දඩයමට දිවූ යුගය අවසන්… ආදිවාසී අභිමානය රටට කියන්නට රත්නපාල දුවයි

330

ඉතිහාසයේ සිට පැවත එන ආදිවාසී පරපුරේ, දස්කම් විශ්කම් පිළිබඳ එදා පටන් විවිධ වූ අවස්ථාවන්හිදී කතාබහට ලක් වූ වාර අනන්තයි. ඔවුන්ගේ කාය ශක්තිය පිළිබඳවද පරිසරයට, රෝගවලට දක්වන ප්‍රතිරෝධය පිළිබඳ හා පසුගිය කාලයේ ආදිවාසි පරපුරේ කාන්තාවක් දේශපාලනයට පිවිසීම වගේම ආදිවාසී පරපුරේ සාමාජිකයන්ගේ ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩායම පිළිබඳ දීර්ඝ කලක සිට විවිධ වූ අවස්ථාවන් හිදී වරින් වර සමාජයේ කතාබහට ලක්විය. එහෙත් ආදිවාසී පරපුරේ සාමාජිකයකු මලල ක්‍රීඩා ඉසව්වකින් ජාතික මට්ටමේ ජයග්‍රහණයක් දක්වා පැමිණ විදේශීය තරගාවලියකට සුදුසුකම් ලැබීම දක්වා පැමිණියා වූ කිසිවකු මීට පෙර වාර්තා නොවීය. එහෙත් පසුගිය 08 දින ගම්පහදී නිමාවට පත්වූ 47වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් ඉසව්වේ ජයග්‍රහණය හිමිවූයේ ආදිවාසී පරපුරෙන් පැවත එන තරුණයකුටය. නැගෙනහිර පළාත නියෝජනය කරමින් ඉදිරිපත් වූ දෙහිඅත්තකන්ඩිය හේනානිගල ආදිවාසී ගම්මානයේ තලාවරිගයේ රත්නපාල තරුණයා කිලෝමීටර් 42ක් දුවමින් එහි රන් පදක්කම දිනා ගනිමින් ආදිවාසී පරපුරේ ප්‍රථම වතාවට ජාතික මට්ටමේ ක්‍රීඩා ජයග්‍රහණයක් දිනා ගත්තේය. එම පරපුරේ එවැනි තරගයකින් ප්‍රථම රන් පදක්කම් ලාභියා ද වූයේය.

එම ජයග්‍රහණයේ සතුට බෙදා හදා ගැනීමට රත්නපාල ක්‍රීඩකයා පසුගියදා ආදිවාසී පරපුරේ නායක විශ්වකීර්ති වනස්පති උෑරුවරිගයේ වන්නිලැ ඇත්තන් බැහැදැකීමට දඹාන කොටබකිණිය ගම්මානයට පැමිණ සිටි අවස්ථාවේදී අපහට මුණගැසුණි.

ඔහු අංක 37 හේනානිගල දකුණ නවමැදගම දෙහිඅත්තකන්ඩිය යන ලිපිනයේ පදිංචි වයස 30 වියේ පසුවන විවාහක එක් දරු පියෙකි.

තරග ජයග්‍රහණයේ සතුට ආදිවාසි නායකතුමන් සමඟ බෙදාහදා ගැනීමෙන් අනතුරුව අප සමඟද ඒ පිළිබඳව කතා කරන්නට ඔහු නිහතමානී විය.

“මට අද ගුවන් හමුදාවේ රැකියාව නොලැබුණානම් අද මම මේ තැනට එන්න ලැබෙන එකක් නෑ. රැකියාව නොලැබුණානම් මම අද වැවේ මාළු අල්ලන රස්සාව හරි සිමෙන්ති අනන තැනක වැඩක තමයි නිරත වෙලා ඉන්නවා ඇත්තේ. ඒ නිසා අද මම මගේ රැකියාවත්, ඒ නිසාම අද මම මේ ලැබූ ජයග්‍රහණය පිළිබඳව තියෙන්නේ ආඩම්බරයක්.” යැයි ඔහු ලැබූ ජයග්‍රහණය පිළිබඳ උතුරා යන සතුටින් පවසා සිටියේය.

ඔහු තවදුරටත් ඒ පිළිබඳව කතා කරමින් මෙසේ ද පැවසීය.

“මම ඉස්කෝලේ ගියේ හේනානිගල දකුණ මහා විද්‍යාලයට. සාමාන්‍ය පෙළ දක්වා පමණයි අධ්‍යාපනය ලැබුවේ.

2008 වසරේ නෙස්ටොමෝල්ට් මැරතන් තරගාවලිය දෙහිඅත්තකන්ඩිය නගරයේ තිබුණා. ඒක දුවලා ඉවර වුණාම මාව තේරුණා සමස්ත ලංකා මැරතන් තරගාවලියට. ඒක තිබුණේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ. මැරතන් එක ආරම්භ කරලා අවසන් කරන්නත් තිබුණේ එතනින්ම. ඒකේ මම දිව්වේ කිලෝමීටර් 21 තරගාවලියට. ඒකෙදී මම තෙවන ස්ථානය දිනාගන්න පුළුවන් වුණා. ඒ තරගාවලිය බලන්න ගුවන් හමුදාවේ නිලධාරිනුත් ඇවිල්ලා හිටියා. එදා සියත පත්තරේ නිෂ්මන් රණසිංහ මහත්තයා ඇවිත් හිටියා. එයාගේ යාළුවෙක් තමයි ගුවන් හමුදාවේ අපේ සර්. දීපාල් මුණසිංහ සර් එයාගේ යාළුවෙක්. ඒ දෙන්නා තමයි එදා මම දුවනවා බලාගෙන ඉඳලා එදා ඇවිත් මට කතා කරලා ගුවන් හමුදාවට බැඳෙන්න කිව්වේ. ඒ ආරධනයත් එක්ක තමයි මම ගුවන් හමුදාවට බැඳෙන්නේ.

දඩයමට දිවූ යුගය අවසන්... ආදිවාසී අභිමානය රටට කියන්නට රත්නපාල දුවයි

2009 වසරේදී ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවලියට ඉදිරිපත් වෙලා ඒකෙනුත් මට තෙවන ස්ථානය දිනා ගන්න පුළුවන් වුණා. ඒ වෙනකොටත් මට වයස 18 සම්පූර්ණ වෙලා තිබුණේ නෑ.

2010 වසරේදී මගේ වයස 18 සම්පූර්ණ වුණාට පස්සේ තමයි ගුවන් හමුදාවට බැඳුනේ. ඉන් පස්සේ ගමේ පාසලේ ක්‍රීඩා ගුරුවරිය යටතේ මම පුහුණුවීම් ලැබුවා. ඒ අවුරුදු දෙකට මට වැටුප් ලැබුණා නිවසේ සිට ක්‍රීඩා පුරුදු වෙන්න. ඒ පාසලේ ගුරුතුමිය වලල ඒ. රත්නායක මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ගුරුතුමියක්. එතුමියගේ නම චාන්දනී රොඩුපැල්ලැන්ද. එතුමිය අපේ ගමට එහා පැත්තේ ගමේ ඒ කියන්නේ “පරණ ගමේ”. ඒ කාලේ එතුමිය අපේ පාසලේ සෞඛ්‍ය විෂය උගන්වන ගමන්ම තමයි දරුවන්ට ක්‍රීඩා ඉගැන්නුවේ. එතුමිය යටතේ මම වසර දෙකක්ම ක්‍රීඩා පුහුණුවීම් කළා.

ඊට පස්සේ 2012 වසරේ ඉඳලා ගුවන් හමුදාවේ සජිත් ජයලාල් සර්ගේ යටතේ පුහුණුවීම් ආරම්භ කළා. ඒක මට වෙනස්ම අත්දැකීමක් වුණා. ලංකාවේ දුවන හොඳම කට්ටියක් සජිත් සර් යටතේ පුහුණුවීම් ලැබුවා. ඇත්තටම මම තනියම ක්‍රීඩා පුහුණුවීම් කලත් සමූහයක් එක්ක ක්‍රීඩා කරන්න පුහුණු වෙන්න අත්දැකීම් තිබුණේ නෑ. සජිත් සර් යටතේ පුහුණු වෙන්න ගත්තාට පස්සේ ඒ අත්දැකීම් රැසක්ම මට ලබන්න වාසනාව හම්බ වුණා. මම පසුගිය කාලයේ මහවැලි ක්‍රීඩාවලට ඉදිරිපත් වෙමින් අවස්ථා තුනකදීම රං පදක්කම් දිනා ගන්න හැකි වුණා.

මම විවාහ වුණේ 2017 වසරේදී. අපිට එක දුවෙක් ඉන්නවා. බිරිඳගේ නම බුද්ධිකා ජීවන්ති. එයාගේ ගම පස්සර. ක්‍රීඩා පුහුණු කරන්න ගිය වෙලාවකදී තමයි එයත් මට හම්බ වුණේ. අපේ දුවට දැන් වයස අවුරුදු දෙකහමාරක්. එයාගේ නම උදාරී චේතනා. මගේ අම්මාට දැන් වයස 71ක්, එයාගේ නම තලා වරිගයේ හීං මැණිකා. අම්මා ඉන්නෙත් මාත් එක්ක. මගේ තාත්තාගේ නම තලා වරිගයේ කන්දප්පු. එයා නැති වුණේ මං පුංචි කාලේ. වසර 15ක් විතර ඇති දැන් එයා අපිට අහිමි වෙලා. එයාටත් ස්ථිර රැකියාවක් තිබුණේ නෑ. තාත්තා නැති වුනායින් පස්සේ අම්මා ගොඩක් දුක් විඳලා තමයි අපි ලොකු මහත් කළේ. අම්මාටත් රැකියාවක් තිබුණේ නෑ. තිබුණ එකම දේ තමයි කුඹුර. කුඹුර වැඩ කරමින් තවත් විවිධ දේ කරමින් තමයි අපේ අම්මා මේ අවුරුදු 15ම අපි ජීවත් කෙරෙව්වේ. අපි ජීවත් වෙලා හිටියෙත් මහවැලියෙන් හදපු නිවසක. ඒක දැන් හොඳටම අබලන් වෙලා තෙමෙනවා හැම තැනම. ඒ නිසාම මම රැකියාවේ ඉන්න ගමන් ණය මුදලක් අරගෙන ඉන්න තැනම ගෙයක් හදන්න පටන් ගත්තා. හිටපු ගෙදර හොඳටම අබලන් නිසාම අලුතෙන් හදන ගෙදරත් වැඩ ඉවර කරගන්නේ නැතිවම ඒකෙ පදිංචි වුණා.

මගේ දැන් ලොකුම බලාපොරොත්තුව ඉදිරියේදි දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලට ඉදිරිපත් වෙමින් රන් පදක්කමකින් අපේ රට දිනවීමටයි. ඒ සඳහා යන දිගු ගමනේදී විවිධ වූ බාධක හැලහැප්පීම් එනවා. ඒකට සාර්ථකව මුහුණ දෙන්න මට ලොකු ආර්ථික හැකියාවක් නෑ. වැටුපෙන් ඒ හැමදේම කර ගන්න පුළුවන් වෙයි කියලා දැන් තියෙන තත්ත්වයත් එක්ක බැලුවාම මම විශ්වාස කරන්නේ නෑ. බැංකු ණය කැපිලා අනෙක් විය හියදම් එක්ක වැටප ප්‍රමාණවත් නෑ මගේ ඉදිරි ගමනට. ඒ නිසා මා හට මූල්‍යමය දායකත්වයක් ලබාදෙන්න පුළුවන් පිංවත් කෙනකු සිටිනවානම් ලොකු උපකාරයක් වෙයි කියලයි මම ඒක විශ්වාස කරන්නේ.

විශේෂයෙන් කිවයුතුයි, මම මෙම තත්ත්වය සඳහා ළඟාවීමට වසර 10ක් වැනි දිගු කලක් පුහුණුවීම් කළා. ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාපතිතුමන් ඇතුළු පුහුණුකරු සජිත් ජයලාල් මහතා ඇතුළු නිලධාරීන්ගෙන් ලැබූ සහය විශේෂයෙන් සිහි කළ යුතුයි. එදා මෙදාතුර මාහට උදව් උපකාර කළ සියලු දෙනාට ස්තුති කරන්න මම මේ වෙලාවේ අවස්ථාවක් කර ගන්නවා. අද මම මේ තැන ඉන්නේ ගුවන් හමුදාව හා මට උපකාර කළ සියලු දෙනා හින්දා. මට ගුවන් හමුදාවේ රැකියාව ලැබුණේ නැත්නම් මම අද උල්හිටිය වැයේ මාළු අල්ලනවා ඇති. එහෙමත් නැත්නම් කොළඹ සිමෙන්ති අනන තැනක වැඩ කරනවා වෙන්න පුළුවන්. මට උදව් උපකාර කළ සියලු දෙනා මම ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා” යැයි තලාවරිගයේ රත්නපාල ක්‍රීඩකයා පවසා සිටියේය.

ආදිවාසී නායකතුමන්ද එතුමන්ගේ රැහේ ඇත්තෙක්ගේ ජාතික මට්ටමේ ජයග්‍රහණය පිළිබඳ හා අනාගත ජාත්‍යන්තර ජයග්‍රහණයන් පිළිබඳ අපේක්ෂාවෙන් යුතුව “අපේ වරිගය වෙනුවන් ලබාදුන් ගෞරවය පිළිබඳ මම අද ගොඩක් සතුටට පත්වෙනවා. මේ තරුණයා මේ තැනට ඇවිත් තියෙන්නේ සුන්දර මාවතක නම් නොවේ. බොහෝ දුක් කම්කටෝළු එක්ක. ඉදිරි ගමනත් ඒ වගේම දුක් කරදර බාධා එක්ක යන්න තියෙන නිසා ඔහුට ශක්තියක් වෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. දුවනකොට දාන සපත්තු දෙකකුත් මේ කාලේ වෙනකොට රුපියල් 50,000/=කට අධිකයි කියලයි කිව්වේ. ඒ වෙනුවෙන් කවුරුන් හෝ උදව්වක් කරනවානම් ගොඩක්ම වටිනවා. රටේ වගකිවයුතු නිලධාරීන්ගේ හා බලධාරීන්ගේ අවදානයට ලක්වෙලා මේ රැහේ කැකුළා හොඳ තැනකට ගෙනත් දෙනවානම් ඒක අපිටත් ආඩම්බරයක් හා ගෞරවයක්” යැයි පැවසීය.

මහියංගනය –
රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment