දණහිස් වේදනාව සුවකළ හැකිද?

1309

දණහිස බර දරා ගැනීමට හැඩගැසුණු සංකීර්ණ සන්ධියකි. විවිධ හේතු නිසා ඇතිවන දණහිස් වේදනාව බහුලව දක්නට ලැබෙන තත්ත්වයකි.

දණහිස් සන්ධිය සෑදී ඇත්තේ අස්ථි, කාටිලේජ, බන්ධන (ligaments) සහ කණ්ඩරා (tendons) එකතු වීමෙනි.

දණහිස් වේදනාව ඇතිවීමට හේතු මොනවාද?

දණහිසට සිදුවන අනතුරු

දණහිසේ බන්ධන (ligaments) සහ කණ්ඩරා (tendons) පහසුවෙන් ඉරීමට, ඇදීමට සහ උලුක්කුවීම් වලට භාජනය විය හැක. විවිධ ක්‍රීඩා සහ ව්‍යායාමවලදී මෙම අනතුරු සිදුවිය හැකි අතර වැරදි ඉරියව් සහ නිවැරදි තාක්ෂණයෙන් තොරව ව්‍යායාම සහ ක්‍රීඩා කිරීම බොහෝවිට හේතුවේ.

අධි භාවිතය

දිගු කාලයක් සිටගෙන සිටීම, ඇවිදීම, පඩි නැගීම වැනි දණහිස අධිකව භාවිතා වන ක්‍රියාකාරකම් නිසා patellar femoral syndrome නමැති තත්ත්වය ඇතිවේ. මෙහිදී දණහිස ඉදිරිපස ඇතිවන තද කැක්කුම විවේකයෙන් සිටින විට තාවකාලිකව අඩුවේ.

කණ්ඩරා ප්‍රදාහයන් (tendonitis)

විවිධ හේතු නිසා කණ්ඩරා ඉදිමී වේදනාවක් ඇතිවිය හැක. මෙයට අමතරව දණහිසේ ඇති ඉමර්ි නමින් හඳුන්වන තරලයක් සහිත පොකට් වැනි ව්‍යුහයන් ඉදිමිය හැක.

දණහිස් අමාරු හට ගැනීමට අවදානමක් සහිත කාණ්ඩ සිටීද?

බර අධික වීම, ස්ථුලතාවය, අධික භාවිතය

උදා: දිවීම, දණහිසට අධික බර දැනෙන ව්‍යායාම හෝ රැකියාවන් වයස්ගත පුද්ගලයන්, දණහිස අවට මාංශපේශි ශක්තිමත් නොවීම දණහිස් අනතුරු

දණහිස් වේදනාව ඇතිවන ස්ථානය සහ වේදනාවේ තීව්‍රතාවය රෝගය අනුව වෙනස් වේ. වේදනාවට අමතරව දණහිස ඉදිමීම, රතුවීම හෝ අල්ලන විට උණුසුම් ගතියක් දැනීම රෝග ලක්ෂණ ලෙස ඇතිවිය හැක. සමහර විට දණහිස පණ නැති ආකාරයක් හෝ ස්ථායි බව අඩුවීමක් රෝගියාට දැනිය හැක. දණහිස නවන, දිගහරින විට ඉන් ශබ්දයක් ඇසීමට හැකි අතර, සම්පූර්ණයෙන් දණහිස නැවීමට හෝ දිගහැරීමට අපහසු විය හැක.

දණහිස් වේදනාව තිබෙන විට ඔබ කළ යුත්තේ මොනවාද?

● දණහිසට වැඩිපුර බර නොදී විවේකය දිය යුතුය.

● වේදනාව හටගත් මුල් අවස්ථාවේ අයිස්වලින් තැවීමෙන් වේදනාව අඩුවේ.

● දණහිස මදක් ඔසවා තැබිම – වාඩි වී සිටින විට දණහිස පොළවට වඩා උසින් තැබීම, නිදාගන්නා විට පාදයට යටින් කොට්ටයක් තැබීම.

● පැරසිටමෝල් වැනි සරල වේදනානාශකයක් භාවිතය.

වෛද්‍ය උපදෙස් ලබාගත යුත්තේ කුමන අවස්ථාවලද?

දණහිසට බර දැරීම අපහසු ලෙස වේදනාවන් ඇතිවීම.

දණහිස ඉදිමීම. දණහිස ඇද වී තිබීම. සරල වේදනානාශක මගින් සමනය නොවන තද වේදනාව

කල් පවතින වේදනාව

වේදනාව වරින්වර නැවත හට ගැනීම

දණහිස ලොක් වීම. (locking) – නැවීමට සහ දිග හැරීමට අපහසු වේ.

දණහිස ඉදිමීම සමඟ උණ , දණහිස රතු වී උණුසුම් වී තද වේදනාවක් ඇතිවීම. විෂබීජ ආසාදනයක්.

දණහිස් වේදනාව ඇතිවීමට හේතු ඉහත පරිදි රාශියක් ඇති බැවින්, රෝගය හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබාගැනීම සඳහා සන්ධි සහ සන්ධි ආශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු (රක්තවාතවේදී) හමුවීම ඉතා වැදගත්ය. ඔබගේ රෝග ලක්ෂණ නිවැරදිව එම වෛද්‍යවරයාට පැවසීම රෝගය නිසි ලෙස හඳුනා ගැනීමට උපකාරී වේ. වෛද්‍යවරයා විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව අවශ්‍ය විටෙක රුධිර පරීක්ෂණ, එක්ස් රේ සහ ස්කෑන් පරීක්ෂණ (ultra sound , MRI) සිදු කරනු ඇත.

බොහෝ දණහිස් වේදනාවන් මුලදීම නිවැරදි රෝග විනිශ්චය කිරීම මඟින් සම්පූර්ණයෙන් සුව කළ හැක. නමුත් නිසි ප්‍රතිකාර ලබා නොගැනීම නිසා නිදන්ගත තත්ත්වයකට පත්විය හැක. රෝග විනිශ්චය අනුව බෙහෙත් පෙති/ කරල්/ ආලේපන සහ සමහර විට දණහිසට එන්නත් ලබාදෙනු ඇත. දණහිස නැවීම, දිගහැරීම අපහසු විට භෞත චිකිත්සක ව්‍යායාම මඟින්ද සහනයක් ලැබේ.

දණහිස් වේදනාව සුවකළ හැකිද?

සන්ධි සහ සන්ධි ආශ්‍රිත රෝග පිළිබඳව (රක්තවාතවේදී)
විශේෂඥ වෛද්‍ය සඳිනි විජේවීර
සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment