දමිතාට ඇප – අයුක්තියට එරෙහිව නැඟී සිටීම සිරගත කළ යුතු වරදක් ද?

230

– විත්තියේ නීතිඥ අසයි

ජන අරගලයේ සක්‍රිය ක්‍රියාකාරිනියක වන ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (12 දා) නියෝග කළේය.

ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා මෝසමක් මගින් නඩුව කැඳවමින් කළ ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම වළක්වමින් එම ඇප නියෝගය නිකුත් කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළුවීම ඇතුළු චෝදනා යටතේ කොළඹ උතුර කොට්ඨාස විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කොට තිබූ දමිතා අබේරත්න මහත්මිය හෙට (14 දා) දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මින් පෙර නියෝග කොට තිබිණි.

සංවේදී කලාකාරිනියක වන ඇය පාලකයන්ගේ වගකීම් විරහිත හා අදූරදර්ශී ක්‍රියාකලාප නිසා දිනෙන් දින ආගාධයට ඇදවැටෙන රට හා පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් හඬක් නැඟූ බව සත්‍ය නමුත් පොලිසිය චෝදනා කරන පරිදි පොදු දේපළ හානි කිරීමක් හෝ මංකොල්ලකෑමක් සිදුකර නොමැති බවත් අධිකරණයට පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා දුක්විඳින ජනතාව වෙනුවෙන් පෙනී සිටීම හා අයුක්තියට එරෙහිව නැඟී සිටීම සිරගත කළ යුතු වරදක් දැයි අධිකරණයෙන් විමසා සිටියේය.

නීතිඥ උදාර මුහන්දිරම්ගේ, නීතිඥ සවින්‍ද්‍රි අර්සකුලරත්න මහත්මිය ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමඟ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා, දමිතා අබේරත්න මහත්මිය වෙනුවෙන් පෙනී සිටියාය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment