තොටළඟ කුඩු කුමාරිට එරෙහි පොලිස් විමර්ශන හදිසියේම නවතී

245

මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කාරියක වූ ‘තොටළඟ කුඩු කුමාරි’ට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ආරම්භ කර තිබූ විමර්ශන කටයුතු එක්වරම නතර වී තිබේ.

උපයා ගත් ආකාරය අනාවරණය කිරීමට නොහැකි නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ නීතිය යටතේ මීට මාස කිහිපයකට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය තොටළඟ කුඩු කුමාරිට එරෙහිව මෙම විමර්ශනය ආරම්භ කර තිබිණි. එහිදී දිනපතාම මත්කුඩු කිලෝ දෙකක් පමණ සිල්ලරට අලෙවි කරමින් රුපියල් කෝටි දෙකහමාරක පමණ අතිවිශාල මුදලක් උපයා ගනිමින් සිටි කුඩු කුමාරි සතු නිශ්චල සහ චංචල දේපළ මෙන්ම අනෙකුත් වත්කම් පිළිබඳව දීර්ඝ ලෙස පරීක්‍ෂණ සිදු කිරීමට පියවර ගනු ලැබිණි.

එම පරීක්‍ෂණවලදී මෙම කුඩු ජාවාරම්කාරිය සතුව නිවාස කිහිපයක්, රථවාහන කිහිපයක්, කිලෝ ග්‍රෑම් දෙකකට ආසන්න ස්වර්ණාභරණ තොගයක් සහ වෙනත් පුද්ගලයන්ගේ නමින් වූ දේපළ රැසක් ඇතැයි පොලිසියට තොරතුරු ලැබුණු බවද වාර්තා විය.

තොටළඟ කුඩු කුමාරි නීතියේ රැහැනට කොටුකර ගැනීමට සිදු කෙරුණු සියලු කටයුතු එක්වරම නතර වූයේ එවැනි සාර්ථක විමර්ශනයක් සිදුවෙමින් තිබියදී බව පොලිසියේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.
ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment