජ තෙල් පිරිපහදුවේ ඉන්ධන පිරිපහදුව මේ වනවිට සියයට 50කින් පමණ අඩු වී ඇතත් එහි සේවකයන් අතිකාල කිරීමේදී පරණ ක‍්‍රියාපටිපාටියම අනුගමනය කරන බවත් එය අධීක්‍ෂණයට කිසිවකු නොමැති බවත් එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment