දකුණට පැය 3 ක් ලයිට් කපන්නේ පෞද්ගලික බලාගාර දෙකකින් විදුලිය ගන්න

194

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය

දකුණු පළාතට පැය 03 ක දෛනික විදුලි විසන්ධි කිරීමක් යෝජනා වී තිබෙන්නේ දකුණු පළාතේ පිහිටි පෞද්ගලික ඉන්ධන බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීමකට යැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි.

උතුර-උතුරු මැද ඇතුළු පළාත් කිහිපයක විදුලි බලාගාර නොමැති වුවත් එම පළාත්වල දෛනික විදුලි කප්පාදු කිරීමකට යෝජනා නොකර දකුණු පළාතට පමණක් විදුලිය විසන්ධි කිරීමට යෝජනා කරන්නේ ඉංජිනේරු මාෆියාව නිසා බවද එම සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ‘දිවයින’ට ඊයේ (22 දා) පැවසීය.

ඇඹිලිපිටියේ සහ මාතර පිහිටි මෙම පෞද්ගලික බලාගාර දෙකෙන් නිපදවන මෙගාවොට් 100 ක විදුලිය ලබාගතහොත් දකුණු පළාතටත් අනෙකුත් පළාත්වලට මෙන් පැය දෙකක විදුලි කප්පාදුවකට යා හැකි බව විදුලි ඉංජිනේරු සංගමය පවසන බවද ඔහු කීය.

දකුණු පළාතේ පිහිටි බලාගාර දෙක ඉදිකිරීමට 2005 වසරේදී රුපියල් මිලියන 2500 ක් පමණ වැයකර ඇතත් මේ වනවිට එම බලාගාරවලින් විදුලිය ලබා ගැනීම සඳහා විදුලිබල මණ්ඩලය රුපියල් මිලියන දසදහසක් පමණ වැයකර ඇතැයිද ධම්මික මහතා කීය.

සෑම වර්ෂයකම ජනවාරි සිට මාර්තු දක්වා දකුණේ මෙම බලාගාරවලින් විදුලිය ලබා ගත්තත් එය මේ වසරේ සිදුකර ගැනීමට නොහැකි වීම නිසා දකුණු පළාතට පැය 03 ක විදුලි කප්පාදුවකට ගොස් ඇති බවද ඔහු පැවසීය.

මෙවර එම බලාගාර දෙකෙන් විදුලිය මිලදී ගැනීම සඳහා වසර 03 කට ගිවිසුම් ගතවීමට උත්සාහ කරන බවත් එසේ ගිවිසුම් ගතවුවහොත් රුපියල් කෝටි 9500 ක පමණ පාඩුවක් විදුලිබල මණ්ඩලයට සිදුවන බවත් ධම්මික මහතා කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment