ත‍්‍රස්ත පනත අහෝසි කරනු බෑ… ජනපති කොමිසම අතුරු වාර්තාවෙන් කියයි

508

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු යන මතවාදයට එකඟ නොවන බවත් මහා බි‍්‍රතාන්‍ය ඇතුළු සෙසු රටවල ත‍්‍රස්තවාදය වැළැක්වීම සඳහා හඳුන්වා දී ඇති නීති අධ්‍යයනය කර පනත සංශෝධනය කළ යුතු බවත් මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිසම් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම සිය අතුරු වාර්තාවෙහි සඳහන් කර ඇත.

අතුරු වාර්තාව කොමිසමෙහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ඒ.එච්.එම්.ඞී. නවාස් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන් අයුරු..

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු යන මතවාදයට එකඟ නොවන බවත් මහා බි‍්‍රතාන්‍ය ඇතුළු සෙසු රටවල ත‍්‍රස්තවාදය වැළැක්වීම සඳහා හඳුන්වා දී ඇති නීති අධ්‍යයනය කර පනත සංශෝධනය කළ යුතු බවත් මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිසම් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම සිය අතුරු වාර්තාවෙහි සඳහන් කර ඇත.
 
 ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9, 11 සහ 13 වගන්ති කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති කොමිසම, වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ස්වරූපයකින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනා තුනක් අතුරු වාර්තාව මගින් ඉදිරිපත් කර තිබේ.
 
 9 වැනි වගන්තිය මගින් රැුඳවුම් නියෝග ක‍්‍රියාත්මක කිරීමේ දී අවම මාස තුනක් හෝ ඊට වැඩි කාලයක් රඳවා තබා ගන්නා පුද්ගලයන්ට අධි චෝදනා ගොනුකර නඩු අසා නිම කිරීමත්, 11 වන වගන්තිය යටතේ වූ රැුඳවුම්කරුවන් බන්ධනාගාරය තුළ රඳවා තබා ගැනීම වෙනුවට විශේෂ ආරක්ෂාවක් යටතේ සිය නිවසේ හෝ ගම් ප‍්‍රදේශයේ රඳවා තබා ගැනීමට ඇති හැකියාවත් පෙන්වා දී තිබේ.
 
 13 වැනි වගන්තිය ප‍්‍රකාරව ජනාධිපතිවරයාට උපදෙස් දීමට අවම වශයෙන් තිදෙනෙකුගෙන් සමන්විත, සියලූ ජාතීන් නියෝජනය කෙරෙන උපදේශන සභාවක් පත් කිරීමේ වැදගත්කම කොමිසම අතුරු වාර්තාව මගින් යෝජනා කරනු ලබයි.
 
 එහි මෙසේ ද සඳහන් ය.
 
 ‘‘තිරසර සාමය සහ සංහිඳියාව දිනාගනු වස් වගවීම සහ මානව සම්පත් සංවර්ධනය සපුරා ගැනීම සඳහා එක්සත් ජාතීන් සහ එහි නියෝජිත ආයතන සමග සහයෝගයෙන් වැඩ කිරීම රජයේ ප‍්‍රතිපත්තිය වන්නේය. විසඳීමට ඇති ගැටලූ සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී නීති රාමුව තුළ විසඳුම් දීමටත්, අවශ්‍ය පරිදි ආයතනික සංශෝධන කරමින් යුක්තිය හා සංහිඳියාව තහවුරු කිරීමටත් රජය කැපවී සිටී.’’
 
 මෙම අතුරු වාර්තාව එම කොමිසමෙහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ඒ.එච්.එම්.ඞී. නවාස් මහතා විසින් පෙරේදා (20 දා* පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙන ලදී.
 
 මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන බරපතළ වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය පිණිස පත්කළ කොමිෂන් සභා හෝ කමිටු අනාවරණය කරගත් තොරතුරු විමර්ශනය, පරීක්ෂණය සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් 2021 ජනවාරි මස 21 සහ පෙබරවාරි මස 12 වන දිනයන්හි අති විශේෂ ගැසට් නිවේදන මගින් කොමිසමට සාමාජිකයන් පත්කරනු ලැබිණි.
 
 ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ඒ. එච්. එම්. ඞී. නවාස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස විශ‍්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප‍්‍රනාන්දු, විශ‍්‍රාමික දිස්ත‍්‍රික් ලේකම් නිමල් අබේසිරි සහ යාපනය නගර සභා සාමාජික යෝගේෂ්වරී පත්කුණරාජා යන මහත්ම මහත්මීහු පත්කරනු ලැබ සිටිති.
 
 කොමිසමේ අවසන් වාර්තාව ඉදිරි මාස 6 තුළ ලබාදීමට පූර්ව කොමිසම් සභාවන්හි සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමට අවකාශය සැලසෙයි. ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, ජනාධිපති අතිරේක ලේකම් ටී.ටී. උපුල්මලී, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ සහ ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ හරිගුප්ත රෝහණධීර යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment