දඬුවම් දෙන්න සීඅයිඩියට බලයක් නෑ: අසේල සම්පත්ගේ පුත‍්‍රයාගේ දුරකථනය උසාවියට භාරදීමට නියෝග

301

අත්අඩංගුවට ගෙන මාස හතකට ආසන්න කාලයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තබාගෙන සිටින පාරිභෝගික අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතාගේ පුත‍්‍රයාගේ ජංගම දුරකථනය වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඊයේ (27 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

යමෙකුට එරෙහිව පවතින චෝදනා පවත්වාගෙන යන්නේ ද නැති ද තීරණය කළ යුත්තේ ඉදිරිපත් වන සාක්‍ෂි පදනම්ව බවත්, දඬුවම් ලබාදීමේ බලයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නොමැති බවත් මහජනයාගේ මුදල් වැයකර අධිකරණ පද්ධතියක් පිහිටුවා ඇත්තේ ඒ සඳහා බවත් පෙන්වා දෙමින් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය කළේය.

2021.06.15 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී පල්ලේකැලේ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබූ කොරෝනා මර්දන එන්නත් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඔස්සේ කළ ප‍්‍රකාශයකට එරෙහිව අසේල සම්පත් මහතාට එරෙහිව ගොනුකර තිබූ පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේදී ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා එලෙස ප‍්‍රකාශ කළේය.

සිය සේවාදායකයා මෙම නඩු කටයුත්තට පාදක වූ මාධ්‍ය ප‍්‍රකාශය සිදුකළ බවට පිළිගෙන තිබියදීත් සැකකරුවකු ලෙස නම්කර හෝ ප‍්‍රකාශයක් සටහන් කර නොමැති එම තරුණයාගේ ජංගම දුරකථනය අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම හා එහි මුරපදය ඉල්ලා සිටීම නීති විරෝධී ක‍්‍රියාවක් වන බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට එලෙස කෙනෙකුගේ රහස්‍යභාවයට ඇඟිලි ගැසීමේ අයිතියක් නොමැති බවත් සැකකාර අසේල සම්පත් මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිඥ තීශ්‍ය වේරගොඩ මහතා අධිකරණයට පැවසීය.

සැකකරුගේ නීතිඥවරයා හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටින නිලධාරියා කියන පරිදි එකී ජංගම දුරකථනය ඉදිරි විමර්ශන සඳහා අවශ්‍ය නොවන බව තම අධිකරණයට පෙනීයන බවත් එලෙස තබා ගැනීම යුක්ති සහගත නොවන බවත් පැවසූ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා එම නඩුව ලබන මාර්තු 10 වැනිදා යළි කැඳවීමට ද නියෝග කළේය.

නීතිඥ ස්ටෙපානි පෙරේරා මෙනවිය, පුබුදු රන්දිම, සංජීව ආරියදාස යන නීතිඥ මණ්ඩලයක් සමඟ නීතිඥ තීශ්‍ය වේරගොඩ මහතා සැකකරු වෙනුවෙන් පෙනීසිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment