දඩ කොලය දුන් පොලිස් නිලධාරියා යැයි සිතා  වෙනත් නිලධාරියකුට පොරොවෙන් කොටලා – සැකකරුත් වස බොයි

661

රථවාහන වරදක් වෙනුවෙන් දඩ පත‍්‍රිකාවක් දුන්නැයි උරණ වූ පුද්ගලයකු අම්බලන්තොට නගරයේ රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට 05 වැනිදා පොරොවකින් පහරදී තුවාල සිදුකර ඇතැයි අම්බලන්තොට පොලිසිය පවසයි.

දඩ කොලය දුන් පොලිස් නිලධාරියා යැයි සිතා  වෙනත් නිලධාරියකුට පොරොවෙන් කොටලා - සැකකරුත් වස බොයි
තුවාල ලැබූ පොලිස් නිලධාරියා.

මෙලෙස තුවාල සිදුව රෝහල් ගතකර ඇත්තේ අම්බලන්තොට පොලිසියට අනුයුක්තව රථවාහන රාජකාරියේ යෙදී සිටි වීරකැටියේ පදිංචි දීපාල් නමැති පොලිස් කොස්තාපල්වරයෙකි.

පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා 05 වැනිදා පෙරවරු 10ට පමණ අම්බලන්තොට නගරයේ ඔරලෝසු කණුව අසල රථවාහන රාජකාරියේ යෙදී සිටියදී එම ස්ථානයට පැමිණ ඇති අම්බලන්තොට බැරගම පදිංචි වසය අවුරුදු 54ක පමණ පුද්ගලයකු විසින් මෙම පොරෝ පහර එල්ල කර තිබේ. පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ. පොලිස් නිලධාරියාට පහරදීම සිදුකළ පුද්ගලයා ද අධික ලෙස බීමත්ව වස පානය කර සිටියදී අත්අඩංගුවට ගෙන ප‍්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හම්බන්තොට මහෙස්ත‍්‍රාත්වරයා නියම කර තිබේ. චූදිත පුද්ගලයා මේ වන විට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ හම්බන්තොට මහ රෝහලේ ප‍්‍රතිකාර ලබයි.

අම්බලන්තොට පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු විසින් මීට සති කිහිපයකට පෙර සැකකාර පුද්ගලයාට රථවාහන වරදක් සම්බන්ධයෙන් දඩ පත‍්‍රිකාවක් නිකුත් කිරීම සම්බන්ධයෙන් උරණ වී ඇති මෙම පුද්ගලයා 04 වැනිදා පෙරවරුවේ අධික ලෙස බීමත්ව පැමිණ මෙම පහරදීම සිදුකර තිබේ. තමන්ට දඩ පත‍්‍රිකාව නිකුත් කළ පොලිස් නිලධාරියා යැයි සිතා අදාළ පුද්ගලයා පහරදීම සිදුකර ඇත්තේ වෙනත් නිලධාරියකුට බව ද මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මත්තල – දිලීප් එන්. ජයසේකර


advertistmentadvertistment
advertistmentadvertistment