දකුණේ පාතාලය යකා නටයි

1081

පැය 12ක් ඇතුළත ඝාතන ප්‍රයත්න දෙකක්

කොස්ගොඩ සුජීගේ බෑනා වෙඩි කයි – ඔහු නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්

මිනිස් ඝාතනයකට සැක අයකුටත් වෙඩි

දකුණේ පාතාලය යළිත් හිස ඔසවමින් තිබේ. මෙම තත්ත්වය හමුවේ දකුණේ ජනතාව නැවතත් භීතියට පත්ව ඇත. එහි ආසන්තම සිද්ධි දෙක පැය 12 ක් ඇතුළත පෙරේදා (25 වැනිදා) රාත්‍රී සහ ඊයේ (26 වැනිදා) උදෑසන වාර්තා විය.

එම වෙඩි තැබීමේ සිද්ධි දෙකම වාර්තා වූයේ අම්බලන්ගොඩ පොලිස් වසමෙහිය.

අම්බලන්ගොඩ බළපිටිය, රන්දොඹේ ප්‍රදේශයේ ඊයේ (26 වැනිදා) උදෑසන සිදුවු වෙඩි තැබීමකින් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පති දනුක පෙරේරා මහතා තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

නියෝජ්‍ය විදුහල්පතිවරයා ධර්මාශෝක විදුහලට සිය යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.

මෙම නියෝජ්‍ය විදුහල්පතිවරයා දැනට විදේශගතව සිටින කොස්ගොඩ සුජී නමැති පාතාල නායකයාගේ බෑනනුවන් බව හෙළිවිනැයි පොලිසිය පවසයි.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකුගෙන් අයෙකු එල්ල කරන ලද වෙඩි පහර කාගෙනම සිය යතුරු පැදියෙන්ම නියෝජ්‍ය විදුහල්පතිවරයා ඉතා අපහසුවෙන් අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණ ඇත.

අනතුරුව පොලිස් ස්ථානයේ නිලධාරීහු නියෝජ්‍ය විදුහල්පතිවරයාව රෝහල්ගත කිරීමට පියවර ගත්හ.

නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් හෙළි වී නැත.

සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

මෙය පැය 12 ක් තුළ අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ දෙවැනි වෙඩි තැබීම බවද පොලිසිය පවසයි.

මේ අකාරයට ම පෙරේදා (25 වැනිදා) රාත්‍රි අම්බලන්ගොඩ වතුගෙදර, ආඳාදොළ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය පවසයි.

දැනට මිනිස් ඝාතන සිද්ධි කීපයකට අදාළව ඇපමත සිටින කෝටිපති ව්‍යාපාරික හැළඹගේ පේමසිරි නමැති ප්‍රධාන සැකකරු ඉලක්කර මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි.

ඔහු අසල්වාසී නිවසක පැවැති මඟුල් ගෙදරකට සිය පුත්‍රයා සමග යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී අදාළ තුවක්කුකරුවන් වෙඩි තැබීම සිදුකර ඇත.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරවැන් දෙදෙනා වෙඩි තැබීම සිදුකරන අවස්ථාවේ හැළඹගේ පේමසිරි තම දරුවා සමග සිය යතුරු පැදියෙන් පැන ඒ අසල වෙලටක පැන දිවි බේරාගෙන ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි තැබීම සිදුකර යතුරු පැදියෙන් පලාගිය සැකකරුවන් සොයා පොලිසිය පුළුල් විමර්ශනයක් අරඹා තිබේ.

මේ පිළිබඳව අම්බලන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රන්න ඇල්පිටියගේ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක පී. එම්. ඉරාන් මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ බළපිටිය අනුර යසමිත්

advertistmentadvertistment
advertistmentadvertistment