දකුණේ රන් සප්පුවක් සුද්ද කර රටින් පැන්න සුදු හොරු

657

මීට සති දෙක තුනකට පමණ ඉහතදී ජෝර්දාන් ජාතිකයන් දෙදෙනකු සංචාරයක් සඳහා මෙරටට පැමිණියහ. මෙකී ජෝර්දාන් ජාතිකයන් දෙදෙනා ගජ මිතුරන් වු අතර එක් අයෙකු 61 හැවිරිදිවියේ පසුවිය. අනික් පුද්ගලයාගේ වයස අවුරුදු 44කි. මින් එක් අයකු ආබාධිතයෙකි. ජෝර්දානයේ සිට මෙරටට පැමිණි මෙකී විදේශීය සංචාරකයන් දෙදෙනා සති දෙකක කාලයක් මෙරට ගතකිරීම සඳහා වීසා ලබාගෙන තිබුණි. මොවුන් දෙදෙනා කොළඹ නගරයේ හෝටල් කිහිපයක නතරවී සිටිමින් සාප්පු සවාරි යෑමට ද කටයුතු කළහ. ස්වර්ණාභරණ ආයතනවලට ගොස් රන් භාණ්ඩ පරීක්ෂා කිරීමට මෙකී විදේශීය ජාතිකයන් දෙදෙනා දැඩි රුචිකත්වයක් දැක්විය.

විදේශීය ජාතිකයන් දෙදෙනා රන් භාණ්ඩ මිලදී ගැනීමට එම වෙළෙඳසල්වලට ගොස් කරක්ගැසුවද රන් භාණ්ඩ මිලදී ගනු නොලැබීය. රන් භාණ්ඩ වෙළෙඳසල් හිමියන් සමග සුහදවී රන් භාණ්ඩ පරීක්ෂාකොට මිලදී ගැනීම සඳහා පසුව එන බව සඳහන් කරමින් මොවුන් දෙදෙනා රන් භාණ්ඩ වෙළෙඳසල්වලින් පිටව ගියහ. මේ අතර මින් එක් අයකු ඩෙංගු උණ වැළඳී කොළඹ නගරයේ පිහිටි පුද්ගලික රෝහලක නතර වී ප්‍රථිකාර ලැබීය. දින කිහිපයකට පමණ පසු ජෝර්දාන් ජාතිකයන් දෙදෙනා ගාල්ල නගරයට සංචාරය කිරීම සඳහා පැමිණියහ. ගාල්ල කළුවැල්ල අතීතයේ සිට රන් භාණ්ඩවලට ප්‍රසිද්ධ කලාපයකි. මෙකී විදේශීය ජාතිකයන් දෙදෙනා ගාල්ල කළුවැල්ලේ පිහිටි සෑම රන් භාණ්ඩ වෙළෙඳසලකට පාහේ ගොස් රන් භාණ්ඩ පරීක්ෂාකරණු ලැබීය.

මේ අතර කළුවැල්ලේ පිහිටි රන් භාණ්ඩ වෙළෙඳසලකට ගොඩවැදුණු විදේශීය ජාතිකයන් දෙදෙනා තමන්ට රන්මාල කිහිපයක් මිලදී ගැනීමට අවශ්‍ය බව රන් භාණ්ඩ වෙළෙඳසලේ හිමිකරුට කීහ. රන් භාණ්ඩ වෙළෙඳසල් හිමියා සමග රන්මාලවල මිල ගණන්ද කතාකරගනු ලැබීය. රන්මාල පරීක්ෂා කරමින් වෙළෙඳසලේ හෝරා කිහිපයක් ගත කළ ජෝර්දාන් ජාතිකයන් දෙදෙනා රන් භාණ්ඩ වෙළෙඳසල් හිමියා සමග සුහදවී විශ්වාසයක් ඇතිකර ගැනීමට කටයුතු කළහ.

රන්මාල මිලදී ගැනීමේ ගනුදෙනුව රන් භාණ්ඩ වෙළෙඳසල් හිමියා සමග කතාබස් කරගත් ජෝර්දාන් ජාතිකයන් දෙදෙනා පසුදින රන්මාල මිලදී ගැනීමට එන බව පවසා වෙළෙඳසලෙන් පිටව ගියහ. ඉන් දින දෙකකට පසු ජෝර්දාන් ජාතිකයන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් මෙකී රන් භාණ්ඩ වෙළෙඳසළ වෙත පැමිණියහ. මොවුන් දෙදෙනා අත කුඩා ප්‍රමාණයේ රෙදි බෑග් දෙකක්ද තිබුණි. එක් බෑගයක ව්‍යාජ ලෙස සකස්කරනු ලැබූ රන් මාල කිහිපයක් තිබූ අතර අනික හිස් බෑගයකි. බෑග් දෙක ස්වර්ණාභරණ වෙළෙඳසලේ මේසයක් මත තැබූ ජෝර්දාන් ජාතිකයන් දෙදෙනා රන් මාලවල මිල ගණන් පිළිබඳ රන් භාණ්ඩ වෙළෙඳසලේ හිමිකරු සමග කතාබස් කරගනු ලැබිණි. රන් භාණ්ඩ වෙළෙඳසල් හිමියාගේ බිරිඳ ද වෙළෙඳසලේ සිටියාය. අපිට රන් මාල 28ක් මිලදී ගැනීමට අවශ්‍යයි. එසේ කී ජෝර්දාන් ජාතිකයන් දෙදෙනා රන්මාල එකින් එක පරීක්ෂා කරමින් මාල තෝරන්නට වූහ. මේ වනවිට මොවුන් දෙදෙනා රන් භාණ්ඩ වෙළෙඳසල් හිමියා සමග දැඩි විශ්වාසයක් ගොඩනඟාගෙන තිබුණි. එකී විශ්වාසය තවත් තහවුරු කිරීම සඳහා රුපියල් ලක්ෂ 02ක මුදලක් ගෙවා රන් මාලයක් මිලදී ගැනීමට කටයුතු කරනු ලැබීය. අනික් රන්මාල 28 විදේශීය ජාතිකයන් දෙදෙනා රැගෙනවිත් තිබූ හිස් බෑගයට දමා බෑගයේ කට ගැට ගසනු ලැබීය. පසුව එම බෑගය රන් භාණ්ඩ වෙළෙඳසල් හිමියාගේ මේසය මත තබනු ලැබීය. ව්‍යාජ රන් භාණ්ඩ අඩංගු බෑගයද රන් භාණ්ඩ වෙළෙඳසල් හිමියාගේ මේසය මතවිය.

රන් මාල 28 සඳහා බිල්කරන ලෙස ජෝර්දාන ජාතිකයන් දෙදෙනා රන් භාණ්ඩ වෙළෙඳසල් හිමියාට කීහ. මිලදී ගත් රන් මාලයේ කැරට් ප්‍රමාණය පරීක්ෂා කිරීම සඳහා වෙනත් රන් භාණ්ඩ වෙළෙඳසලකට යායුතු බවද මොවුන් දෙදෙනා රන් භාණ්ඩ වෙළෙඳසල් හිමියාට කීහ. ජෝර්දාන් ජාතිකයන් දෙදෙනා රන් භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් පැමිණ රන්මාල වංචා කිරීම සඳහා ඉතා සූක්ෂම අයුරින් සැලසුම්කොට තිබුණි. මේ කිසිවක් රන් භාණ්ඩ වෙළෙඳසල් හිමියා දැන සිටියේ නැත. පසුව විදේශීය ජාතිකයන් දෙදෙනා ව්‍යාජ රන් භාණ්ඩ බහා තිබූ බෑගය මේසය මත තබා මිලදී ගත් රන්මාල සහිත බෑගය ඉතා සූක්ෂම ලෙස රැගෙන රන් මාලයේ කැරට් ප්‍රමාණය පරීක්ෂා කිරීම සඳහා යන බව පවසමින් රන් භාණ්ඩ වෙළෙඳසලෙන් පිටව ගියහ.

ටික වෙලාවක් ගතවිය. එහෙත් ජෝර්දාන් ජාතිකයන් දෙදෙනා රන් භාණ්ඩ වෙළෙඳසලට පැමිණියේ නැත. මිලදීගත් රන් මාල බහා තිබූ බෑගය විදේශීය ජාතිකයන් දෙදෙනා රැගෙන ගිය බවට රන් භාණ්ඩ වෙළෙඳසල් හිමියා දැන සිටියේ ද නැත. ඔහු මේසය මත තිබූ බෑගය පරීක්ෂා කරනු ලැබීය. එහි තිබූ රන් මාල පරීක්ෂා කිරීමේ දී රන් භාණ්ඩ වෙළෙඳසල් හිමියාට දෙලොව රත්විය. තමන් ජෝර්දාන් ජාතිකයන් දෙදෙනාගේ ගැටයට හසුවී ඇති බව දැන ගන්නාවිට සියල්ල සිදුවී හමාරය. රන් භාණ්ඩ වෙළෙඳසල් හිමියා මෙකී රන් භාණ්ඩ වංචාව පිළිබඳ ගාල්ල පොලිසියට ද පැමිණිලි කිරීමට කටයුතු කරනු ලැබීය. ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල සේනාපතිද සිල්වා මහතාගේ උපදෙස් මත ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් රන් භාණ්ඩ වෙළෙඳසලට පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කරනු ලැබීය.

විදේශීය ජාතිකයන් දෙදෙනා රන් භාණ්ඩ වෙළෙඳසලට පැමිණෙන අයුරු රන් භාණ්ඩ පරීක්ෂා කරන අයුරු වෙළෙඳසලේ තිබූ සී.සී.ටී.වී. කැමරාවල සටහන් වී තිබුණි. එම ඡායාරූප මුහුණු පොත වෙත මුදාහැරීමට කටයුතු කරනු ලැබීය. විදේශීය ජාතිකයන් දෙදෙනාගේ ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීමත් සමග මෙකී විදේශීය සංචාරකයන් දෙදෙනා සමග ගමන්බිමන් ගිය සංචාරක මඟපෙන්වන්නන්ගෙන් තොරතුරු රැසක් පොලිස් නිලධාරීන් විසින් සොයාගනු ලැබීය. එහෙත් ඒ වනවිට සියල්ල සිදුවී හමාරය. ජෝර්දාන ජාතිකයන් දෙදෙනාගේ සැලසුම සාර්ථක වී තිබුණි. මොවුන් දෙදෙනා මෙකී රන් භාණ්ඩ රැගෙන එදින පස්වරුවේ කටුනායක ගුවන්තොටුපළින් ජෝර්දානය බලාගොස් තිබුණි.

ව්‍යාජ ලෙස රැගෙනගොස් ඇති රන් මාලවල බර පවුම් 33ක් බව විමර්ශන වලදී අනාවරණය විය. ජෝර්දාන් ජාතිකයන් දෙදෙනා විසින් රුපියල් හැටඑක් ලක්ෂ පන්දහසක් පමණ වටිනා රන්මාල 28ක් වංචාසහගත ලෙස සොරකම් කරගෙන ගොස් තිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment