දඹුලු ඔයේ වැලි මාෆියාව කිරලව පාලමත් ගිලී

172

ගොවිබිම්වලට ජලය ගෙනියන ඇළ මාර්ගත් ඉවරයි

දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේ සිට කලාවැව දක්වා ජලය රැගෙන එන දඹුලු ඔයට මහා පරිමාණ වැලි ජාවාරම්කරුවන් සිදු කරන විනාශ නිසා දඹුලු ඔය හරහා වැටී ඇති කිරලව පාලම මෙන්ම ප්‍රදේශයේ ඇළ මාර්ගයන් ද, වටිනා ගස් වර්ගද විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.

දඹුලු ඔයේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ගල්කිරියාගම හා මඩාටුගම ප්‍රදේශයේ වැලි ජාවාරම්කරුවන් සිය ආධිපත්‍ය පතුරුවා ගනිමින් වැලි ජාවාරම් සිදු කිරීම හේතුවෙන් දඹුලු ඔය ඉවුර විනාශ වෙන බවත්, ඉතා වටිනා ඉපැරණි ගස්ද ඉවුරු සේදීමෙන් පෙරළී යන බවත් ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මෙම ප්‍රදේශයේ සංචාරයේ දී අපට ප්‍රදේශවාසීන් කියා සිටියේ මහා පරිමාණ වැලි ජාවාරම්කරුවන් තම බලය පතුරවමින් සිටින බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට නීතිය ක්‍රියාත්මක කළ යුතු නිලධාරීන් බලධාරීන් වැලි ජාවාරම්කරුවන්ගේ සන්තෝෂම්වලට යටව සිටින බවත්ය. මේ හේතුවෙන් කිරලව පාලම ප්‍රදේශය මේ වන විට දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇත. දෛනිකව විශාල රථ වාහන ප්‍රමාණයක් ගමන් කරන කිරලව පාලම කැඩී යෑමේ අවදානමක් ඇති වීම හේතුවෙන් තාවකාලික පාලමක් ද ඉදි කරනු ලැබීය. මේ වන විට එම පාලම යට කොටසද සේදී යෑමෙන් එම පාලම ද දැඩි අවදානමකට ලක්ව ඇති බව ද නිරීක්ෂණය විය.

වැලි ගොඩ දැමීමේදී හා ප්‍රවාහනයේදී පවතින නීති කිසිවක් මෙම වැලි ජාවාරම්කරුවන්ට අදාළ නොවන බවත්, ඇතැම් වැලි ජාවාරම්කරුවන් ට්‍රැක්ටර් ඔයට බස්සවා වැලි ගොඩදමන බවත්, ඇතැමුන් කිමිදී බාල්දීවලට වැලි රැගෙන බෝට්ටුවලට පටවා ගොඩට ගෙන එන බවත් මේ සියල්ල කිසිදු බලපත්‍රයක් හෝ ලබා නොගෙන සිදු කරන විශාල පරිසර හානියක් බවත් ප්‍රදේශවාසීහු පවසති. ඔවුන් ඉතාම සංවිධානාත්මකව මෙම වැලි ජාවාරම සිදු කරන බව ගම්වාසීහු පවසති.

දඹුලු ඔයේ වැලි ගොඩදමමින් දඹුලු ඔයට කරන හිංසන හේතුවෙන් මේ වන විට අවට ගොවි බිම්වලට ද ජලය ලබාගත නොහැකි වී ඇතැයි ගොවීහු පවසති. ඒ වැලි ගොඩදැමීම නිසා ඉවුරු සේදී ගොස් කුඹුරු සඳහා ජලය ලබාගන්නා ඇළ මාර්ගය ද සෝදාපාළු වීම හේතුවෙනි. මේ වන විට කුඹුරු අක්කර 20 කට ජලය ලබාගත නොහැකිව ගොවීහු අසරණ වී සිටිති. ඔවුන් කියා සිටින්නේ කාලාන්තරයක් තිස්සේ දඹුලු ඔයේ වැලි ගොඩදමමින් කළ පරිසර විනාශය හේතුවෙන් තම වගා බිම් කරා ජලය රැගෙන එන ඇළ මාර්ග ද සේදී ගොස් ඇති බවයි.

මේ පිළිබඳව අදාළ බලධාරීන් නිලධාරීන් දැනුම්වත් කළ ද පලක් නොවන බවට ගම්මු මැසිවිලි නගති. තව දින කීපයක් තුළ තම වගාවට ජලය ලබා නොදුනහොත් ඉරි තැලී වියළී ගිය වගා බිමේ කිරි වදින ගොයම මැරී යන බව ඔවුහු සුසුම්ලමින් පවසති.

තිසර සමල් – අනුරාධපුර

advertistmentadvertistment
advertistmentadvertistment