දත්ත පනතේ ඇත්ත තිත්තයි

69

පසුගිය සතියේ පාර්ලිමේන්තුවට පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබුවා. ශ‍්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේද තොරතුරු පුරවැසියන්ට ශක්තියක් මෙන්ම අවියක් වෙමින් පවතින පසුබිමක පෞද්ගලික තොරතුරුවල සුරක්ෂිතභාවය සඳහා නීතිමය රාමුවක් නිර්මාණයවීම මානව අයිතිවාසිකම් පිළිබඳව යුගයේ අවශ්‍යතාවකි. අද වැනි ඩිජිටල් යුගයක මේ අවශ්‍යතාව අවිවාදිතය.

ලෝකයේ ප‍්‍රථම වරට දත්ත ආරක්ෂණ නීතියක අවශ්‍යතාව මතුවන්නේ යුරෝපා සංගමය වෙතින්. 1981 දී යුරෝපා සංගමය දත්ත ආරක්ෂණය පිළිබඳ සම්මුතියක් ප‍්‍රථම වරට සම්මත කර ගෙන තිබෙනවා. එක්සත් රාජධානියද 1998 දී මේ සම්මුතිය අනුගමනය කරමින් බි‍්‍රතාන්‍ය දත්ත ආරක්ෂණ පනත නීතිගත කර තිබෙනවා.

මේ මගින් දත්ත හිමිකරුවන්ගේ සහ දත්ත භාවිතා කරන්නන්ගේද, සමස්ත සමාජයේමද අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අපේක්ෂා කෙරුණා. ලොව රටවල් මේ දත්ත ආරක්ෂණ නීති සම්මත කරගන්නේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමේ අරමුණින් වුවද ඒවා සම්මත කිරීමෙන් අනතුරුව භාවිතය පිළිබඳව නොයෙකුත් රටවල ගැටලූ ඇතිවී තිබීම අපි දකිනවා.

බොහෝ රටවල දත්ත ආරක්ෂණ නීතිගත කිරීමේදී, ජනතා අයිතීන් රකින හතරවන ආණ්ඩුව ලෙස සලකන ජනමාධ්‍ය සම්බන්ධව යම් නිදහසක් ලබාදීම අප දකිනවා. එවැනි නිදහස් කිරීමක් ඉන්දියානු නීතියේද දකින්නට තිබෙනවා. එසේ වුවද භාවිතයේදී ඇතිවී ඇති ගැටලූ හේතුවෙන් ජනමාධ්‍ය නිදහස පාවිච්චි කිරීමේ අයිතිය ගැන අදද උද්ඝෝෂණයකට යෑමට ඉන්දියානු ජනමාධ්‍ය සමාජයට බලකෙරී තිබෙනවා.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත දඩමීමා කරගෙන මෙරට තුළ දේශපාලන ක‍්‍රියාකරුවන්, ජනමාධ්‍යකරුවන්, සමාජ ජාලා ක‍්‍රියාකරුවන්, සිවිල් සමාජ ක‍්‍රියාකරුවන්, නීතිඥවරුන්, කවියන්, ලේඛකයන් දඩයම් කිරීමට යෑම ගැන අපේ සමාජයට හොඳ අත්දැකීම් තිබෙනවා. අධිකරණ විනිසුරුවන්ගේ ඇතැම් නඩු තීන්දු ප‍්‍රකාශ කිරීම්වලදී පවා මේ ගැන සඳහන් කිරීම අප දැක තිබෙනවා.

අග‍්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති මේ කෙටුම්පතේ අභිලාෂය පුරවැසි පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම බව දක්වා තිබුණද, මේ පිළිබඳව පනතේ ඇති ප‍්‍රශ්නකාරී වගන්තීන් ගැන මාධ්‍ය සමාජය භේදයකින් තොරව විශාල කැළඹිල්ලකට සහ කණස්සල්ලකට පත්ව තිබෙනවා. මාධ්‍ය සමාජයේ සියලූම පිළිගත් සංවිධාන මේ ගැන විරෝධතාව ප‍්‍රසිද්ධියේ පළකර තිබෙනවා.

මාධ්‍ය සංවිධාන පමණක් නොව පුරවැසි නිදහස් උරුමයන් ගැන අවදියෙන් සිටින ට‍්‍රාන්ස් පේරන්සි ශ‍්‍රී ලංකා ආයතනය වැනි සංවිධානද මේ ගැන විරෝධය දක්වා තිබෙනවා.

විශේෂයෙන් ශ‍්‍රී ලංකා කර්තෘ සංසදය ”ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති පුරවැසි අයිතීන් උල්ලංඝනය කරමින් සහ වෙනත් පනත් මගින් සහතික කර ඇති අයිතීන් උපායශීලීව මඟහැර යෑම සම්බන්ධයෙන් කරුණු දක්වා තිබෙනවා.

මේ අයුරින්ම ට‍්‍රාන්ස් පේරන්සි ආයතනය තම ප‍්‍රකාශනයේ ‘‘දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති ආකාරයෙන්ම නීතියක් බවට පත් කළහොත්, එය සාධනීය අරමුණක් ප‍්‍රකාශිත නමුදු අවභාවිතයට ලක්විය හැකි නීතියක් බවට පත්වනු ඇත. මෙම පනත් කෙටුම්පත ජනමාධ්‍ය සහ අකටයුතු නාදකයන් අතර බිය ගැන්වීමක් ඇති කරන්නක් ලෙස භාවිතා කළහැකි අතර එය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට තර්ජනයක් වනු ඇත.” යනුවෙන් සඳහන් කර ඇති අතර පාර්ලිමේන්තුවේ සියලූ මන්ත‍්‍රීවරුන් වෙත ලිපියක් එවමින්,” ”පෞද්ගලික දත්ත ආරක්ෂණ නීතිය, පොදු යහපත උදෙසා පවතින අනෙකුත් අයිතිවාසිකම් සහ ආරක්ෂණයන් සමඟ නොගැටී, ප‍්‍රගතිශීලී ලෙස සංකලනය වීම අතිශයින් වැදගත් නිසා, මෙම වැදගත් නීතිය පැනවීමේ ක‍්‍රියාවලිය ඉහත මතු කර ඇති ගැටලූ විසඳන තෙක් ඉක්මන් නොකරන්න” යනුවෙන් ඉල්ලීමක් ද කර තිබුණි.

මෙම පනත් කෙටුම්පත මගින් යෝජනා කරන ”අධිකාරිය, සිය කාර්යන් සහ බලතල දියාරු කරන ප‍්‍රයත්නවලට හෝ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිවීමට ප‍්‍රමාණවත් ස්වාධීනතාවක් නොමැති එකක්වීම පැහැදිළිව දැකිය හැක” තවද, අධිකරණයක් නොවන සහ ස්වාධීනතාවක් නොමැති ආයතනයක් ලෙස දත්ත ආරක්ෂණ අධිකාරිය වෙත දත්ත ලබාගැනීමේ මූලාශ‍්‍ර විමර්ශනය කිරීමටත්, අධිකාරියේ නියෝගවලට අනුකූලවීමට අපොහොසත් වන දත්ත පාලකවරුන් සහ දත්ත සකසන්නන් හට එක් අනුකූල නොවීමක් සඳහා රුපියල් මිලියන දහයක් දක්වා දඩ මුදලක් පැනවීමටද බලය ලබාදී ඇත. මේ තත්ත්වය පුද්ගල අයිතීන්වලට ගැටලූවක්වීම මෙන්ම ජනමාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍යයන්ගෙන් ඔවුන්ගේ මූලාශ‍්‍ර පිළිබඳව තොරතුරු විමසන තත්ත්වයක් කරා යෑමේ හැකියාවද පවතී”

මෙයට අමතරව මෙම පනතට අනුව, අනනුකූලතාවක් පැනනඟින අවස්ථාවකදී, මෙම පනතේ විධිවිධාන තොරතුරු දැනගැන්මේ පනතද ඇතුළුව වෙනත් ඕනෑම ලිඛිත නීතියක ප‍්‍රතිපාදන අභිබවා යයි. මෙය පැහැදිළිවම තොරතුරු දැන ගැන්මේ අයිතිය බලහීන කිරීමකි.

තවද මෙම අධිකාරියේ තීන්දුවකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ හැකිව තිබුණද, ඒ සඳහා තීන්දු කර ඇති දඩයට සමාන මුදලක් ඇප තැන්පතුවක් ලෙස අභියාචනාධිකරණ රෙජිස්ට‍්‍රාර් ඉදිරියේ තැන්පත් කිරීම කොන්දේසියක් ලෙස පනතේ සඳහන් කර ඇත.

මෙවැනි තත්ත්වයක් ඇති කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයකට උචිත නොවේ. මේ තුළින් මාධ්‍ය හිමිකාරත්වයට මෙන්ම ජනමාධ්‍යවේදීන්ටද ‘‘පෑන භාවිතයේදී ප‍්‍රවේසම් වෙයල්ලා” යන තර්ජනය හිසට උඩින් තබා තිබීම පැහැදිළිය. බියට පත්වන හිමිකාරත්වයද ”ප‍්‍රවේසමෙන් ලියාපල්ලා නැත්නම් මගේ ව්‍යාපාරය බංකොළොත් වේවි” යනුවෙන් කීමට බලකරන තත්ත්වයක් ඇති කිරීමට මේ තුළින් උපායශීලීවී ඇති බවක් දැකිය හැක.

පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ සියලූම මන්ත‍්‍රීවරුන් මේ පනත සම්මත කිරීම දින කිහිපයකට කල්තබා, මාධ්‍ය සමාජය සමඟ සහ පුරවැසි අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සිවිල් සමාජය සමඟ සාකච්ඡා කර, පුරවැසි අයිතීන් සහ ජාතික යහපත වෙනුවෙන් සම්මුතියකට ඒමට ක‍්‍රියාකරන ලෙස කළ ඉල්ලීමට සවන්දීමක් නොතිබිණ. තුනෙන් දෙකේ බලය තුළ 20 සංශෝධනය සම්මත කරගෙන අධිපතිවාදී ගමනකට මඟ සලසා ගැන්මට ගත් උත්සාහයේ දෙවන අදියර මේ තුළින් ක‍්‍රියාත්මක වීම සිදුවිණ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ වසර පහකට වරක් ඡන්දය පැවැත්වීම පමණක් නොවෙයි. ජනතාවගේ ජීවිත ගැන, නිදහස් උරුමයන් ගැන බරපතළ තීන්දු තීරණ ගැනීම්වලදී ඔවුන් සමඟ සාකච්ඡා කිරීම, අදහස් ලබාගැන්ම සිදුවිය යුතුව තිබෙනවා. එසේ නැතිව අදාළ කරුණුවලදී, අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා වනට නොගොස් හිතුවක්කාර ලෙස, උද්දච්ඡ ලෙස අධිපතිවාදී ලෙස කටයුතු කිරීම ගැළපෙන්නේ හිට්ලර්වාදී සමාජයකට මිසෙක ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයකට නොවෙයි. අපේ සමාජය මේ තත්ත්වය ගැන බැ?රුම්ව සිතිය යුතුව තිබෙනවා. ප‍්‍රශ්නවලට විසඳුම්දීගත නොහැකි, දැක්මක් නොමැති පාලකයන්ගේ මේ ගමන ගැන අපේ සමාජය අවදියෙන් සහ ක‍්‍රියාකාරීව සිටීම ඉතා වැදගත්.

advertistmentadvertistment
advertistmentadvertistment