දක්ෂිණ අධිවේගයේ අනතුරකින් කිලෝමීටර් දහයක වාහන තදබදයක්

456

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 2 දශම 3 සහ 2 දශම 4 අතර කහතුඩුව හා කොට්ටාව අතර ප‍්‍රදේශයේ දී අද අළුයම කැබ් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුර හේතුවෙන් කිලෝමීටර් දහයක් පමණ දුරට දැඩි රථ වාහන තදබදයක් ඇති වූ බව අධිවේගී රථවාහන පොලිසිය කියයි.

සිදුවූ අනතුරෙන් වෑන් රථයේ රියදුරු සහ කැබ් රථයේ සිටි පුද්ගලයකු ප‍්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කළ බව පොලිසිය කියයි.

කොළඹ දෙසට ධාවනය තිබූ කැබ් රථයක දකුණුපස රෝදය ආපදාවට ලක් වීමෙන් අනතුරුව කැබ් රථය ආපදා තීරුවේ නතර කර තිබියදී එම දිශාවටම ධාවනය වූ වෑන් රථයක් කැබ් රථයේ පිටුපස ගැටීමත් සමඟ වෑන් රථයේ මීටර් විස්සක් පමණ ඉදිරියට ඇදී ගොස් මාර්ගය මැද පෙරළීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි. සිදුවූ අනතුරෙන් වෑන් රථ රියදුරු තුවාල ලබා ඇති අතර කැබ් රථයේ සිටි පුද්ගලයකු කම්පන තත්ත්වයෙන් පසු වූ බව පොලිසිය කියයි.

සිදුවූ අනතුරෙන් කැබ් රථයේ පිටුපසට සහ වෑන් රථයට බරපතල අලාභ සිදු වී ඇතැයි පොලිසිය කියයි

අනතුර සිදු වී විනාඩි කිහිපයක් ගතවෙද්දී එම ස්ථානයට පැමිණි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසියේ නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන් තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමටත් මාර්ගය මැද පෙරළුණු වෑන් රථය එම ස්ථානයෙන් ඉවත් කිරීමටත් කටයුතු කෙරිණි. සිදු වූ අනතුර වෑන් රථ රියදුරකු ගේ අපරික්ෂාකාරි රිය ධාවනය හේතුවෙන් සිදුවී ඇතැයි පොලිසිය කියයි.

දක්ෂිණ අධිවේගී මාර්ග රථ වාහන පොලිසියේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත පුෂ්පකුමාර ,සහකාර පොලිස් අධිකාරී කපිල අබේනායක මහත්වරුන්ගේ උපදෙස් මත ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අනුරුද්ධ චන්ද්‍රසේකර මහතාගේ මෙහෙයවීමෙන් ගැලනිගම අධිවේගී රථවාහන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත් ගාමිණී පොලිස් සැරයන්වරුන් වන 14770 ජයදේව 60729 වීරතුංග පොලිස් කොස්තාපල්වරු වන 83664 සුදර්ශන 60704 කුමාර 86276 අබේනායක මහත්වරු පරීක්ෂණ පවත්වති.

කැස්බෑව ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment