තෙල් සේවකයන්ට ‘මෙඩිකල්’ ගෙවන්න – කම්කරු කොමසාරිස් පාලනාධිකාරියට දන්වයි

198

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් සඳහා වෛද්‍ය ප්‍රසාද දීමනාව ගෙවන ලෙස කම්කරු කොමසාරිස් කේ. ඩී. ප්‍රියන්ත මහතා ඛනිජ තෙල් සංස්ථා පාලනාධිකාරියට දැනුම් දී ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් 1970 සිට වෛද්‍ය නිවාඩු සඳහා දිරි දීමනා ලබාගෙන ඇති බවත් එම දිරි දීමනා අත්හිටුවීමෙන් එම සේවකයන් දීර්ඝ කාලයක් භුක්ති විඳි වරප්‍රසාද අහිමි කිරීමක් බවත් කම්කරු කොමසාරිස්වරයා ලිපියක් මගින් පාලනාධිකාරියට දැනුම් ඳී තිබේ.

වෛද්‍ය නිවාඩු සඳහා දිරි දීමනා ගෙවීම දෙපාර්ශ්වය විසින් අත්සන් තබා ඇති ගිවිසුමක් මගින් එකඟ වී ඇති බවත් එය නොගෙවීම මගින් අදාළ අවබෝධතා ගිවිසුම ඒකපාර්ශ්විකව කඩකර ඇති බව නිරීක්ෂණය වන බවත් කම්කරු කොමසාරිස්වරයා පෙන්වාදී ඇත.

ඛනිජ තෙල් සංස්ථා සේවකයන් ඉන්ධන සමග ද ඉන්ධන බහුල වායුගෝලීය පරිසරයක් තුළ ද සිය සෞඛ්‍ය හා ජීවිත අවදානමේ හෙළමින් සේවය කරන බව වෘත්තීය සමිති විසින් කම්කරු කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇත.

ඛනිජ තෙල් සංස්ථාවේ සී. පී. එස්. ටී. එල්. ආයතනය 2019, 2020, 2021 වර්ෂවල රුපියල් මිලියන 1600 සිට 2000 දක්වා වාර්ෂික ලාභයක් උපයා ඇති බව සේවකයන් විසින් පෙන්වාදී ඇත.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment