තෙලේ බලේ ප‍්‍රමිතියේ හිල්: පෙට‍්‍රල් නියාමනයට නිසි ආයතනයක් නැහැ

230

මෙරටට ආනයනය කරන පෙට‍්‍රල්වල ප‍්‍රමිතිය පිළිබඳ බරපතළ ගැටලූවක් මතු වී ඇතැයි තෙල් සංස්ථා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ට පැවසීය.

ඊට හේතු වී ඇත්තේ ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය මගින් අංක SLS 768 – 2021 ලබා දී තිබෙන පිරවිතරයන් සම්බන්ධ නිර්දේශ පෙට‍්‍රල්වල ඔක්ටේන් සංයුතිය ඔක්ටේන් 91 දක්වා පහත හෙළා තිබීමයි.

මෙතෙක් කලක් මෙරට පෙට‍්‍රල්වල අඩංගු වියයුතු ඔක්ටේන් ප‍්‍රමාණය 92 හා 95 තිබිය යුතු වුවත් ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය ඔක්ටේන් 91 ක් ලෙස එය පහළ දමා ඇත්තේ වැරදීමකින්දැයි ප‍්‍රශ්නයක් වී ඇතැයි තෙල් සංස්ථා ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේය.

ඉන්දියාවේ භාවිතයට ගන්නේ ඔක්ටේන් 91 පෙට‍්‍රල්ය. ඊට හේතු වී ඇත්තේ ඉන්දියාවේ නිෂ්පාදිත යතුරුපැදි හා මෝටර් රථ සඳහා එම පිරවිතරයන් ගැළපෙන නිසා යැයි ද හෙතෙම සඳහන් කළේය.

මේ චෝදනාව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයෙන් ‘දිවයින’ කළ විමසීමේදී එම ආයතනයේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් එල්. පී. එල්. චිත‍්‍රගේ මහතා කියා සිටියේ මෙරටට ගෙන එන හෝ මෙරට නිෂ්පාදනය කරන පෙට‍්‍රල්වල ප‍්‍රමිතිය සම්බන්ධව ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය වගකියන්නේ නැති බවයි. පෙට‍්‍රල්වල ප‍්‍රමිතිය තීරණය කරන්නේ තෙල් සංස්ථාව බව ද ඒ මහතා කීය.

මේ සම්බන්ධයෙන් කොළොන්නාව හා සපුගස්කන්ද රසායනාගාර භාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් විමසූ විට ඔවුන් කියා සිටියේ පෙට‍්‍රල්වල ප‍්‍රමිතිය සහතික කරන්නේ තමන් සිදු කරන රසායනාගාර පරීක්‍ෂණවලින් පමණක් බවයි. කිසිම විටෙක ඔක්ටේන් 92 ට අඩු පෙට‍්‍රල් වෙළෙඳපොළට මුදාහරින්නේ නැතැයි ද එම නිලධාරීහු අවධාරණය කර සිටිති.

ඒ අනුව ඉන්දීය තෙල් සමාගම (අයි. ඕ.සී) මෙරටට ගෙන්වන පෙට‍්‍රල්වල ප‍්‍රමිතිය එම සමාගමත්, සංස්ථාව ගෙන එන පෙට‍්‍රල්වල ප‍්‍රමිතිය තෙල් සංස්ථාවත් තීරණය කිරීම තුළ පෙට‍්‍රල්වල ප‍්‍රමිතිය නියාමනය කරන්නට ආයතනයක් නොමැති බව ද සංස්ථාව කියා සිටී.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment