දත්ත මැකූ සැකකරු මීට පෙරත් දත්ත මකලා – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්

473

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ තිබූ ඉතා සුවිශේෂී දත්ත ලක්ෂ එකොළහකට අධික ප‍්‍රමාණයක් හිතාමතාම මකා දමා ඇති එෆික් ලංකා සමාගමේ පරිගණක දත්ත ගබඩා පරිපාලක නිලධාරියෙකු ලෙස කටයුතු කළ සහකාර මෘදුකාංග ඉංජිනේරු ප‍්‍රමෝද් දිලූප රාමනායක නමැත්තාට ඇප ලබාදෙන ලෙසට විත්තිය කළ ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාහුල රාගල මහතා එම සැකකරු ලබන 18 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඊයේ (06දා) නියෝග කළේය.

කොරෝනා වසංගතය රටේ පැතිර යමින් තිබියදී එකී සැකකරු ඇතුළු පිරිසක් සහ ඖෂධ ජාවාරම්කරුවන් කොරෝනා වසංගතය වසන්තයක් කර ගනිමින් කටයුතු කර ඇති බව පවසමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඇප ලබාදීම සම්බන්ධයෙන් දැක්වූ විරෝධතාවය පිළිගත් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය කළේය.

සැකකාර සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයා එම දත්ත මකා දැමීම පුරා පැය හතකට ආසන්න කාලයක් ගතකරමින් තනිව සිදුකර ඇතත් ඒ සඳහා ඔහු සේවය කළ ආයතනයේ මෙන්ම ඖෂධ නියාමන අධිකාරියේ සහ ඖෂධ ජාවාරම්කරුවන් රැුසකගේ මඟපෙන්වීම හා දායකත්වය ලැබී ඇති බව මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාලප් දිලීප පීරිස් මහතා අධිකරණයට දැන්වීය.

සිය සේවාදායකයාට එරෙහිව චෝදනා නඟා ඇත්තේ පරිගණක අපරාධ පනතේ හා පොදු දේපොළ පනත යටතේ වන නමුත් රජයේ දේපළකට ඔහු අනර්ථයක් සිදුකර නොමැති බැවින් ඕනෑම ඇප කොන්දේසියක් යතේ ඔහු ඇප මත මුදා හරින ලෙස එම සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

වසර තුනක කාලයක් ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කර ඇති එකී සැකකරු එෆික් ලංකා ටෙක්නොලජීස් සමාගමේ පාරිභෝගික සේවා සැපයීමේ නිලධාරිවරයා ලෙසද කටයුතු කර ඇති බවත් ඖෂධ ආනයනය කිරීම සඳහා සැපයුම්කරුවන් ටෙන්ඩර් ඉදිරිපත් කරන විට එකී ටෙන්ඩර් ඉදිරිපත් කරන ඖෂධවල සංයුතිය සහිත තොරතුරු ඔහු මින් පෙර අවස්ථා කිහිපයකදීම මකා දමා ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට කීවේ එලෙස සිදුකිරීම මගින් ගුණාත්මක භාවයෙන් යුතු ඖෂධ සාධාරණ මිලකට ලබා ගැනීමට හැකි අවස්ථාව රටේ ජනතාවට අහිමි කර ගුණාත්මක තත්ත්වයෙන් අඩු ඖෂධ වැඩි මිලට අලෙවි කරන ඖෂධ මාෆියාවට ඔවුන් සහය දක්වා ඇතැයිද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට කීවේය.

මෙය සංවිධානාත්මකව සිදුකළ ඖෂධ ජාවාරමේ කොටසක් වන බැවින් එකී අපරාධ සඳහා සම්බන්ධ සියලූ පුද්ගලයන්ට එරෙහිව විමර්ශනයක් සිදුකර ඔවුන් සියලූ දෙනා තරාතිරම නොබලා නීතිය හමුවට ඉදිරිපත් කිරීමට නුදුරේදීම පියවර ගන්නා බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් එහිදී අධිකරණයට පැවසීය.

සැකකරු භාරයේ තිබී අත්අඩංගුවට ගත් ජංගම දුරකතනය හා අනෙකුත් පරිගණක උපාංග සම්බන්ධයෙන් විශ්ලේෂණය කරමින් තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් වූ වෝහාරික වාර්තා ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් එහිදී අධිකරණයට පැවසූ දිලීප පීරිස් මහතා එකී දත්ත මකා දැමීමට අදාළ ක‍්‍රියාදාමය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ හා බාහිර සමාජය තුළ ද දැඩි කතාබහට ලක්වී ඇති බැවින් සැකකරුට ඇප ලබා නොදෙන ලෙස ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පැමිණිල්ල කළ කරුණු දැක්වීම හා ඉදිරිපත් කර ඇති විමර්ශන වාර්තා අනුව ඒ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන මේ දක්වා අවසන්වී නොමැති බව තම අධිකරණයට පෙනී යන බවත් එවන් අවස්ථාවකදී සැකකරු ඇපමත මුදාහැරීමෙන් ඉදිරි විමර්ශනවලට බාධාවක් විය හැකි බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තම අධිකරණය තීරණය කරන බවත් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතා පෙන්වා දුන්නේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක වෝහාරික විiා අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක එස්. කේ. සේනාරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර රජයේ අධිනීතිඥ සෙහාන් සොයිසා, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජයනි වෑගොඩපොල මහත්මිය සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැමිණිල්ල මෙහෙයවීය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment