දකුණේ විදුලි ව්‍යාපෘතිය වන්දියක හිරවෙයි

217

ගාණ වැඩිකර දෙන්න නිලධාරියෙක් දත කයි

දකුණු පළාතට විදුලිය ලබාදීමට ක්‍රියාත්මක යෝධ විදුලි ව්‍යාපෘතියක් රත්නපුර, සිරිපාගම ප්‍රදේශයේ අක්කර දෙසීයක ඉඩමක වන්දි ප්‍රශ්නයක් මත නතර කර දැමීමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදුව තිබේ.

මෙනිසා අතිවිශාල මුදලක් වැයකර පෞද්ගලික ඩීසල් බලාගාරවලින් දකුණු පළාතට විදුලිය ලබාදීමට සිදුව තිබෙන බව ලංවිම පාලනාධිකාරිය කියා සිටී.

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ණය ආධාර මත ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන හතළිහක මුදලක් වැයකර ලක්‍ෂපාන, පොල්පිටිය රත්නපුර දක්වාත් එතැන් සිට ගාල්ල, මාතර, හම්බන්තොට දක්වාත් මේ අධිබලැති විදුලි සම්ප්‍රේෂණ මාර්ගය වසර දෙකක පමණ සිට සවිකරමින් තිබේ.

නමුත් රත්නපුර, සිරිපාගම ප්‍රදේශයේ අක්කර දෙසීයක ඉඩමකට හිමිකම් කියන කාන්තාවකට ගෙවිය යුතු රුපියල් ලක්‍ෂ දහසයක වන්දිය වෙනුවට රුපියල් ලක්‍ෂ අනූහයක වන්දියක් ගෙවීම සඳහා විදුලි අමාත්‍යාංශයේ නිලධාරියකු උත්සාහ ගන්නා නිසා අදාළ විදුලි ව්‍යාපෘතිය මෙලෙස නතර වී ඇත.

මෙම විදුලි ව්‍යාපෘතිය නතරවීම නිසා පෞද්ගලික ඩීසල් බලාගාරයකින් හා මෙගාවොට් එක බැගින් වූ ඩීසල් ජෙනරේටර් තිහකින් දකුණට අවශ්‍ය අමතර විදුලිබලය ලබාදීම සඳහා ලංවිමට මසකට ලක්‍ෂ ගණනක අමතර මුදලක් වැය කිරීමට සිදුව තිබේ.

කැබිනට් මණ්ඩල අනුමැතිය මත මෙම විදුලි ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. රජයේ තක්සේරුවලට අනුව අදාළ විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉඩම් අයිතිකරුවන් හයදහසකට සම්පූර්ණ වන්දි මුදල් ද ගෙවා නිමකර ඇත.

මෙසේ තිබියදී අක්කර දෙසීයකට හිමිකම් කියන අදාළ බලපුළුවන්කාර කාන්තාව අමාත්‍යාංශයේ අදාළ උසස් නිලධාරියා හරහා ව්‍යාපෘතිය අත්හිටුවා තිබීම නිසා දකුණේ ජනතාව අඩු වෝල්ටීයතාව නිසා ඇතැම් විට අඳුරට පත්ව සිටින බවද ලංවිම කියා සිටී.

රජයේ තක්සේරුව වන රුපියල් ලක්‍ෂ දහසයක වන්දියට අදාළ කාන්තාව එකඟ වන්නේ නම් දින තුනකින් අදාළ විදුලි සම්ප්‍රේෂණ මාර්ගය නිමකර දකුණට විදුලිය ලබාදිය හැකි යැයිද ලංවිම කියා සිටී.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment