තෙල් සංස්ථාව විකුණන්න වෙන හේතු ගොඩයි…විගණනයෙන් හෙළිවෙයි

1315

තෙල් ගැන කතා තව ඉවර නැත. මේ කියන්නේද එවැනි කතාවකි. හෙළිදරව් කරන්නේ අප නොව විගණන වාර්තාය. තෙල් සංස්ථාව පෞද්ගලිකකරණය කිරීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කොතෙකුත් වාද විවාද තිබුණ ද මේවා දකින විට ඒ කවරාකාර විසඳුමක් වුව සාධාරණ දැයි සිතේනම් එහි වරදක් නැත.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට නියමිත රාජ්‍ය ආයතන අතර ඉහළින්ම ඇති ආයතනයෙකි. අකාර්යක්ෂමතාවය, වංචාව හා දූෂණය වැනි හේතු නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිගින් දිගටම පාඩු ලබන ආයතනයක් බවට පත්ව ඇත. කොටින්ම කිවහොත් මහා භාණ්ඩාගාරයේ මූල්‍ය සහාය නොමැතිව මෙකී ආයතනය පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. කෙසේ වුවද ඉන්ධන මිල වැඩිකිරීමත් සමග මේ වනවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබමින් තිබෙන බව වෘත්තීය සමිති නායකයන් පවසති. ඒ විතරක් නොව ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම විසින් බලශක්ති ඇමැතිවරයාගේ නිල නිවස අලුත්වැඩියා කිරීමට කෝටියකට අධික මුදලක් වැයකරලා බලශක්ති අමාත්‍යවරයාගේ නිල නිවස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 10.2ක මුදලක් 2021 වර්ෂය තුළ දී වියදම්කොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි. මෙම නිල නිවස සමාගමට අයත් නොවූ නමුත් එය අදාළ වර්ෂයේ මූල්‍ය ප්‍රකාශයේ නොනිමි වැඩ ලෙස සටහන් කරතිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. සමාගමට අදාළ වියදම් මූල්‍ය ප්‍රකාශනවල හෙලිකළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. මේ පිළිබඳ තොග පර්යන්ත සමාගමේ කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් විසින් රුපියල් එක්කෝටි, විසිනමලක්ෂ අසූහතරදහස්, තුන්සිය දාහතක (12,984,317) මුදලක් බලශක්ති අමාත්‍යවරයගේ නිල නිවස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අදාළ වර්ෂය තුළ ප්‍රතිපූර්ණය කොට ඇති බවය. අලුත්වැඩියා කිරීමේ සම්පූර්ණ පිරිවැය බලශක්ති අමාත්‍යාංශය විසින් ප්‍රතිපූර්ණය කළ පසු නොනිමි වැඩ ගිණුම ස්වයංක්‍රීයව ඉවත්වනු ඇති බවය.

● බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 6500ක වැඩිපුර කොමිස් මුදල් ගෙවලා

ඒ කොයිහැටි වුවද 2022 වර්ෂයේ අප්‍රේල් මස අවසානය වනවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සමස්ත අලාභය රුපියල් මිලියන 628,381කි. සංස්ථාව දිගින් දිගටම පාඩු ලැබුවද සේවකයන්ට අතිකාල දීමනා හා බෙදුම්කරුවන්ට කොමිස් මුදල් ගෙවීම සඳහා අතදිගහැර මුදල් වියදම් කරති. පසුගිය කාලයේ ඛනිජ තෙල් ආනයනය කිරීම සඳහා ඩොලර් සපයා ගැනීමට අවශ්‍ය රුපියල් ප්‍රමාණය සපයා ගැනීමේ අර්බුදයකට ලක්ව තිබියදී, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අධ්‍යක්ෂ මණ්ඩල තීරණයට පටහැනිව බෙදුම්කරුවන් සඳහා රුපියල් මිලියන 6,500කට අධික කොමිස් මුදලක් වැඩිපුර ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වන්නේය. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි නියෝජිතයන් මගින් ඛනිජ තෙල් නිෂ්පාදන බෙදාහරින විටදී අලෙවි නියෝජිතයන්ට කොමිස් මුදලක් ලබාදෙයි. එහෙත් ඛනිජ තෙල් නිෂ්පාදන සෘජුවම පාරිභෝගිකයාට අලෙවි කරනු ලබන අවස්ථාවකදී කොමිස් ගෙවීමක් සිදුකරනු නොලැබේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් තෝරාගත් අලෙවි නියෝජිතයන්ට අදාළ කොමිස් මුදල් ලබාදී සෘජුවම පාරිභෝගිකයන් වෙත ඉන්ධන බෙදාහැරීමේ ක්‍රමවේදයක් 2008 වර්ෂයේ සිට ක්‍රියාත්මක කොට තිබුණි. ඒ කොයිහැටි වුවද සංස්ථාවට සෘජුවම පාරිභෝගිකයන් වෙත ඉන්ධන අලෙවි කිරීමේ හැකියාව තිබියදී නියෝජිතයන්ට අතිරේඛ කොමිස් මුදලක් ගෙවමින් මෙවැනි ඉන්ධන බෙදාහැරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමේ පදනම විගණනයට ද ගැටලුවක් වී තිබුණි.

කෙසේ වුවද අධ්‍යක්ෂ මණ්ඩල තීරණයට අනුව 2019 වර්ෂයේ දී ඛනිජ තෙල්වල දේශීය වෙළෙඳපොළේ මිල උච්ඡාවචනයන්ගේ බලපෑම් මත ඉහළ සහ පහළ සීමාවන්ට යටත්ව බේදුම්කරුවන් සඳහා ගෙවනු ලබන කොමිස් ප්‍රතිශතය තීරණය කර තිබුණි. ඉන්ධන මිල උච්ඡාවචනය වීම මත සංස්ථාවට හා බේදුම්කරුවන්ට වන අහිතකර බලපෑම බැහැර කිරීම සඳහා මෙකී කොමිස් මුදල තීරණය කොට තිබුණි. ඒ අනුව ඉහළ සීමාව සඳහා (upper cap) ඔක්ටේන් 92 පෙට්‍රල් සඳහා රුපියල් 162, ඔක්ටේන් 95 සඳහා රුපියල් 170ක කොමිස් ප්‍රතිශතයක් ලබාදීමට තීරණය කොට තිබුණි. ලංකා ඔටෝ ඩීසල් සඳහා ගෙවනු ලබන කොමිස් ප්‍රතිශත මුදල රුපියල් 121කි. ලංකා සුපර් ඩීසල් සඳහා රුපියල් 145ක් කොමිස් ප්‍රතිශත මුදලක් ගෙවීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කොට තිබුණි.

එමෙන්ම පහළ සීමාව (lower cap) සඳහා ඔක්ටේන් 92 පෙට්‍රල් සඳහා රුපියල් 117ක කොමිස් ප්‍රතිශත මුදලක් හා ඔක්ටේන් 95 පෙට්‍රල් සඳහා රුපියල් 128 කොමිස් ප්‍රතිශත මුදලක් ගෙවීමට තීන්දුකොට තිබුණි. ලංකා ඔටෝ ඩීසල් සඳහා රුපියල් 95ක කොමිස් ප්‍රතිශත මුදලක් හා ලංකා සුපර් ඩීසල් සඳහා රුපියල් 110ක කොමිස් ප්‍රතිශතයක් ගෙවීමට තීන්දුකොට තිබුණි. කෙසේ වුවද වර්තමානයේ රට තුළ පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් ඇතිවී තිබුණි. මේ නිසා ඛනිජ තෙල් නිෂ්පාදනවල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යනු ලැබීය. එහෙත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නොසැලකිලිමත්කම හේතුවෙන් ඉහළ සීමාව (upper cap) නොසලකා බෙදුම්කරුවන්ට කොමිස් මුදල් ගෙවා තිබූ බව විගණන වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව සංස්ථාව විසින් වැඩිපුර ගෙවා තිබූ කොමිස් මුදල ආපසු අයකර ගැනීමට යෑමේ දී බෙදුම්කරුවන් කිහිපදෙනකු විසින් නඩුවක් ගොනුකොට අධිකරණයෙන් තාවකාලික තහනම් නියෝගයක්ද ලබාගෙන තිබුණි. එහෙත් අධිකරණය මගින් 2022 ජුලි මස 15 වැනි දින එම තහනම් නියෝගය ඉවත්කරනු ලැබීය. අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය අනුව බේදුම්කරුවන්ට ගෙවනු ලබන කොමිස් මුදල තීරණය කිරීමට බලය ඇති බවට තීන්දු කරනු ලැබීය. සංස්ථාව විසින් 2022 වර්ෂයේ ජුලි මස 17 දින සිට මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබුණි. එහෙත් සංස්ථාවේ සභාපතිවරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියට යටත්ව 2022 ජුලි මස 26 දින සිට ඉහළ සීමාවන් නොසලකා (upper cap) බෙදුම්කරුවන්ට කොමිස් මුදල් ගෙවීමට කටයුතු කර තිබූ බව විගණනය මගින් අනාවරණය කොට ඇත. ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට කටයුතු කර නොතිබුණි.

● එක් දිනක් තුළ වැඩිපුර ගෙවූ කොමිස් මුදල රුපියල් මිලියන 67.9ක්.

තෙල් සංස්ථාව විකුණන්න වෙන හේතු ගොඩයි…විගණනයෙන් හෙළිවෙයි

එමෙන්ම රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ බෙදුම්කරුවන්ට දෛනිකව ලබාදෙන ඛනිජ තෙල් සැපයුම තුනෙන් දෙකක මට්ටමකට සීමාකර තිබුණි. මේ නිසා අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයට අනුව 2022 ජුලි මස 26 දිනට බෙදුම්කරුවන්ට ගෙවිය යුතු නියමිත කොමිස් මුදල රුපියල් මිලියන 30.7කි. එහෙත් අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය නොසලකා රුපියල් මිලියන 98.6ක් බෙදුම්කරුවන්ට ගෙවීම හේතුවෙන් එක් දිනක් තුළ ගෙවනු ලැබූ වැඩිපුර කොමිස් මුදල රුපියල් මිලියන 67.9කි. එදින සිට මාසයක් තුළ වැඩිපුර ගෙවා තිබූ කොමිස් මුදල රුපියල් මිලියන 1960 ක් බවද විගණන වාර්තාවේ සඳහන් වේ. දෛනික ඛනිජතෙල් සැපයුම් සීමාකොට තිබියදී පවා ඉහළ සීමාව නොසලකා බෙදුම්කරුවන්ට කොමිස් මුදල් ගෙවා තිබුණි. දෛනික ඛනිජ තෙල් සැපයුම සීමාකොට ඇති පසුබිමක ඉහළ සීමාව නොසලකා බෙදුම්කරුවන්ට කොමිස් මුදල් ගෙවීම හේතුවෙන් ඇතිවිය හැකි බලපෑම පිළිබඳ විගණනය මගින් අනාවරණය කොට තිබුණි. ඒ අනුව අනුමත පදනම අනුව බෙදුම්කරුවන්ට දිනකට ගෙවිය යුතු කොමිස් මුදල රුපියල් මිලියන 30.7කි. එහෙත් දැනට ගෙවනු ලබන කොමිස් මුදල රුපියල් මිලියන 98.6කි. ඒ අනුව දිනකට වැඩියෙන් ගෙවනු ලබන කොමිස් මුදල රුපියල් මිලියන 67.9කි. අනුමත මුදලට සාපේක්ෂව වැඩිවීමේ ප්‍රතිශතය සියයට 221කි. ඒ අනුව මාසයකට බෙදුම්කරුවන් සඳහා වැඩියෙන් ගෙවිය යුතු කොමිස් මුදල රුපියල් මිලියන 2037කි. වසරකට ගෙවිය යුතු කොමිස් මුදලේ වැඩිවීම රුපියල් මිලියන 24,444කි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉකුත් වර්ෂ 05ක කාලය තුළදී තාර, ලිහිසි තෙල්, කෘෂි නිෂ්පාදන, රාජ්‍ය අංශ පාරිභෝගිකයන් සඳහා ගෙවනු ලැබූ කොමිස් මුදල් ද ඇතුළුව සමස්ත අලෙවි නියෝජිත කොමිස් මුදල බෙදීගොස් ඇත්තේ මේ අයුරිනි.

ඒ අනුව සංස්ථාව විසින් 2017 වර්ෂයේ දී රුපියල් මිලියන 10,995, 2018 වර්ෂයේ දී රුපියල් මිලියන 13,541 හා 2019 වර්ෂයේදී රුපියල් මිලියන 14,132 කොමිස් මුදල් ගෙවා තිබුණි. 2020 වර්ෂයේ දී ගෙවා ඇති කොමිස් මුදල රුපියල් මිලියන 12,402කි. 2021 වර්ෂයේ ගෙවා ඇති කොමිස් මුදල රුපියල් 14,486කි. ඉදිරි මාස 12 සඳහා ඇස්තමේන්තුගත කොමිස් මුදල රුපියල් 35,496කි. ජාතික විගණන කාර්යාලයේ නිරීක්ෂණයන්ට අනුව ඇස්තමේන්තුගත මුළු අලෙවි කොමිස් පිරිවැය ඉකුත් වසරවල දරනු ලැබූ කොමිස් මුදල හා සැසඳීමේ දී ඉතා අධික හා අසාමාන්‍ය තත්ත්වයකි. රටේ ඉන්ධන සැපයුම සාමාන්‍ය තත්ත්වයකට පත්වීමෙන් පසු මෙකී වියදම තවදුරටත් වැඩිවිය හැකි බව විගණනයේ අදහසයි.

● වැඩිපුර ගෙවූ කොමිස් මුදල සමස්ත සේවක පිරිවැය මෙන් හතර ගුණයක්

ඒ අනුව වැඩිපුර ගෙවීමට සිදුවන කොමිස් මුදල සංස්ථාවේ සේවකයන් සඳහා ගෙවනු ලබන අතිකාල දීමනා, ප්‍රසාද දීමනා හා වෙනත් සියලු දීමනා සමස්ත සේවක පිරිවැය මෙන් හතර ගුණයකට අධික බව විගණනය මගින් අනාවරණය කොට ඇත. මෙකී මුදලින් වසරකදී නව ඉන්ධන පිරවුම්හල් 400 ක් (ඉඩම් හැර) ඉදිකිරීමට හැකි බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 2022 මැයි මස 23 වැනි දින අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මිල සූත්‍රය පදනම්ව ඛනිජ තෙල් නිෂ්පාදනවල දේශීය විකුණුම් මිල තීන්දුකොට තිබුණි. ඒ අනුව වැඩිපුර ගෙවනු ලබන අලෙවි නියෝජිත කොමිස් මුදල හේතුවෙන් ඉන්ධන ලීටරයක මිල ඉහළ ගොස් තිබුණි.

වැඩිපුර කොමිස් මුදල් ගෙවීම නිසා 92 පෙට්‍රල් ලීටරයක් 8.64ක් සහ, 95 11.10ක් ඩීසල් ලීටර් 01ක් සඳහා (LAD) රුපියල් 9.27ක මුදලක්ද, LSD ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 10.95ක මුදල් පාරිභෝගිකයන්ට ගෙවීමට සිදුවෙලා.

බෙදුම්කරුවන් සඳහා කොමිස් මුදල් වැඩිපුර ගෙවීම මත ඛනිජ තෙල් පාරිභෝගිකයන්ට ඔවුන් විසින් පාරිභෝජනය කරනු ලබන සෑම 92 වර්ගයේ ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 8.64ක මුදලක් ගෙවීමට සිදුවනු ඇත. 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් සඳහා ගෙවීමට සිදුවන මුදල රුපියල් 11.10කි. ඩීසල් ලීටර් 01ක් සඳහා (LAD) රුපියල් 9.27ක මුදලක්ද, LSD ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 10.95ක වැඩිපුර මුදලක් පාරිභෝගිකයන්ට ගෙවීමට සිදුවන බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. මේ නිසා සෑම අතින්ම පීඩාවට පත්ව ඇත්තේ රට්ටුන්ය. සියලු බර රට්ටුන්ගේ පිට මත පටවා තිබේ. අනික් කාරණය වන්නේ අලෙවි නියෝජිත කොමිස් මුදල අනුමත සීමාවන්ද ඉක්මවා ගෙවීම් කිරීමට තීරණය කිරීමේ දී ඉන් ආයතනයට සිදුවන මූල්‍ය බලපෑම නිසි පරිදි ඇගයීමට ලක්කොට නොතිබුණි. නිසි මූල්‍ය ඇගයීමකින් තොරව ගනු ලබන කළමනාකරණ තීරණවල බලපෑම ආයතනයේ පැවැත්මට හා මහජන සුභසාධනයට අහිතකර ලෙස බලපානු ඇති බව විගණනය මගින් නිර්දේශකොට ඇත.

● කොමිස් මුදලින් වසරකට ඉන්ධන පිරවුම්හල් 400ක් ඉදිකරන්න පුළුවන්ලු

එමෙන්ම ඉකුත් වර්ෂයේ දී (2021) තෝරාගත් අලෙවි නියෝජිතයන් 05 දෙනකු සඳහා අතිරේක කොමිස් මුදලක් ගෙවමින් ඉන්ධන බෙදාහැරීම හේතුවෙන් රුපියල් මිලියන 132.453ක අතිරේක කොමිස් මුදලක් ගෙවා තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. එහෙත් මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ ලේකම් කපිල නාඔටුන්න මහතා කියන්නේ වෙනත් කතාවකි. තෙල් සංස්ථාව යටතේ පවතින ඉන්ධන හල්වලට වැඩිපුර කොමිස් මුදල් ගෙවා ඇති බවට

විගණකාධිපතිවරයාට වැරදි තොරතුරු ලබාදුන් තෙල් සංස්ථාවේ ඉහළ නිලධාරියකුට එරෙහිව නීතිය හමුවට යන බව ඔහු පවසන්නේය. ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධනහල්වල ඉන්ධන අලෙවි කිරීමේ දී සියයට දෙකයි ශත හැත්තෑපහක් සහ පුද්ගලික ඉන්ධනහල් හිමියන් සඳහා සියයට තුනක කොමිස් මුදලක් ලබාදෙන බව නාඔටුන්න මහතා පවසන්නේය. සංස්ථාව ඉන්ධන හල් හිමියන් සමග එකඟවී ඇති ගිවිසුම අනුව ඉන්ධන මිල රුපියල් 176ට වඩා වැඩිවන කොමිස් මුදල් නොගෙවන බවද හෙතෙම පවසයි.

● විගණකාධිපතිට වැරදි තොරතුරු දුන් තෙල් ලොක්කාට එරෙහිව උසාවි යනවා

බෙදුම්කරුවන්ගේ සංගමය එම ගිවිසුම තිබියදී ඉන්ධන මිල අසීමිත ලෙස ඉහළ යෑම නිසා සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය රුපියල් 176ට වැඩියෙන් ඉන්ධන මිල වැඩිවී තිබෙන නිසා කොමිස් මුදල වැඩි කළ නොහැකි බවට තීරණය කළ බවද හෙතෙම පවසයි. එම තීරණයට එරෙහිව සංගමය විසින් අධිකරණයේ නඩු පැවරීමෙන් පසු අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයට වාරණ නියෝගයක් පනවා ඇති බවද හෙතෙම පෙන්වා දෙයි. ඒ අනුව තෙල් සංස්ථාව විසින් ඉන්ධන මිල වැඩිවීමට සපේක්ෂව කොමිස් මුදල් ගෙවීමට කටයුතු කර ඇති බවත් එය නීත්‍යානුකූල ගෙවීමක් බවද කපිල නාඔටුන්න මහතා සඳහන් කරන්නේය.

ඒ විතරක් නොව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයන්ගේ මූලික වැටුප සම්පූර්ණයෙන්ම හෝ ඊට වැඩියෙන් හෝ සැලකිය යුතු ප්‍රතිශතයක් ණය ආපසු ගෙවීමට භාවිතා කිරීමට සිදුවී තිබුණි. කොටින්ම කිවහොත් අතිකාල දීමාන වැඩකිරීමේ සැබෑ අවශ්‍යතාවයක් සංස්ථාව වෙත නොතිබුණි. එහෙත් සේවකයන්ට ඔවුන්ගේ මූලික ඉපයීම ණය ගෙවීමට හා අනිකුත් වියදම් සඳහා ප්‍රමාණවත් නොවීම නිසා අතිකාල සේවයේ යෙදීමට සිදුවී තිබුණි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සමස්ත සේවකයන්ගෙන් සියයට 40කට වඩා වැඩි සංඛ්‍යාවකට සහ තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයන්ගෙන් සියයට 50කට වඩා වැඩි ප්‍රමාණයකට ඔවුන්ගේ මූලික වැටුපෙන් සියයට 50 ඉක්මවා අතිකාල දීමනා ගෙවා තිබුණි. තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයන් 988 දෙනකු ඔවුන්ගේ මූලික වැටුපෙන් සියයට සියයකට වඩා අතිකාල ආදායම් උපයාගෙන තිබුණි. සේවකයන් 210 දෙනකු සිය මූලික වැටුපෙන් සියයට 200කට වඩා අතිකාල ආදායමක් උපයා තිබූ අතර සේවකයන් 19 දෙනකු සිය මූලික වැටුපෙන් සියයට 300කට වඩා අතිකාල ආදායමක් උපයා තිබුණි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මුළු සේවක හිඟ ණය ප්‍රමාණය රුපියල් බිලියන 3.359කි. තොග ගබඩා පර්යන්ත සමාගමේ හිඟ සේවක ණය බිලියන 4,314කි.

සංස්ථාව හා සමාගම විසින් සේවකයන්ගේ ණය ආපසු ගෙවීමේ හැකියාව නොසලකා ණය යෝජනා ක්‍රියාත්මක කොට ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. මෙම තත්ත්වය මෙකී ආයතනවල අතිකාල දීමනා අනවශ්‍ය ලෙස ඉහළ යෑමට සෘජුව බලපා තිබුණි. මෙකී ආයතන විසින් සේවකයන් වෙනුවෙන් විශාල ණය කලඹක් පවත්වාගෙන යෑම සඳහා අති විශාල මුදලක් වියදම් කරති. මේ නිසා ප්‍රමාණවත් අරමුදල් නොමැතිවීම හේතුවෙන් ඉතා හදිසි ප්‍රාග්ධන වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති ප්‍රමාද කිරීමට හෝ අත්හැරීමට සිදුවිය. ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යන ආයතන දෙකම සිය කාර්යමණ්ඩල සඳහා විවිධ ණය යෝජනා ක්‍රම ගණනාවක් හඳුන්වා දී තිබුණි. ඉකුත් වර්ෂය අවසන් වනවිට ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ මුළු සේවක හිඟ ණය ප්‍රමාණය රුපියල් බිලියන 3.359කි. තොග ගබඩා පර්යන්ත සමාගමේ හිඟ සේවක ණය බිලියන 4,314කි.

● ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කොට නැහැ

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ඉන්ධන බෙදාහැරීම සඳහා සමාගම සතු බවුසර් රථ සංඛ්‍යාව 147කි. කුලී පදනම මත ලබාගත් බවුසර් රථ 653කි. එහෙත් ඉන්ධන බෙදාහැරීම සඳහා සමාගම සතු බවුසර් ප්‍රශස්ත ලෙස භාවිතා කොට නොතිබුණි. එමෙන්ම කුලී පදනම මත බවුසර් රථ ලියාපදිංචි කිරීමේ දී ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර නොතිබුණි. එම රථ යොදවා ගැනීමේ විධිමත් හා විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයක් අනුගමනය කර නොතිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ඉන්ධන සැපයුම් දාමයේ ගුණාත්මක බව විශ්වාසනීයත්වය තහවුරු කිරීම සඳහා එම කටයුතු විදිමත් ලෙස නියාමනය කිරීම බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යය වේ. ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන නිසි ප්‍රමිතියෙන් යුතුව සාධාරණ මිලකට පාරිභෝගිකයාට ලබාදීමත් බලශක්ති අමාත්‍යාංශයේ කාර්යයකි. ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ප්‍රමිතීන් ගොඩනැඟීම, රසායනිකයන් එකතු කිරීම, ගබඩා ධාරිතා මැනීමේ නව ක්‍රමවේද, ඉන්ධන වර්ණ ගැන්වීම ආදී පර්යේෂණ කටයුතු මෙකී නියාමන කාර්යයන්ට ඇතුළත් වේ.

● ඛනිජ තෙල් නිෂ්පාදනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට විධි මත් වැඩපිළිවෙළක් නැහැ

කෙසේ වුවද ඛනිජ තෙල් ආශ්‍රිත පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් සඳහා ප්‍රමිති ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් සකස්කර ඇත. එහෙත් මෙරට එම ප්‍රමිති අනිවාර්ය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට අමාත්‍යාංශය මගින් මේ දක්වා කටයුතු කර නොතිබුණි. ඒ විතරක් නොව මෙරට මේ දක්වා එම ඉන්ධනවල ප්‍රමිතීන් පරීක්ෂා කිරීමේ බලයලත් ආයතනයක් ස්ථාපිත කිරීමට කටයුතු කර නැත. ඒ සඳහා විදිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට පවා අමාත්‍යාංශය විසින් මේ දක්වා කටයුතු කර නැත. තුන්වන පාර්ශ්වයක් මගින් ඛනිජ තෙල් නිෂ්පාදන පිළිබඳව රසායනාගාර පරීක්ෂණ සිදුකළ හැකි අති නවීන හා අංග සම්පූර්ණ ඛනිජ තෙල් පර්යේෂණාගාරයක් කාර්මික තාක්ෂණ ආයතනයේ ස්ථාපිත කර ඇත. ඒ ඛනිජ තෙල් අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශයේ එකාබද්ධ යෝජනාවකට අනුවය. මහජන උපයෝගිතා කොමිසම් සභාවේ නියමයන්ට අනුකූලව මෙකී රසායනාගාර පරීක්ෂණ සිදුකළ යුතුව ඇත. එහෙත් මේ දක්වා එම තාක්ෂණික සහාය ලබාගැනීම හෝ එම ආයතනය සමග එකඟතාවයකට හෝ අවබෝධතා ගිවිසුමකට එලඹීමට අමාත්‍යාංශය විසින් කටයුතු කර නැත. තෙවන පාර්ශ්වයක් සමග ඛනිජ තෙල් නිෂ්පාදන පිළිබඳව රසායනාගාර පරීක්ෂණ සිදුකරවා ගැනීමේ හැකියාව විදිමත් ලෙස උපයෝජනය කිරීමට අමාත්‍යාංශයට මේ දක්වා හැකිවී නොතිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment