දඹුල්ලේ ප්‍රනාන්දුලා යාපනයේ මුහුණු ඇඹුල් කරති

266

ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය යටතේ දඹුල්ල කණ්ඩායම සහ යාපනය කණ්ඩායම අතර ඊයේ (26 වෙනිදා) ආරම්භ වූ තරගයේ පළමු දිනය නිමාවන විට දඹුල්ල කණ්ඩායම යාපනය කණ්ඩායමට වඩා කඩුලු 4ක් අතැතිව ලකුණු 108ක් ඉදිරියෙන් සිටියේය.

පළමු දිනය වූ ඊයේ දිනය නිමා වන විට දෙවනියට පන්දුවට පහර දෙමින් සිටි දඹුල්ල කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබාගෙන සිටි අතර යාපනය කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 62කට දැවී ගියහ.

පන්දු වාර 26යි පන්දු 5කට සීමා වූ යාපනයේ ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 16ක් ලබා ගත් කසුන් අබේරත්න ය.

යාපනය කණ්ඩායමට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු දෙදෙනා එක්ව කඩුලු 9ක් දවා ගත්හ.

විශ්ව ප්‍රනාන්දු ලකුණු 14ට කඩුලු පහක් සහ අසිත ප්‍රනාන්දු ලකුණු 24කට කඩුලු හතරක් දවා ගත්හ.

දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් නායක මිනෝද් භානුක ලකුණු 64ක් ලබා ගනිමින් නොදැවී පන්දුවට පහර දෙමින් සිටි අතර ඊයේ දිනයේ අවසන් කඩුල්ල ලෙස දැවී ගිය රනිත ලියනආරච්චි ද අර්ධ ශතකයක් ලබා ගත්තේය. යසිරු රොද්‍රිගු කඩුලු 3ක් දවා ගනු ලැබීය.

නුවරින් අර්ධ ශතක දෙකක්

මහනුවර කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර ආරම්භ වූ තරගයේ දී මහනුවර කණ්ඩායම වෙනුවෙන් සඳුන් වීරක්කොඩි සහ අහන් වික්‍රමසිංහ අර්ධ ශතක ලබාගැනීමට ඊයේ සමත් වූහ.

එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 290 ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ගාල්ල කණ්ඩායම දිනය නිමා වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 53ක් ලබා සිටියේය.

අර්ධ ශතක ලාභී ඔවුන් දෙදෙනා ට අමතරව ආරම්භක පිතිකරු උදයවංශ පරාක්‍රම ලකුණු 49ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී ගාල්ල කණ්ඩායමේ අසංක මනෝජ් කඩුලු 4ක් ද කවිශ්ක අංජුල සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු 2 බැගින් ලබා ගත්හ.

ගාල්ල කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු බින්දුවකට දැවී ගියද ආරම්භක පිතිකරු සංගීත් කුරේ නොදැවී ලකුණු 27 ක් සහ අංක 3 පිතිකරු ලක්ෂාන් එදිරිසිංහ නොදැවී ලකුණු 24 ක් ලබා ගනිමින් කඩුල්ලේ රැඳී සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment