තේ පිටරට යවලත් ඉවරයි… බීලත් ඉවරයි

721

තේ කර්මාන්තය අපේ රටට ඩොලර් උපයාදෙන ප්‍රධාන ආදායම් මාර්ගයකි. කොටින්ම කිවහොත් ශුද්ධ විදේශ විනිමය මෙරටට ලබාදීමට තේ කර්මාන්තයෙන් ලැබෙන්නේ ඉහළ දායකත්වයෙකි. ඒකොයිහැටිවුවද තේ නිෂ්පාදනය අඩුවීම, විදුලි කප්පාදුව, ඉන්ධන අර්බුදය, භාණ්ඩ ප්‍රවාහන වියදම ඉහළයෑම, ඇසුරුම් ද්‍රව්‍ය තේ පොහොර ඇතුළු අනිකුත් යෙදවුම් මිල ගණන් ඉහළයෑම නිසා මෙරට තේ කර්මාන්තය දැඩි අවදානමකට ලක්ව ඇත. ශ්‍රී ලංකා මහබැංකු වාර්තාවට අනුව 2021 වර්ෂයේ දි මෙරට තේ නිෂ්පාදනය සියයට 7.2කින් පහළ ගොස් ඇත්තේය. ඒ සඳහා එම වර්ෂයේ නොවැම්බර් හා දෙසැම්බර් මාසවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය දැඩි බලපෑමක් එල්ල කරනු ලැබීය.

ඒ විතරක් නොව අපනයන කළ තේ පරිමාවන් සහ මිල ගණන් පහළයෑම හේතුවෙන් මෙම වර්ෂයේ මාර්තු මාසයේ තේ අපනයන ආදායම සියයට 24.0කින් පහළ ගියේය. 2021 වර්ෂයේ මාර්තු මාසයේ මෙරට තේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 124.6කි. එහෙත් මෙම වර්ෂයේ මාර්තු මාසයේ තේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 94.7 දක්වා අඩුවී ඇත. මෙම වර්ෂයේ ජනවාරි, පෙබරවාරි, මාර්තු යන මාසවල තේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 286.8කි. ඉකුත් වර්ෂයේ (2021) මෙම කාර්තුව හා සැසැඳීමේදී තේ අපනයන ආදායම ඩොලර් මිලියන 15.2කින් අඩුවී ඇත.

ජාත්‍යන්තර තේ වෙළෙඳ පොළේ ප්‍රධානතම සැපයුම්කරුවා වන්නේ ශ්‍රී ලංකාවයි. මැදපෙරදිග රටවල්, මෙන්ම රුසියාව හා ස්වාධීන පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් මෙරට තේ නිෂ්පාදනයෙන් විශාල ප්‍රමාණයක් මිලදී ගනිති. කෙසේවුවද මේ වනවිට අපේ රට මුහුණ පා ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉන්දියාවට නව තේ වෙළෙඳ පොළක් නිර්මාණය වී ඇති බැව් ඒ. එන්. අයි. පුවත් සේවය වාර්තා කොට තිබුණි. රටේ පවතින ආහාර අර්බුදය, විදුලි කප්පාදුව, විදේශ මුදල් හුවමාරු ගැටලු, නැව් ගාස්තු හා කන්ටේනර් ගාස්තු වැඩිවීම යන හේතු නිසා තේ අපනයනය කිරීමේදී ගැටලු රැසක් ඇතිවී තිබේ. අපේ රට සාම්ප්‍රදායික ක්‍රමවේදයට තේ කොළ නිෂ්පාදනයේ ප්‍රමුඛයාය. ශ්‍රී ලංකාව කිලෝග්‍රෑම් මිලියන 03ක පමණ තේ කොළ නිෂ්පාදනය කළ අතර ඉන් වැඩි ප්‍රමාණයක් යුරෝපීය රටවලට හා ඇමරිකාවට අපනයනය කරනු ලැබීය. එහෙත් රටේ පවතින අර්බුදකාරී තත්ත්වය මත නිසි වෙලාවට තේ නිෂ්පාදනය අපනයනය කිරීමට නොහැකිවීම හේතුවෙන් තේ ගැනුම්කරුවන්ගේ අවධානය ඉන්දියාව වෙතට යොමුවී ඇති බැව් සිලිගුරු තේ වෙන්දෙසි කමිටුවේ සභාපති කමල් කුමාර් තිවාරි මහතා පවසා තිබුණි.

ලංකාවේ තත්ත්වය මේ විදියට දිගටම පැවතුනහොත් ඉන්දියාවේ තේ වෙළෙඳ පොළ ඉහළට යනවා. එමෙන්ම ගැනුම්කරුවන් බලාපෙරොත්තුවන උසස් ප්‍රමිතියෙන් යුතු තේ කොළ අපිට නිෂ්පාදනය කරලා දෙන්න පුළුවන් මේ සමග ඉන්දියාවේ සාම්ප්‍රදායික තේ වෙළෙඳපොළ වැඩිදියුණු වෙනවා තිවාරි කියන්නේය. තිවාරිලා පමණක් නොව උතුරු බෙංගාලයේ තේ කර්මාන්තකරුවන්ද මගබලා සිටින්නේ මෙරට පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉන්දියාවට තේ වෙළෙඳපොළේ නව අවස්ථාවක් උදාවන තුරුය. මෙරටින් අවශ්‍ය තේ නිෂ්පාදනය නොලැබෙන විට ගැනුම්කරුවන් ඉන්දියාව දෙසට යොමුවනු හැර වෙනත් විකල්පයක් නොමැති බව ඉන්දියාවේ සිලිගුරිවල තේ වතු හිමිකරුවෝ පවසති.

තේ වගාව සඳහා රසායනික පොහොර තහනම් කිරීමේ ප්‍රතිඵල අත්විඳීමට මෙරට තේ නිෂ්පාදකයාට මේ වනවිට සිදුවී තිබේ. තේ පොහොර මිල අහස උසට නැග තිබේ. මේ නිසා කුඩා තේවතු හිමියන් තේ වගාව සඳහා පොහොර යෙදීම නවතා දමා ඇත. මෙහි ප්‍රතිඵලය වන්නේ අපේ රටේ තේ දලු අස්වැන්න අඩුවීමයි. ඒ විතරක් නොව තේ වල ප්‍රමිතිය අඩුවීමට මෙය බලපානු ඇත.

තේ පිටරට යවලත් ඉවරයි… බීලත් ඉවරයි

ගැනුම්කරුවන්ට අවශ්‍ය තේ සැපයුම සපයා ගැනීමට නොහැකි වුවහොත් තේ ගැනුම්කරුවන් තේ නිෂ්පාදනය කරනු ලබන වෙනත් රටවල් සඳහා යොමුවීම වැළැක්විය නොහැකි කරුණකි.

ඒ විතරක් නොව විදුලි කප්පාදුව ඉන්ධන අර්බුදය නිසා තේ කම්හල් හිමියන් ගැටලු රැසකට ලක්ව ඇත. නිෂ්පාදන වියදම ද විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර තේ නිෂ්පාදනය කිරීමේදී බරපතළ ගැටලු රැසකට මුහුණදීමට තේ කම්හල් හිමියන්ට සිදුවී තිබේ. ජෙනරේටර් යොදාගෙන තේ කම්හල් ක්‍රියාකරවීමට ද ඩීසල් අවශ්‍ය වේ. ඩිසල් හිඟකම ඒ සඳහා බාධාවක් වී අත. තේ කම්හල් හිමියන් පවසන්නේ මෙම තත්ත්වය නිසා ප්‍රමිතියෙන් යුතුව ගුණාත්මක ලෙස නිමි තේ නිෂ්පාදනයක් කිරීමට බාධා එල්ල වී ඇති බවය. ඒ විතරක් නොව අමු තේ දලු සැපයුම අඩුවීම නිසා තේ කම්හල්වල ධාරිතාවද අඩුවී ඇත.

මෙරට තේ කර්මාන්තය එකම දම්වැලක පුරුකක් ලෙස බැඳී ඇත්තේය. කුඩා තේ වතු හිමියා, තේ කම්හල් හිමියා, බෝකර්වරු හා තේ අපනයනකරුවන් මත මෙරට තේ කර්මාන්තය රැඳී ඇත්තේය. තේ කම්හල් හිමියන් පමණක් නොව තේ පොහොර මිල ඉහළයෑම නිසා කුඩා තේවතු හිමියන්ද ගැටලු රැසකට ලක්ව ඇත. තේ පොහොර මිල අහස උසට නැග තිබේ. රුපියල් 1500ට තිබූ තේ පොහොර කොට්ටයක මිල මේ වනවිට රුපියල් විසිදහස තිස්දහස දක්වා වැඩිවී ඇත. තේ පොහොර මිල මේ අයුරින් වැඩිවීම කුඩා තේ වතු හිමියාට දරාගත නොහැකිය.

මෙරට දිස්ත්‍රික්ක 14ක ලක්ෂ 05කට ආසන්න කුඩා තේ වතු හිමියන් සංඛ්‍යාවක් විසිරී සිටිති. මින් වැඩිම කුඩා තේ වතු හිමියන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ රත්නපුර හා ගාල්ල දිස්ත්‍රික්කවලිනි. කුඩා තේ වතු හිමියන්ගෙන් සෘජුවම යැපෙන පවුල් සංඛ්‍යාව ලක්ෂ 20කට ආසන්නය. කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ගණන් හිලව්වලට අනුව කුඩා තේ වතුබිම් ප්‍රමාණය හෙක්ටයාර් 122,900කි. ඉඩම් කැබලි සංඛ්‍යාව 397,223කි. කුඩා තේ වතු අංශයේ වාර්ෂික නිමි තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 225,728කි. මෙරට ජාතික තේ නිෂ්පාදනයෙන් සියයට 75.21ක දායකත්වයක් ලබාදෙන්නේ කුඩා තේ වතු හිමියාය.

අනික් කාරණය වන්නේ කුඩා තේ වතු හිමියන්ගෙන් සියයට 75ක් පමණ අක්කර 01ට අඩු කුඩා තේ වතු හිමියන්ය. මොවුන් තම දරුපවුල් නඩත්තු කරන්නේ තේ වගාවෙන් ලැබෙන ආදායමෙනි. මෙරට තේ කර්මාන්තයට වැඩිම දායකත්වයක් ලබාදෙන කොටස්කරුවා වන්නේ කුඩා තේ වතුහිමියාය. ඒ කොයිහැටි වුවද රසායනික පොහොර තහනම් කිරීමත් සමග කුඩා තේ වතුහිමියාට එල්ලවූයේ මරු පහරකි. කුඩා තේ වතු හිමියන් කාබනික පොහොර තේ වගාව සඳහා යොදනු ලැබුවද එමගින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට නොහැකි වූහ. ඇතැම් කුඩා තේ වතුහිමියන් තම වගාව සඳහා තේ පොහොර යෙදීම අත්හරිනු ලැබීය.

පුද්ගලික තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා කීවේ මෙවැනි කථාවකි.

තෙල් අර්බුදය තේ කර්මාන්තයට දැඩිලෙස බලපා තියෙනවා. 2022 වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ නිමි තේ කිලෝ මිලියන 04ක අඩුවීමක් තියෙනවා. අපේ රටේ තේ නිෂ්පාදනය අඩුවුවහොත් තේ නිෂ්පාදනය කරන වෙනත් රටවල් සඳහා

ගැනුම්කරුවන් යොමුවීමේ අවදානමක් තියෙනවා. දැනට නම් එහෙම තත්ත්වයක් නැහැ. තේ පොහොර කොට්ටයක මිල රුපියල් 20000ක් 30000ක් අතර වෙනවා. මේ නිසා රසායනික පොහොර යොදන්නේ ඉතා සුළු පිරිසක්. මේ නිසා සිදුවන්නේ තේ අස්වැන්න හා තේවල ප්‍රමිතිය අඩුවීමයි. තේ පොහොර මිල අඩුකරලා යම් සහනයක් ලබාදිය යුතුයි.

කුඩා තේ වතු හිමියන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් සමස්ත ලංකා කුඩා තේ වතු සමිති සංවිධානයේ සභාපති. කේ. එල්. ගුණරත්න මහතා කීවේ මෙවැනි කතාවකි.

කුඩා තේ වතුහිමියන් ලංකාවේ දිස්ත්‍රික්ක 14ක ලක්ෂ 05කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා. මේ අයගෙන් යැපෙන සංඛ්‍යාව ලක්ෂ 20කට ආසන්නයි. තේ ගසකින් සතිපතා තේ දලු නෙළනවා. දලුවලින් ඉවත්වෙන්නේ නයිට්‍රජන් ආපසු නයිට්‍රජන් ගසට ලබාදිය යුතුයි. නයිට්‍රජන් ලබාදීමට රසායනික පොහොර යෙදිය යුතුවෙනවා. රසායනික පොහොර තහනම ඉවත් කළත් වෙළෙඳපොළේ තියෙන මිලට කුඩා තේ වතු හිමියාට රසායනික පොහොර මිලදී ගන්න බැහැ. තේ පොහොර මිටියක මිල රුපියල් 20000 වඩා වැඩියි. කුඩා තේ වතු හිමියන්ගෙන් සියයට 70ක් පමණ ඉන්නේ අක්කරයකට අඩු කුඩා තේ වතු හිමියන්. තේ වගාවෙන් ලැබෙන ආදායමෙන් තමයි දරුපවුල් නඩත්තු කරන්නේ. පොහොර ගැටලුව නිසා යම් ප්‍රමාණයක තේ දලු අස්වැන්නේ අඩුවීමක් තියෙනවා. වාසනාවකට අපේ රටේ පසුගිය වසරේ හොඳ දේශගුණික තත්ත්වයක් තිබුණා. එනිසා පොහොර නැතිවුණා කියලා තදින්ම කුඩා තේ වතු හිමියන්ට දැනුනේ නැහැ. තවමත් කුඩා තේ වතු හිමියන්ට විශාල මුදලක් දීලා පොහොර මිලදී ගෙන වගාවට යෙදවීමට අපහසුයි. වසරකට කුඩා තේ වතු හිමියන්ගෙන් කෝටි 400ක් 450ක අතර මුදලක් බදු වශයෙන් අයකර ගන්නවා. එකට කියන්නේ සෙස් බද්ද කියලා. එම බදු මුදලින් කුඩා තේ වතු හිමියන්ට පොහොර සහනාධාරය ලබාදෙන්න කියලා අපි යෝජනා කළා. වැවිලි කර්මාන්ත ඇමැතිතුමා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරලා තියෙනවා. එහි අවසාන ප්‍රතිඵලයක් ලැබිලා නැහැ. අපි තවත් යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. පොහොරවල මිල සංශෝධනය වනතෙක් කුඩා තේ වතු හිමියන්ට වාරික තුනකින් ගෙවීමේ පදනම මත පොහොර ලබාදෙන්න කියලා. තේ කම්හල් හිමියන්ටද ණයට පොහොර දෙන්න බැහැ. එම නිසා තේ මණ්ඩලය මේ සඳහා මැදිහත් වෙලා තේ කම්හල්වලට පොලී රහිත ණයක් ලබාදීලා එම මුදලින් කුඩා තේ වතු හිමියන්ට වාරික තුනකින් ගෙවීයන ලෙස පොහොර ලබාදෙන්න කියලා තේ අපනයනකරුවන්ට ඩොලර් වලින් තමයි මුදල් ලැබෙන්නේ එම මුදල් රුපියල් බවට පත්වන විට එහි වාසිය කුඩා තේ වතු හිමියන්ට ලැබෙන්න ඕන.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment