තොණ්ඩුව

1848

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වය සහිත සමගි පෙරමුණු ආණ්ඩුව මේ රට භාරගත් එක්දහස් නවසිය හැත්තෑ ගණන්වලදී ශ්‍රී ලංකාව පිටරටවලට ඩොලර් බිලියන දෙකක් ණය වී තිබිණි. එකල ඇමරිකන් ඩොලරයක් රුපියල් 10 ටත් අඩුය. එහෙත් එවකට මේ රටේ තිබූ ගැමි ආර්ථික තත්ත්වය නිසා බණ්ඩාරනායක මැතිනිය ඉහත කී ඩොලර් බිලියන දෙක සම්බන්ධයෙන් මහත් සේ වධ වූවාය. එකල ද අපට ඩොලර් වියදම් වුණේ පිටරටින් ගෙන්වූ යන්ත්‍ර සහ රථවාහන සඳහාත්, පිටරටින් ගෙන්වූ කෑම වර්ග සඳහාත් ය. අද මේ රටේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 52 ක් ඉක්මවා ගොස් තිබේ. බැඳුම්කර වශයෙන් පිටරටවලට නිකුත් කර තිබූ මේ ණයවලින් ඩොලර් බිලියන 6 ක හෝ 7 ක ප්‍රමාණයක් ගෙවා ගැනීමට ආණ්ඩුවට මෙවර බැරි විය. එම මුදල් ගෙවීමට නොහැකි බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් මේ රටේ මහ බැංකුවේ අධිපතිවරයා විසින් පසුගියදා කර තිබිණි. කිසියම් රටක් විදේශ ණයක් ගෙවීමට ඇත්නම් ඒ ගෙවීමට අවශ්‍ය මුදල් තම සාක්කුවේ තිබේදැයි සොයා බලන්නේ ණය ගෙවන දවසට පෙර දිනයේ නොවේ. එය මාස කිහිපයක සැලසුමකි. කිසියම් ණය වාරිකයක් ගෙවීමට නොහැකි නම් ඒ බව කලින් දැනුම්දෙන අතර එම ණය වාරිකය Re Schedule කිරීම හෙවත් ගෙවීම සඳහා තවදුරටත් කාලය ලබා ගැනීම මහ බැංකුව මගින් කරනු ලැබිය යුතුය. මෙවර අප විසින් ගෙවීමට නියමිතව තිබූ රුපියල් බිලියන කිහිපය ගෙවීම සඳහා කල් ගැනීමට මීට පෙර සිටි මහ බැංකු අධිපතිවරයා වූ නිවාඩ් කබ්රාල්ට ඕනෑ තරම් කල් තිබිණි. එහෙත් මේ රටේ සල්ලි සාක්කුව පාලනය කරන බලගතු කට්ටිය මේ ණය ගෙවීමට කල් ගැනීම සඳහා ණය හිමියන් සමග වචනයක්වත් සාකච්ඡා කර තිබුණේ නැත. පසුව ඒ සඳහා කල් ගැනීමට අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා පටන් ගත් නමුදු ඒ වනවිට ජල කඳ නහයට උඩින් පමණක් නොව ඔළුවට උඩින් ද ගමන් කර අවසන්ය. මෙහි ප්‍රතිපලයක් වශයෙන් ගෙවීමට නොහැකි වූ බැඳුම්කරයකට අදාළ මුදල් සහ පොලිය ඉල්ලමින් ඇමරිකාවේ Hamilton Reserve Bank Limited නමැති සමාගමක් ඇමරිකන් උසාවියක නඩු පවරා තිබේ. ඒ බව ඇමරිකාවේ Bloom Berg පුවත් ඒජන්සිය මගින් ලෝකය පුරාම ප්‍රචාරය කර ඇත. Bloom Berg වෙබ් අඩවිය සහ රූපවාහිනිය යන දෙකම කවදත් කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවට එරෙහි ස්ථාවරයක සිටය. කෙසේ වුවද ගත් ණය ගෙවා ගැනීමට නොහැකි රටක් බවට අප පත්වී සිටින බව ඉන්දියාවේ චෙන්නායි නගරයේ උකස් බඩු කඩේ මුදලාලිගේ සිට ඉතියෝපියාවේ පාරවල් දිගේ ඇවිදිමින් වීදි වෙළෙඳුන්ගෙන් පොලී සල්ලි එකතු කරන පොලීකාරයාත් ලෝකයේ තිබෙන සියලුම බැංකු සහ ආයෝජක ප්‍රජාවත් දැනගෙන අවසන් ය. සෙල්ලම පටන් ගන්නේ මෙතැන් සිටය.

ශ්‍රී ලංකාවෙන් බැඳුම්කර මිලට ගත් ඇමරිකාවේ හැමිල්ටන් බැංකුව පවරන ලද නඩුවේ තීන්දුව වශයෙන් ගෝඨාභය රාජපක්ෂ හෝ නිවාඩ් කබ්රාල් හෝ එල්ලුම් ගස් යන්නේ නැත. මේ ණය මුදල හැකි ඉක්මනට ගෙවා දමන ලෙස උසාවිය ලංකාවට නියෝග කරනවා ඇත. එමතුද නොව ණය මුදල් සඳහා වන පොලිය ද නඩු තීන්දුව දෙන දවස දක්වා ගණන් බලා ගෙවීමට නියම කරනවා ඇත. අප නඩු ගාස්තුවට ද යටත් කරනු ලබනවා ඇත. මෙය එතැනින් නවතින්නේ ද නැත. මින්පසු කිසිම රටක් අපේ බැඳුම්කර මිලට ගන්නේ නැත. මීට අවුරුදු කිහිපයකට පෙර ලෝකවාසී ආයෝජන ප්‍රජාව මේ රටේ බැඳුම්කරවල මුදල් ආයෝජනය කළේ නිසි ලෙසට නිසි කලට පොලිය සහ ණය වාරිකය තමන්ට ලැබුණු බැවිනි. එහෙත් ඒ තත්ත්වය ශූන්‍ය වී ගොස් ඇති බව මේ වනවිට මුළු ලෝකයම දනී. දැන් අපට ණය ලබාගත හැක්කේ ඉන්දියාවෙන් සහ චීනයෙන් පමණි. චීනය අපට ණය දෙන්නේ ඍජු දේශපාලන අරමුණු වෙනුවෙනි. ඉන්දියාව අපට ණය දෙන්නේ ව්‍යාපාරික අරමුණු සහ ස්වකීය බලය අප මත රඳවා තබා ගැනීමේ අරමුණු වෙනුවෙනි. එසේම ඉන්දියාවට තවත් ප්‍රශ්නයක් ඇත. ඒ වූකලී ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්චස් වුවහොත් තමිල්නාඩුවට ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් ලක්ෂ ගණනින් පැමිණීමට ඇති ඉඩකඩය. ඉන්දියාවට අවට රටවලින් සරණාගත ප්‍රශ්න රැසක් තිබේ. බංගලාදේශයේ සරණාගතයන් එන්නේ ද ඉන්දියාවටය. පාකිස්ථානයේ සරණාගතයන් එන්නේද ඉන්දියාවටය. ඒ තියෙන කරදර මදිවාට ලංකාවේ මිනිසුනුත් එහි එන්න පටන් ගත්තොත් ඉන්දියාව ලොකු අර්බුදයකට පත්වෙයි. අනෙක් අතට දැනට පවතින ආර්ථික අර්බුදය උග්‍ර වී ප්‍රචණ්ඩ සමාජ ක්‍රියාකාරිත්වයක් හෝ සිවිල් යුද තත්ත්වයක් මේ රටේ හට ගත්තොත් එය ඉන්දියාවට ද මාර වාතයක් වනු ඇත. එය වාතයකටත් වඩා නරක ආදර්ශයකි. මේ සියලු කරුණු සලකා බලන විට පෙනී යන්නේ ලංකාවේ විදේශ ණය වාරික නොගෙවීමෙන් මේ රටේ නායකයන්ට එල්ලුම් ගස් යෑමට සිදු නොවුණත් ජනතාවට ගෙල වැලලා ගැනීමට සිදුවන බවය.

තෙල් පෝලිම් තවදුරටත් දික්වෙමින් පවතී. ගෑස් පෝලිම ගෑස් නැතිවිට පවා දික්වෙයි. ආහාර මිලද බෙහෙවින් ඉහළය. ශ්‍රී ලංකාවේ ආහාරවලට අදාළ උ්ද්ධමනය ඉදිරි සති කිහිපය තුළදී 60% දක්වා ඉහළ යනවා ඇත. මෙවැනි කරදරකාරී අවස්ථාවකදී අප පිටරටින් ණය ගැනීම කළ යුතුමය. විශේෂයෙන්ම මේ මොහොතේදී දිගු කාලීන පදනමක් යටතේ ඩොලර් බිලියන 10 ක් ලබාගෙන එය ආර්ථිකයට පොම්ප කළ හැකි නම් ආණ්ඩුවට ඩොලරයේ මිල රුපියල් 210 – 220 ත් අතර පවත්වාගෙන යෑමට හැකිවේ. එවිට ආහාර මිල වහාම පහළ යනවා ඇත. එහෙත් මේ කිසිවක් කිරීමට මේ වෙලාවේදී නොහැක. ඉතාම නරක තත්ත්වය වන්නේ මේ තත්ත්වයන් සම්බන්ධයෙන් වගකිව යුත්තේ මොකාද යන්න කීමට ආණ්ඩුව තුළ කොන්දක් නොතිබීමය.

advertistmentadvertistment
advertistmentadvertistment