දරුණු භූමිකම්පාවකින් තුර්කියේ – සිරියාවේ 1200ක් පණ පිටින් වැළලෙති

186

විශාල පිරිසක් තාමත් සුන්බුන්වලට යට වෙලා

තුර්කියේ හා සිරියාවේ ඊයේ (06දා) අලුයම හටගත් රිච්ටර් මාපකයේ 7.8ක් වශයෙන් සඳහන් වුණු දරුණු භූමිකම්පාවක් හේතුවෙන් පුද්ගලයන් 1200කට අධික පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙම දරුණු භූමිකම්පාව හේතුවෙන් ඊයේ දහවල් වන විට තුර්කියේ 912 ක් හා සිරියාවේ 230කට අධික පිරිසක් මියගොස් සිටි අතර තවත් විශාල පිරිසක් භූමිකම්පාව හේතුවෙන් කඩා වැටී ඇති ගොඩනැගිලිවල සුන්බුන්වලට යටවී සිටීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බව බලධාරීහු පවසති.

මෙම භූමිකම්පාව හේතුවෙන් මධ්‍යම තුර්කියේ හා වයඹ දිග සිරියාවේ පිහිටි ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් බිමට කඩාවැටී ඇති අතර තුර්කියේ මෙම භූමිකම්පාවෙන් තුවාල ලැබූ 2323 දෙනකු ඊයේ දහවල් වන විට රෝහල්ගත කර තිබිණි.

මෙම භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය වූ තුර්කියේ කහ්රාමන්මාරස් පළාතේ පමණක් මෙම ව්‍යසනය හේතුවෙන් 70 දෙනකු මියගොස් ඇති බව වාර්තා වේ.

තුර්කියේ කහ්රාමන්මාරස් හා ගේසියන්ටෙප් පළාත්වල පමණක් ගොඩනැගිලි 900ක් පමණ මෙම භූමිකම්පාව හේතුවෙන් විනාශ වී ගොස් තිබේ. සහන කණ්ඩායම් විසින් විපතට පත් වූවන් මුදා ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබේ. මෙම භූමිකම්පාව හටගැනීමත් සමගම තුර්කියේ හා සිරියාවේ නගර ගණනාවක විදුලිය ඇනහිට ඇති අතර බොහෝ නිවෙස්වල භූමිකම්පාව සිදු වී පැය ගණනක් ගිය පසුද පසුකම්පන තත්ත්වයන් හට ගෙන තිබේ. මෙම පසුකම්පන තත්ත්වයන් හේතුවෙන් නිවාස හා ගොඩනැගිලි සෙලවීමට පටන්ගෙන ඇති අතර තුර්කියේ ආපදා කළමනාකරණ ආයතනයට අනුව එරට අලුයම කාලයේ සිදු වූ මෙම භූමිකම්පාවෙන් සුළු වේලාවක් ගත වූ පසු පසුකම්පනයන් 66ක් පමණ සිදුව තිබේ.

මෙම භූමිකම්පාව හේතුවෙන් තුර්කියේ ගේසියන්ටෙප් පළාතේ පිහිටි රෝම අධිරාජ්‍ය සමයේ ඉදි කර තිබූ ඓතිහාසික මාලිගයද බිමට කඩා වැටි තිබේ. මෙම දරුණු භූමිකම්පාව යාබද යුරෝපා රටවල් රැසකට දැනී තිබුණද ඉන් එම රටවලට හානි සිදුව නොමැති බව වාර්තා විය.

මෙම ව්‍යසනය පිළිබඳව සැල වූ වහාම යුරෝපා රටවල නායකයන් මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් සහ එංගලන්ත අගමැති රිෂි සුනක්ද මෙම භූමිකම්පාව පිළිබඳව සිය කනගාටුව පළ කර තුර්කියට හා සිරියාවට අවශ්‍ය ආධාර ලබා දෙන බවට ප්‍රතිඥා දී තිබේ.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment