තොග හිඟවී මාළු මිල තවත් නගී

332

ඉහළ දැමූ මිලටවත් ධීවරයින්ට භූමිතෙල් හා ඩීසල් නොලැබුණු නිසා මාළු වෙළෙඳ පොළට නොපැමිණීමත් සමග ඊයේ (24 වැනිදා) මාළු තොග මිල කිලෝවක් රුපියල් සීයයත් දෙසීයත් අතර මිලකින් වැඩි වී තිබේ.

මේ කාලය වැඩිම මාළු අස්වැන්නක් ලැබෙන කාලය වුවත් ධීවරයින්ට මුහුදු යෑමට අවශ්‍ය ඉන්ධන ලබා දීමට රජය අපොහොසත්ව සිටීම නිසා මාළු හිඟවී මිල ගණන් මෙලෙස ඉහළගොස් ඇතැයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා ‘දිවයින’ට පැවසීය.

ඒ අනුව එක් දිනක් තුළ මාළු සැපයුම අඩු වී ක්ෂණිකව මාළු මිල ඉහළ ගිය බව ද ඒ මහතා කීය.

මෙනිසා පාරිභෝගිකයන්ගේ පැමිණීම ද අඩුවී තිබූ බව ඒ මහතා පැවසීය. ඒ අනුව ඊයේ දිනයේ තලපත්, තෝර, පරව් කිලෝවක තොග මිල රුපියල් දෙදහස ඉක්මවා මිල නියම වී තිබූ බව ද ලින්නා 850, සාලයා 700 ආදී වශයෙන් ඉහළ ගොස් තිබූ බව ද කුරේ මහතා කීය.

වැඩිම මාළු අස්වැන්නක් ලැබෙන මේ කාලයේ දී වැඩි කළ මිලටවත් භූමිතෙල් ඇතුළු ඉන්ධන ධීවරයින්ට ලබා දෙන්නේ නම් මාළු මිල ඉහළ නොයා පාලනය කළ හැකි මුත් වගකිවයුතු පාර්ශ්ව එය නිසි ලෙස කළමනාකරණය නොකිරීම නිසා මේ තත්ත්වය ඇති වී තිබෙන බව ද ඒ මහතා කීය.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment