දරුඵල ප‍්‍රමාදද …මෙන්න ජ්‍යොතිෂයෙන් පිළිවෙත්

143

මේ මිහිපිට ඇති උසස්ම වින්දනය වූ විවාහ සතුට හදවත් තුළ වඩාත් පිබිදෙන්නේ දරු සම්පත් ලැබුණුවිට ය. විවාහක කාන්තාවක මවක් වීම ඇයට හෝ ඇයගේ ස්වාමිපුරුෂයාට මහත් සතුටක් හා සොම්නසක් දෙන්නවූ කරුණක් වේ. මාතෘත්වයට සමාජය විසින් පූජනීයත්වයක් ලබා දී ඇත. විවාහ ජීවිතය තුළ ජනිතවන සතුට සොම්නස මාතෘත්වය සමග ඉදිරියට ගලා යයි. යුග දිවියට ඇතුළු වූ බොහෝ අඹුසැමියන්ගේ බලාපොරොත්තුව දරු සුරතල් බැලීමයි. ඔවුන්ගෙන් ඇතැමකුට දරු සුරතල් බැලීමේ වාසනාව උදාවන අතර තවත් කෙනෙකුට ඒ සඳහා වාසනාව උදා නොවේ. තවත් සමහරුන්ට දරු සුරතල් බැලීමට කාලයක් බලා සිටීමට සිදු වේ. එවැනි අය දරු සුරතල් බැලීම සඳහා බාර හාර වෙති. දියුණු වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රම උපයෝගීකර ගනිති.

වර්තමාන සමාජයේ දරුඵල සම්බන්ධයෙන් අඹුසැමියන් අතර සිත් තැවුල්, කරදර,මතභේද, පසුතැවිලි යන ආදිය නිරන්තරයෙන් ඇතිවන බව කිවහැකිය. මෙහිදී බොහෝවිට කාන්තාව දැඩි පීඩනයට ලක්වේ. පුතා විවාහ කරගන්නා ස්ත‍්‍රියට අවුරුද්දක් ඇතුළතවත් දරුවකු පිළිසිඳ නොගත්තොත් නැන්දම්මා ලේලිය කෙරෙහි අසුබවාදී ලෙස බලන්නීය. තම පුතණුවන් විවාහ කරගත් ස්ත‍්‍රිය දරුවන් නොමැති කෙනෙක් වුවහොත් එයින් තම පුතා දැඩි කනස්සල්ලට පත්වන අතර ඒ ස්ත‍්‍රිය අන් අයගේ සමච්චලයට ලක් වේ.

දරුඵල සම්බන්ධයෙන් කාන්තාවට පමණක් වරද පැටවීම සාධාරණ නැත. අද සමාජයේ දරුවන් නොලබන වඳභාවය ලබන ස්ත‍්‍රීන් පමණක් නොව, පුරුෂයන් ද සිටිය හැකි බව බොහෝ දෙනා නොදන්නා කාරණයකි. මෙවැනි වූ කරුණු උගත් ජ්‍යොතිෂවේදියකුට ඔහුගේ කේන්ද්‍ර පරීක්ෂා කිරීම තුළින් දැනගත හැකිවේ.

ග‍්‍රහ තාරකාවන්ගේ හැසිරීම් රටා ඉතා සංකීර්ණ බැවින් දරුඵලවලට අදාළ ජ්‍යොතිෂ පදනම හරිහැටි අවබෝධකර ගැනීම පහසු කාර්යයක් නොවේ. ප‍්‍රධාන වශයෙන් ජන්ම පත‍්‍රයක දරුඵල සම්බන්ධයෙන් විමසා බලනුයේ පස්වැන්නෙන් පස්වැන්න දරුවන් ගේ සුබසිද්ධිය කෙරෙහි බලපාන වැදගත්ම භාවය බැවින් එම භාවය නියෝජනය කරන භාවයට දෘෂ්ටි ගතවන හෙවත් පස්වැනි භාවය අධිපති වන ග‍්‍රහයා සුබදායක අන්දමින් පිහිටා තිබේ නම් වාසනාවන්ත දරුවන් අපේක්ෂා කළ හැක.

තවද පස්වැන්නෙන් පස්වැන්න වූ නවවැන්නාධිපති බලවත්ව සිටීම දරුඵල සඳහා සුබදායක වේ. යම් ජන්ම පත‍්‍රයක චන්ද්‍ර ලග්නය ද මෙම දරුඵල සම්බන්ධයෙන් ශුභදායක ලෙස පිහිටා ඇත්දැයි බැලිය යුතුය.

පස්වැන්න අධිපති ශුභ රාශි ගතව ශුභ ග‍්‍රහයන්ගෙන් දෘෂ්ටි ලබමින් සිටියදී ගුරු කේන්ද්‍ර ගත නම් දරුඵල හිමිය. හත අධිපති එක, දෙක හෝ පස්වැනි භාවයක සිටියදී ඔහුට සංවේගය ග‍්‍රහයකු නවාංශකාධිපති සමඟ එක්වීමෙන් බහු පුත‍්‍ර යෝගය යෙදේ. එමෙන්ම පස්වැන්න අධිපති සහ ලග්නාධිපති යෝග වීම ඔවුන් දෙදෙනා පරිවර්තනය වීම ඔවුනොවුන් දැකීම දරුඵල සඳහා හේතු වේ.

බ‍්‍රහස්පති පස්වැන්නාධිපතිව සිටියදී රවි ග‍්‍රහයා ප‍්‍රබල භාව ස්ථානයකදී සිටියොත් තැන්පත් ගුණවත් දරුවකු ලැබීමේ වාසනාව හිමිවේ. පස්වැන්නාධිපති ත‍්‍රිකෝණයක හා කේන්ද්‍රස්ථානයක සිටීමෙන් එක් දරුවකු පමණක් ලබයි.

කුජ රාහු වැනි බලවත් පාපයක් පස් වැන්නේ සිටී නම් හෝ පස්වැන්නට එවැනි පාපයන්ගේ දෘෂ්ටි ලැබේ නම් ගබ්සාවීම්, දරු උපතේදී සැත්කම් ආදි වූ කටුක අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදුවිය හැකි අතර දරුඵල අඩු විය හැක.

පස්වැන්නට රාහුගේ පීඩනය බලවත් වූ විට දරු උපත් සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවයක් ඇති කරයි. එමෙන්ම කේතු පස්වැන්නේ පීඩාකාරී ලෙස ක‍්‍රියාත්මක වුවහොත් මළදරු උපත් ඇති වීමට ඉඩ තිබේ. තනි මෙම භාවය තුළ දී ඇති ආකාරයට ක‍්‍රියාත්මක වීමෙන් මවට ප‍්‍රසූතියේ දී ශාරීරික වේදනාවන් හා පසුතාවයන් ඇති කරයි.

ස්ත‍්‍රියකගේ ගර්භාශයේ තැන්පත්වන ශුක‍්‍රධාතු සහ බීජ විනාශ වීම දරුඵල කෙරෙහි අහිතකර ආකාරයෙන් බලපාන අතර බොහෝ දුරට එය සදාකාලිකවම දරුඵල අහිමි වීම කෙරෙහි ද බලපාන්නට ඉඩ තිබේ. අධික උෂ්ණත්වයක් සහිත කාන්තාවකගේ ගර්භාෂය පිහිටන දරුවන් ගබ්සා වීමට විනාශ වීමට එම උෂ්ණාධික බව ද හේතුවන බව පෙනේ. පස්වැන්නේ රාහු කුජ සිටීම උෂ්ණාධික බව ඇති වීමට හේතු සාධකයක් වේ. එමෙන්ම කාරක වූ පුත‍්‍ර කාරක ගුරු ග‍්‍රහයා පාප දෘෂ්ටිවලට ලක්වීමත් සතුරු රාශිගත වීමත් යන කාරණා ද දරුඵල හීන කරන සාධක වේ.

මේ අතර දරුඵල හානි කරන ග‍්‍රහයෝග ගණනාවක් ද ජ්‍යොතිෂයේ සඳහන් වේ.

  • යම් ජන්මියෙකුගේ පස්වැන්නාධිපති අඟහරුට හෝ රාහුට සම්බන්ධ වී සිටීම.
  • රවි ග‍්‍රහයා ලග්නයේ ද අඟහරු පස්වැන්නෙහි ද සිටීම දරුඵල හානි කරන යෝගයකි.
  • එකොළොස් වැන්නේ ශනි රවි රාහු කේතු කුජ යන ග‍්‍රහයන්ගේ සප්තම දෘෂ්ටිය පස්වැන්නට වැටේ නම් එය ද දරුවන් පිළිසිඳ ගැනීම වළක්වන ක‍්‍රියාවලියක් වනු ඇත.

දරුඵල ප‍්‍රමාද වීමකට මුහුණ පා ඇති යුවතිපතීන්ට දිය යුතු හොඳම අවවාදය නම් හැකි තරම් පින් දහම්වලට යොමු වී ඒ අතරම වෛද්‍ය උපදෙස් ද පිළිපඳින අතර ඒ සඳහා සුබදායීවන කාලයක් පිළිබඳව උගත් ජ්‍යොතිෂවේදියකු මගින් දැනුවත් වී ඒ අනුව කටයුතු කිරීමයි.

ජ්‍යොතිෂවේදිනී තුෂාරා වික‍්‍රමසිංහ.
අංක 317. දාගොන්න (වැවපාර). මීගමුව

advertistmentadvertistment
advertistmentadvertistment