දයාසිරිගෙනුත් ලංවිමට  ලක්ෂ 6 ක පොල්ලක්

480

හිඟ බිල් අයකර ගැනීම ලංවිම වැඩක් – දයාසිරි කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පදිංචිව සිටි කොළඹ 07, ග්‍රෙගරි පාර, අංක 12 දරන නිවසේ, රුපියල් හයලක්‍ෂ තිස්හත් දහස් හාරසිය හතළිස් අටයි ශත තිස් අටක (637,448.38) විදුලිබිල ගෙවාදමා නැති නිසා වහා එය ගෙවා දමන ලෙසට ලංවිම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ඔහුට දැනුම්දී තිබේ.

2016 වසරේදී මෙම නිවස හිටපු ඇමැති දයාසිරි ජයසේකර මහතාට භාර දෙන අවස්ථාවේදී තිබූ හිඟ මුදල රුපියල් හාරලක්‍ෂ අනූහතර දහස් හත්සියයක් බව ද දැනුම්දී ඇත.

2022 අගෝස්තු මස වනවිට එම හිඟ මුදල එකොළොස් ලක්‍ෂ තිස් දෙදහස් එකසිය අසූ අටයි ශත හතක් දක්වා වැඩිවී ඇති අතර හිටපු ඇමැති දයාසිරි ජයසේකර මහතා නිවසේ පදිංචිව සිටි කාලයේදී ගෙවිය යුතු මුදල රුපියල් හයලක්‍ෂ තිස්හත්දහස් හාරසිය හතළිස් අටයි ශත තිස් අටක් යැයි ද ලංවිම කියා සිටී.

ඒ අනුව දයාසිරි ජයසේකර මහතා ගෙවිය යුතුව තිබෙන හිඟ මුදල මෙම මස 15 වැනිදාට පෙර ගෙවන ලෙසට ලියාපදිංචි තැපෑලෙන් ලංවිම දැනුම්දී ඇත.

මෙම ගිණුමේ විදුලි සැපයුමට අදාළ පාරිභෝගික නාමය ජයසේකර මහතාගේ නමට එකතුකර ගන්නා ලෙසට දැනුම්දී ඇති අතර එය ද සිදුකරන ලෙසට එමගින් දැනුම්දී ඇත.

මේ සම්බන්ධයෙන් හිටපු ඇමැති දයාසිරි ජයසේකර මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ මෙය 2016-2018 කාලයේ (තමා ඇමැතිවරයා ලෙස සිටි කාලයේ) විදුලි බිලක් බවයි. මෙම බිල්පත, කලින් නිවසේ සිටි වෙනත් ඇමැතිවරුන්ගේ කාලයේ සිට එකතු වූ එකක් යැයි ද පැවැසීය. ගෙවීම් කර නැත්නම් එය අයකර ගැනීම ලංවිම රාජකාරිය බව ද ඇමැතිවරයා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් තමාට යම්කිසි ගෙවීමක් කිරීමට තිබේනම් එය ගෙවා දමන බවත් මීට පෙරාතුව සිටි ඇමැතිවරුන්ගේ බිල් ගෙවීමට තමාට හැකියාවක් නැතැයි ද කීය. මේ පිළිබඳ පැහැදිලි වාර්තාවක් ඉල්ලා තිබෙන බවද කියා සිටියේය.

ශිරාන් රණසිංහ, චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment