දමිල බැතිමතුන් පිරිඉතිරි ගිය මඩකලපුවේ වෙසක් මංගල්‍යය

1090

මඩකලපුව මංගලාරාම පුදබිම අන්තවාදයට පිටුපා දෙමළ සහ මුස්ලිම් ජනයාගෙන් පිරේ

මේ ආකාරයට පන්සලකට දෙමළ සහ මුස්ලිම් ජනයා එනාවා මම කවමදාවත් දැකලා නැහැ

බුදුන්ගේ තෙමඟුල වෙනුවෙන් මෙවර රටම සැරසී මහා ඉහළින්ම වෙසක් සමරන්නට වූහ. සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය නිසා මීට පෙරදී වෙසක් පිංකම සමරන්නට නොහැකි විය. ඉන් පසුව බෞද්ධයන්ට වෙසක් සමරන්නට නොහැකි වන්නට වූවේ කොවිඩ් වසංගතය නිසාය.

රටෙහි ආර්ථිකය කඩා වැටුනද වසර කිහිපයකින් ලැබූ අවස්ථාවෙන් බෞද්ධයන් වෙසක් සමරන්නට වූහ. ඒ අතරතුර බොහෝ කූට වෙළෙන්දෝ වෙසක් උත්සවයෙන්ද ගජරාමෙට පාරිභෝගික ජනතාව ගසා කන්නට වූහ.

එවන් තත්ත්වයක් මැද වුවද තැන තැන තොරණ ඉදිවී රට පුරා දන්සල් තිබිණි. වෙහෙර විහාර පුරාවට විවිධ ආගමික වැඩසටහන්වලින් නැඟුනු සාධූ නාදයෙන් රට පුරා ජනයාගේ සිත් තුළ බුද්ධාලම්භණ ප්‍රීතිය ඇති කරමින් දසත පැතිරුණි.

යුද්ධයට පෙර නම් මඩකලපුවට වෙසක් අසිරිය මහා ඉහළින්ම සමරා තිබුණි. නමුත් යුද්ධය දරුණු වෙත්ම කොටසක් බෝම්බයට සහ කොටින්ගේ වෙඩි උණ්ඩයට ගොදුරු වන්නට වූහ. ඇතැමුන් කැති පිහි පහරට ගොදුරු වුණි.

ඉන් පසුව මඩකලපුව සිංහල බෞද්ධයන්ගෙන් තොර පුරවරයක් බවට පත් වන්නට වූහ. දහසක් බාධක මැද මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් මඩකලපුව මංගලාරාමය ගොඩනඟන ලදී.

මඩකලපුව මංගලාරාමයට එරෙහිව ඇතැම් ද්‍රවිඩ සංධානයේ පිරිස් සහ මුස්ලිම් අන්තවාදීන් විටින් විට බාධා එල්ලකරන්නට වූහ. ඇතැම් අන්තවාදීන් මඩකලපුව තිබෙන ඉපැරණි පුරාවිද්‍යා උරුමයන් විනාශ කරන ලදී.

මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි

දමිල බැතිමතුන් පිරිඉතිරි ගිය මඩකලපුවේ වෙසක් මංගල්‍යය

අපි බොහෝ බාධක මැද තමයි මඩකලපුව මංගලාරාමය ගොඩනැඟුවේ. යුද්ධයෙන් පස්සේ මඩකලපුව සිංහල ජනයා නැති වුණ බෞද්ධයන්ගෙන් තොරවුණ පාළු ප්‍රදේශයක් බවට මඩකලපුව පත් වුණා. දේශපාලනය කරන ද්‍රවිඩ සන්ධානයේ ඇතුළු සමහර පිරිසක් හරි කැමතියි හැමදාම ජාතිවාදය ඇති කරලා සිංහල බෞද්ධ ජනයා සහ දමිළ ජනයා බේද බින්න කරන්න. ඒකෙන් ඒ අය වාසි ගන්න බලනවා. නමුත් සාමන්‍ය දෙමළ සහ මුස්ලිම් ජනයා යුද්ධයකට කැමති නැහැ. ඒ අයට අවශ්‍ය වෙන්නේ සිංහල ජනතාවත් සමග සමගියෙන් ඉන්න. මම මෙවර වෙසක් පිංකම සැමරුවේ කෙවිලියාමඩුවේ අභිනවාරාම පුදබිමේ ඉඳලා. මංලගාරාමයේ වෙසක් උත්සවයේ වැඩකටයුතු මංගලාරාම පුදබිමේ වැඩ වාසය කරන මහියංගනයේ විමලකිත්ති හිමියන් විසින් සිදු කරනු ලැබුවා. වෙසක් දිනයේ සිට දින කිහිපයක් යනකම් දෙමළ සහ මුස්ලිම් සිය දහස් ගණනක මහා පිරිසකගෙන් පිරී ගොස් තිබුණා. ඔවුන් මංගලරාමයේ වෙසක් බලන්නට පැමිණ තිබුණා. ඔවුන් කැමතියි පන්සලට එන්නට. සාමන්‍ය ජනයා අතර වෛරයක් බේදයක් නැහැ. ඔවුන් සාමයට කැමතියි. යනුවෙන් පූජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමියන් ‘ඉරිදා දිවයින’ට අදහස් දක්වමින් පවසා සිටියහ.

මා වෙසක් පොහෝය දින සවස දෙක වන විට මඩකලපුව මංගලාරාම පුදබිමට පා තැබුවේ එහි වැඩවාසය කරන මහියංගනයේ විමලකිත්ති හිමියන්ගේ ඉල්ලීම මතය. ඒ වන විටත් මංගලාරාම පුදබිම පුරා වෙසක් කූඩු හා විදුලි බුබුළුවලින් අපූරුවට අංලකාර වී තිබුණි. සවස 4 වන විට පුද බිමට දෙමළ සහ මුස්ලිම් ජනයා පවුල් පිටින් ඇදී එන්නට වූහ. රාත්‍රී 12 වනතෙක් මේ ආකාරයෙන් මුස්ලිම් සහ දමිළ ජනයා වැළ නොකැඩී පැමිණෙන අයුරු දැක මා පුදුමයට පත්විණි. ඔවුන් ධාතු මන්දිරයට බුදු ගෙය ඇතුළු විහරස්ථානයේ සෑම තැනකටම පා තබන්නට විය. එලෙසට පැමිණෙන දමිළ ජාතිකයන් සෑම දෙනාම පාහේ පිරිත් නූල් බැඳ ගන්නට අමතක නොකරන්නට වූහ.

දිගින් දිගටම පිරිත් නූල් බැඳීම නිසා මහියංගනයේ සරණකිත්ති හිමියන් දැඩි වෙහසට පත්ව සිටියහ. ඒ අතරින් ඇතැම් මුස්ලිම් පිරිස් ද පිරිත් නූල් බැඳ ගන්නට වූහ. එලෙස මුස්ලිම් ජාතිකයන් පිරිත් නූල් බඳිනවා දුටුවේ මා එදිනය.

වෙසක් සිරියෙන් මංගලාරාමය බැබළෙද්දී එලෙස පැමිණෙන බොහෝ දෙනකු ඡායාරූප ගන්නා ලදී.

මංගලාරාම පුදබිමේ වැඩ වාසය කරනු ලබන මහියංගනය විමලකිත්ති හිමියන් ද දැක්වූවේ මෙවැනි අදහසකි.

දමිල බැතිමතුන් පිරිඉතිරි ගිය මඩකලපුවේ වෙසක් මංගල්‍යය

මෙවර වෙසක් පිංකම වෙනුවෙන් මංගලාරාම පුදබිමේදී වැඩසටහන් රැසක් පවත්වනු ලැබුවා. ඒ සඳහා පොලිසිය ත්‍රිවිධ හමුදාව, මඩකලපුව රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු පිරිස් දායකත්වය ලබා දුන්නා. ඒ නිසා අපිට ශීල සමාධි භාවනා වැඩසටහන් සමගින් මහා ඉහළින් වෙසක් උළෙල සමරන්නට හැකි වුණා. මෙහි තිබෙන විශේෂත්වය මඩකලපුව සිංහල පවුල් පදිංචි වෙලා නැහැ. සේවයට ආපු සිංහල නිලධාරීන් ඇතුළු පිරිස් පමණයි වැඩි හරියක් සිටින්නේ. වෙසක් දින පමණක් නොව දින 04ක් පුරා දෙමළ සහ මුස්ලිම් පිරිස්ගෙන් මෙම පුදබිම පිරී ගොස් තිබුණා. ඔවුන් පුදුම උනන්දුවකින් තමයි මෙම පුදබිමට පැමිණියේ. විශේෂයෙන් දෙමළ ජනතාව දැඩි භක්තියකින් වන්දනාමාන කරමින් පිරිත් නූල් බැඳ ගනිමින් මෙම පුදබිමට පැමිණි වෙසක් අසිරිය විඳගනු ලැබුවා. මෙම වෙසක් පිංකම පූජ්‍ය අම්පිටියේ සුමනරතන නායක හිමියන්ගේ මඟපෙන්වීම මත සිදුකළ බව පූජ්‍ය මහියංගනයේ විමලකිත්ති හිමියන් පවසා සිටියේය.

වෙසක් පුන් පොහොය දින මෙම පුදබිමේ සිට මහ රෑ වෙනතෙක් නෙස්ලේ සමාගමේ අනුග්‍රහයෙන් මඩකලපුව දිස්ත්‍රික් වෙළෙඳ අධීක්ෂණ නිලධාරි නිමල් බුලත්සිංහල මහතාගේ මැදිහත්වීම මත නෙස්ටෝමෝල්ට් වෙළෙඳ ප්‍රචාරණ හා ප්‍රවර්ධන නිලධාරි සිවරත්නම් ශිවරූබන් මහතාගේ මූලිකත්වයෙන් නෙස්ටෝමෝල්ට් කිරි දන්සලක් පවත්වන ලදී. එය මඩකලපුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බණ්ඩාර මහතා විසින් විවෘත කරන ලදි. මෙම පුදබිමට පැමිණි සියලුම දෙනා එම දන්සලට සහභාගි වූවේ මහත් සතුටිනි.

නෙස්ටමෝල්ට් වෙළෙඳ අධීක්ෂණ නිලධාරි නිමල් බුලත්සිංහල

දමිල බැතිමතුන් පිරිඉතිරි ගිය මඩකලපුවේ වෙසක් මංගල්‍යය

එදා වෙසන් පොහොය දින මඩකලපුව පන්සලට දෙමළ සහ මුස්ලිම් පිරිස දහස් ගණනක් පැමිණුනා. ජාතිවාදයෙන් සහ ජාති බේදයෙන් තොරව මේ ආකාරයෙන් මහා පිරිසක් පන්සලට පැමිණීම ජාතිවාදයට මරු පහරක්. අනාගතයේදී සියලුම ජාතීන්ට සාමයෙන් ජාතිබේදයෙන් තොරව ජීවත් වෙන්නට පුළුවන් කියල බලාපොරොත්තුව එය දුටු කා තුළත් ඇති වෙනවා. පුංචි දරුවෝ අහනවා දෙමව්පියන්ගෙන් මොකක්ද මේ උත්සවය කියලා. එතකොට ඒ අය වෙසක් උත්සවය ගැන කියලා දෙනවා. පන්සල ගැන කියලා දෙනවා. මේ පුංචි දරුවෝ මෙහෙම ගියොත් ආයේ කිසි දාක තුවක්කු අතට ගන්නේ නැති වේවි. මෙම පුදබිමේ මෙවන් වැඩසටහනකට නෙස්ලේ ආයතනයේ සහාය ලබාදීම පිළිබඳව විශාල සතුටක් ඇති වූවා යැයි නිමල් බුලත්සිංහල මහතා පැවසුවේය.

මඩකලපුව නගරයේ ජනයා පමණක් නොව කාත්තන්කුඩි, වාලච්චේන, එරාවුර් ආදි ප්‍රදේශවලින් පවා මංගලාරාම පුදබිම වෙත දමිළ සහ මුස්ලම් ජනයා පැමිණෙන්නට වූහ. සම්බුදු තෙමඟුල වෙනුවෙන් මංගලාරාම පුදබිම සරසන්නට මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව, වවුනතිව්, කරදියන්ආරු, අයිත්තමලේ, කාත්තන්කුඩි, කලවංචිකුඩි, කොක්අඩිචෝලේ, වෙල්ලාවලි සහ එරාවුර් ආදි පොලිස් ස්ථානවලින් අලංකාර වෙසක් කූඩු නිර්මාණය කර ගෙනවිත් තිබුණි. මේ සඳහා මඩකලපුව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මඟපෙන්වීම මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අමල් ඒ. එදිරිමාන්න මහතාගේ මඟපෙන්වීමෙන් මඩකලපුව භාර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් කටයුතු කර තිබුණි. ඒ අතර මෙම අසිරිමත් පිංකම වෙනුවෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක බස්නායක, පො. ප. ගජනායක, උ.පො.ප. ගුණසේකර ඇතුළු පොලිස් නිලධාරි මහත්වරුන් සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ගේද සහාය සමගින් මඩකලපුව පුදබිම අලංකාර කරන්නට වෙහස මහන්සිවී තිබුණි.

මෙයට සමගාමීව වෙසක් පුන් පොහොය දින මඩකලපුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බණ්ඩාර මහතා ඇතුඵ නිලධාරීන් අලංකාර පහන් කූඩුවක් ්නිර්මාණය කරමින් පොහොය දින උදේ සහ සවස දන්සල් දෙකක්ද පවත්වමින් වෙසක් අසිරිය නරඹන්නට පැමිණි ජනයා හට සංග්‍රහ කරන්නට වූහ.

වෙසක් කූඩ නරඹන්නට මඩකලපුව නගරයේ පමණක් නොව කාත්තන්කුඩිය, චෙංකලඩි, එරාවුර්, වාලච්චේන ආදි ඈත ප්‍රදේශවලින් පවා දමිළ සහ මුස්ලිම් ජනයා ජාති බේදයෙන් තොරව පැමිණීම ඉතා සුවිශේෂී කරුණකි.

මඩකලපුව මංගලාරාමයේදී හමුවූ කාත්තංකුඩිය පදිංචි මොහමඩ් නස්ලි

දමිල බැතිමතුන් පිරිඉතිරි ගිය මඩකලපුවේ වෙසක් මංගල්‍යය

අද ගොඩක් මුස්ලිම් අය පන්සලට ආවා. දෙමළ අයත් ඒ වාගේම ආවා. මේක තමා වෙන්න ඕනේ. දෙමළ සිංහල අය පල්ලියටත් එන්න ඕනේ. අපි එකමුතු වෙන්න ඕනේ. අපේ අය ලංකාවට ආවම අපිට පදිංචි වෙන්න ඉඩ දුන්න අය සිංහල ජාතිය කියලා අපි අමතක කරන්න හොඳ නැහැ. අතරමගදී අපේ අය වැරදි පාරක ගිහින් කලකෝලහාල ඇති වුණා. පැරණි මුස්ලිම් අය කවදාවත්ම කැමති නැහැ කලබල ඇති වෙනවට. අපි සියලුම ජාතීන් එකතුවෙලා ශ්‍රී ලාංකිකයෝ ලෙසින් සාමයෙන් සමගියෙන් කල් ගෙවන්න ඕනේ. අද මට ගොඩක් සතුටුයි. මේ ආකාරයට අපි තුන් ගොල්ලම සමගියෙන් ඉන්නවා දැක්කම යැයි නස්ලි මහතා මංගලාරාමයේදී ‘ඉරිදා දිවයින’ට කීවේය.

මඩකලපුව සැලොන් මෞලි ආයතනයේ අධිපතිනිය වන සුජීවා මල්කාන්ති

දමිල බැතිමතුන් පිරිඉතිරි ගිය මඩකලපුවේ වෙසක් මංගල්‍යය

මඩකලපුව කියන්නේ ජීවත් වෙන්න ඉතා හොඳ ලස්සන නගරයක්. ඉස්සර සිංහල අය ගොඩක් ජීවත් වුණා. ගොඩක් ව්‍යාපාර තිබිලා තියෙනවා. පස්සේ යුද්ධයත් එක්ක ඒවා නැතිවෙලා ගිහින් තියෙනවා. මගේ මහත්තයා පොලිසියේ සේවය කරන නිසා මම වසර පහක ඉඳන් මඩකලපුවේ ඉන්නේ. මම දැන් මෙහේ සැලොන් මෞලි කියලා ව්‍යාපාරයක් ආරම්භ කළා. මඩකලපුව මිනිසුන් හරිම හොඳයි. පන්සලෙන් මෙවර වෙසක් උත්සවයට ගොඩක් සිංහල අය සහ මුස්ලිම් අය ආවා. පොහොය දවසේ දවල්ද මහා සෙනඟක් ආවා. අපි පන්සලෙන් ඒ අයට දිවා ආහාරය පවා සකස් කරලා දුන්නා. මේ ආකාරයට සිංහල දෙමල මුස්ලිම් යන තුන් ගොල්ලම ඉතා සමගියෙන් ජීවත් වෙනවා නම් අපිට ආයේ කවදාවත් යුද්ධයක් දකින්න නොලැබෙයි. දැන් කුඩා වයසේ ඉන්න පුංචි දරුවෝ සියලු ජාතීන් එක්ක සමගියෙන් ඉඳීවි. මේ ආකාරයට දෙමළ සහ මුස්ලිම් ජනයා පන්සල් එනවා මම කවමදාවත්ම දැකලා නැහැ යනුවෙන් සුජීවා මල්කාන්ති මහත්මිය ‘ඉරිදා දිවයින’ට අදහස් දක්වමින් පැවසුවාය.

දශක තුනක් තිස්සේ අපි බෙදී වෙන්ව යුද්ධ කෙරුවෙමු. සිය දහස් ගණනක් දේපළ සහ ජීවිත විනාශ වුණි. ජාතිවාදයෙන් අරගල කෙරුවෙමු. ඒවා පිටුපස සිටි මිනිසුන් අදට ද සිය පටු පරමාර්ථයන් වෙනුවෙන් ජාතිවාදය අවුස්සමින් සිටින වග රහසක් නොවේ. පුරා වස්තු විනාශ කරමින් ජාතිවාදයට තවමත් උඩ ගෙඩි දෙන නරුමයන්ට පිටුපා මේ ආකාරයෙන් දහස් ගණනක් දමිළ සහ මුස්ලිම් ජනතාව මෙලෙස බෞද්ධ දායකයන් නොමැති මංගලාරාමයට පැමිණීම සැබැවින්ම සුබ පෙර නිමිත්තකි.

විශේෂ ස්තුතිය – මාධ්‍යවේදී සරවනන් මහතාට
සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment