තෙල් සාත්තුව

1494

නිදහසින් පසු මෙවැනි ආතල් ආණ්ඩුවක් ලංකාවේ කිසි කලෙකත් පහළ වීද? කිසිසේත්ම නැත. ආණ්ඩුව තෙල් මිල නැවත වරක් වැඩි කරමින් 18 දා මධ්‍යම රාත්‍රියේදී මේ රටේ ජනතාවට කරන ලද තෙල් සාත්තුව මගින් ඒ බව නැවත වතාවක් තහවුරු විය. තෙල් මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් රටේ තැන තැන පැවැත්වෙන විරෝධතා තවමත් ඉවර නැත. රඹුක්කනදී මතු වූයේ එහි උච්චතම අවස්ථාවකි. ඒ යට වෙනත් අරමුණු ක්‍රියාත්මක වූවාදැයි අපි නොදන්නා නමුත්, එය තෙල් සාත්තුව නිසාම ඇතිවූවක් යැයි අපි විශ්වාස කරමු. ලීටර් 33,000 ක් පමණ රැගත් තෙල් බවුසරයක් තම භාරයට ගත් විරෝධතාකරුවෝ අනෙක් පසින් රඹුක්කන-උඩරට දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමමින් දුම්රිය ගමනාගමනය නවතා දැමූහ. මේ කාරණා දෙකේදීම තවත් ජන කොටසක් (දුම්රිය මගීන් ඇතුළුව) අපහසුතාවට පත්වුණු බව ඇත්ත නමුදු විරෝධතාව මැඬපැවැත්වීම සඳහා ආණ්ඩුව (පොලිසිය) ගත් ක්‍රියාමාර්ගය අප අනුමත කරන්නේ නැත. මන්ද මෙහිදී 29 දෙනකු රෝහල් ගතකරන්නට තරම් විරෝධතාකරුවන් හා පොලිසියේ ගැටුම දුරදිග ගිය අතර, එක් මරණයක් ද මෙහිදී සිදු වූ බැවිනි. එසේ හෙයින් මෙම සිද්ධිය මර්දනය කළ ආකාරය හෙළා දකින්නට මෙහිදී අපට සිදු වේ.

 තවද ගෝල්ෆේස් පිට්ටනියේ තිබෙන ජන විරෝධතා අරගලය කානිවල් එකක් ලෙස අර්ථ නිරූපණය කර ඇති නමුදු රටේ තැන තැන මහ පාරට බැස සිටින ජනයාගේ කෝපාග්නිය දෙස බලන විට පෙනී යන්නේ ගෝල්ෆේස් කානිවල් එක ගිනි ජාලාවක් බවට පත්වීමට කිට්ටු වෙමින් පවතින බවය. ගෝල්ෆේස් විරෝධතාකරුවන්ට අත නොතබන ලෙස ශ්‍රී ලංකාවේ ඇමරිකන් තානාපතිවරිය පසුගියදා ලක් රජයට අවවාද කළාය. ඒ මේ රටේ දේශපාලනයට මැදිහත් වී ලංකාව ඇමරිකන් කොලනියක් කරගැනීමට නොව ආණ්ඩුවේ හමුදාව විරෝධතාකරුවන්ට නෙළුවොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ඩොලර් සත පහක්වත් දීමෙන් වැළකීමට ඉඩ ඇති නිසාය. එවැනි අවස්ථාවක් මතු වුවහොත් එවිට සිදුවන්නේ ලංකාවට මුදල් ණයට නොදෙන ලෙස පිටරටවල් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට බලකරනු ලැබීමය. දැනට ආණ්ඩුව ගෙදර යා යුතු බව කියන්නේ ගෝල්ෆේස් විරෝධතාකරුවන් ඇතුළු මේ රටේ සිටින ඇතැම් පිරිස් පමණි. එහෙත් විරෝධතාකරුවන්ට පහර දී වැඩේ අල කර ගත්තොත් රජය ඉල්ලා අස්විය යුතු බවට විරුද්ධවාදී රටවල් සියල්ලම හඬ නගනවා ඇත. මෙවිටත් ආණ්ඩුව ගෙදර නොගියොත් පිටරටවල් විසින් ලංකාවට එරෙහිව සම්බාධක පැනවීම ආරම්භ කරනවා ඇත. ශ්‍රී ලංකාව යනු අල්පෙනෙත්තක්වත් නිෂ්පාදනය කරන රටක් නොවේ. අප අල්පෙනෙති ගන්නේ චීනයෙනි. ගිනිකූරු මෙරට හදන නමුදු ගිනිකූරු සාදන මැෂිමත් ගිනිකූරුවලට යොදන වෙඩි බෙහෙතුත් එම වෙඩි බෙහෙත් තවරා ගිනිකූර සාදන ඉටි තැවරූ කාඩ්බෝඩ් කැබැල්ලත් චීනයෙන්ම ගෙන්වනු ලැබේ. ආණ්ඩුව ජනතාවට දී ඇති තෙල් සාත්තුව නිසා දිනෙන් දින නැගෙන ජනතාවගේ වෛරය එක තැනකට එකතු වීමට කිසිසේත්ම ඉඩ දිය යුතු නැත. එකට එකතු වන ජන බලය පරමාණු බෝම්බයකි. මේ බෝම්බය පත්තු වීම වැළැක්වීමට නම් මිනිසුන්ට සාමාන්‍ය ජන ජීවිතයක් තිබිය යුතුය. දැනට මේ රටේ ජනයා ගත කරන්නේ අසාමාන්‍ය ජන ජීවිතයකි. මාසික වැටුප් ගන්නා මනුස්සයාට බඩට කෑවොත් බස් වියදම් සොයා ගැනීමටත් බස් එකේ ගියොත් බඩට කෑම මිලට ගැනීමටත් බැරි වන තත්ත්වයක් මතුවේ. මේ නිසා ළඟ එන විපත්තියෙන් රට සහ දැය ගලවා ගැනීම සඳහා ආණ්ඩුව කුමක් හෝ කළ යුතුය. ශ්‍රී ලංකාවේ තිබෙන්නේ ගොන්ම ගොන් විපක්ෂයකි. මේ ගොන් හරක් පාර්ලිමේන්තුවට පැමිණ උම්බෑ කිය කියා පාර්ලිමේන්තු කැන්ටිමෙන් ඉතා ලාබෙට බඩ පැලෙන තුරු කා පැජරෝ හෝ මොන්ටෙරෝවල නැගී ගෙවල්වලට යති. මේ රටේ මන්ත්‍රීවරුන් පාවිච්චි කරන වාහන දෙස බලන විට පෙනී යන්නේ රට තුළ කිසිදු ආර්ථික අර්බුදයක් නැති බවය. පසුගියදා ජනාධිපතිතුමා හිටපු කැබිනට් ඇමැතිවරුන්ගේ හදිසි රැස්වීමක් කැඳවීය. ලෝකයේ තිබෙන හොඳම සහ අලුත්ම මාදිලියේ රියවල නැගුණු හිටපු ඇමැතිවරු ජනාධිපති හමුවීමට පැමිණියහ. එදා ජනාධිපති මන්දිරයට පැමිණි වාහන අතර නොතිබුණේ බෙන්ට්ලි කාර් සහ රෝල්ස්රොයිස් කාර් පමණි. බෙන්ට්ලි කාර් එක හදන්නේ තනිකරම අතිනි. එය ඕඩර් කර සාදා නිමවන තෙක් අවුරුදු එකහමාරක් පමණ බලා සිටිය යුතුය. එසේ බලා සිටීමට තරම් කාලයක් පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ට නැත. ඒ නිසා සල්ලි සල්ලි යන කාරණය පැත්තකට දමා අතට හසුවන බෙන්ස් එකක්, ලෑන්ඩ් රෝවරයක්, රේන්ජ් රෝවරයක් මොන්ටෙරෝවක් හෝ බී.එම්.ඩබ්ලිව්. එකක් මිලට ගැනීමට ඔවුහු නොපැකිලෙති. රෝල්ස් රොයිස් කාර් එක එංගලන්තයේ මහ රැජින පාවිච්චි කරන මාදිලියේ රියකි. එවැනි රියක් මිලට ගැනීමට මේ රටේ ධනවත් හිඟන්නන්ට නොහැක. ඕනෑ නම් ඔවුන්ට මිල අධික පෝෂා වර්ගයේ රියක් හෝ ෆෙරාරියක් මිලට ගත හැකිය. එහෙත් ෆෙරාරිවලින් පාර්ලිමේන්තුවට එන සිරිතක් පාර්ලිමේන්තුවේ නැත. එබැවින් පෝෂා හෝ ෆෙරාරි තම දරුවන්ට මිලට ගෙන දෙන මැති ඇමැතිවරු මොන්ටෙරෝවල නැගී පාර්ලිමේන්තු යති.

 ඉන්ධන, විදුලිය සහ ආහාර ද්‍රව්‍ය නිදහසේ ලබාදීමට කිසියම් රටක ආණ්ඩුවකට බැරි නම් ඒ ආණ්ඩුවෙන් වැඩක් නැත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ආරක්ෂක ලේකම්ව සිටි කාලයේදී යුද ජයග්‍රහණයට දායක වූ බව ඇත්තය. එහෙත් දැනට තිබෙන තෙල් ප්‍රශ්නය, ගෑස් ප්‍රශ්නය, කෑම ප්‍රශ්නය, බෙහෙත් ප්‍රශ්නය යනාදිය විසඳීමට මීට අවුරුදු 13 ට පෙර අත්පත් කරගත් ඒ ජයග්‍රහණයට හැකිව නැත. ඒ නිසා ජනතාවට තව තවත් තෙල් සාත්තු නොදී ප්‍රායෝගික බෙහෙත් වට්ටෝරුවක් සොයාගෙන එමගින් ප්‍රශ්නවලට ප්‍රතිකාර සොයන ලෙස අපි ජනාධිපතිගෙන් ඉල්ලමු. මේ ආණ්ඩුව පෙරළනවාට කුහක සතුටක් අප තුළ නැත. ආණ්ඩුවක් පෙරළී අලුත් ආණ්ඩුවක් එන තුරු පවතින අතරමැදි කාලය මහා කරදර කාලයකි. අප මේ තරම් හඬ නගන්නේ මේ ප්‍රශ්න විසඳාගෙන ආණ්ඩුව ඉදිරි ගමනක් යනු දැකීමේ අපේක්ෂාව පෙරදැරි කරගෙන ය.

advertistmentadvertistment
advertistmentadvertistment