දකුණු මුහුදෙන් ඇල්ලූවේ බ්ලූමැන්ඩල් සංඛගේ කුඩු

158

* ඩුබායි සිට මෙරට ජාවාරමුන් දෙදෙනකුට එවලා විදේශිකයන් 6ක් හා කුඩු තොගය රැගත් යාත‍්‍රාව කොළඹ වරායට

ශ‍්‍රී ලංකාවට දකුණින් මුහුදු සැතපුම් 900 ක් ගැඹුරු මුහුදේ දී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 250 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගය බ්ලූමැන්ඩල් සංඛ නමැති පාතාල නායකයාට අයත් බව එම විමර්ශන වලින් හෙළිවී ඇත.

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මෙම පාතාල නායකයා මෙරට සිටින පාතාල කරුවන්ට ලබාදීම සඳහා මෙම හෙරොයින් තොගය එවා ඇති බව අත්අඩංගුවට ගෙන සිටින සැකකාර විදේශිකයන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.

මුහුදු සැතපුම් 900 ක් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 250 කට අධික වටිනාකමෙන් යුත් මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සහ විදේශිකයන් හයදෙනා සමග ට්‍රෝලර් යාත‍්‍රාව ඊයේ (15දා* උදෑසන කොළඹ වරාය වෙත රැුගෙන එනු ලැබීය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය, නාවික හමුදාව සහ රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය ඒකාබද්ධව කළ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සමග ජාවාරම්කරුවන් හයදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 11 වැනිදාය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පාකිස්තාන ජාතිකයෙක් සහ ඉරාන ජාතිකයෝ පස් දෙනෙක් සිටිති.

මෙම හෙරොයින් තොගය පැකට් 225 ක අසුරා තිබෙන බව මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි. නාවික හමුදාවේ ‘සයුර’ නෞකාව දින 25 කට ආසන්න කාලයක් තිස්සේ ශ‍්‍රී ලංකාවට කිලෝ මීටර් 900 ක් පමණ ගැඹුරු මුහුදේ කළ මෙහෙයුමකදී මෙම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ හෙරොයින් තොගය වැඩිදුර විමර්ශන කටුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය භාරයට ගෙන ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment