දරුවන්ගේපෝෂණය ගැන  වැඩි සැලකිල්ලක් දක්වන්න

120

මේ දිනවල බොහෝ දෙනා පවසන්නේ ආර්ථික අපහසුකම් ගැනය. ඒ නිසා ආහාර පාන ගැනීම, රෝග සඳහා ප්‍රතිකාර ලබා  ගැනීමට ඇති අපහසුතා ගැන පවසති. මේ අතර බරපතළම ගැටලුව වී ඇත්තේ දරුවන්ගේ පෝෂණය සම්බන්ධව මතුවන ගැටලුය. නිසි පෝෂණයෙන් යුත් ආහාර පාන දරුවන්ට ලබාදීමට නොහැකිවීමෙන් ඔවුන් මන්දපෝෂණ තත්ත්වයට පත්විය හැකිය. මෙලෙස මන්දපෝෂණයට ලක්වීම නිසා දරුවන්ගේ වර්ධන ගැටලු මතු වේ. තරුණ වියේදී ඔවුන් නොයෙකුත් රෝගවලට ඉතා පහසුවෙන් ගොදුරු විය හැකිය.

එබැවින් මෙම තත්ත්වය වළක්වා  ගැනීමට දරුවන්ට ලබාදිය හැකි නිසි පෝෂණයෙන් යුත් ආහාර පාන වර්ග කිහිපයක් පිළිබඳව අවධානය යොමු කර බලමු.

දරුවන්ගේ වර්ධනයට ඉතා වැදගත් වන පෝෂණ ද්‍රව්‍ය වන්නේ ප්‍රෝටීන් සහ විටමින් වර්ගය. නමුත් බොහෝ දෙමාපියන් දරුවන්ට ආහාරයට දෙන්නේ පිෂ්ඨය අධික ආහාර එනම් පාන්, බනිස්, කෙටි ආහාර වර්ගය. බත් ආහාරයට ලබාදුනහොත් බඩ පිරෙන්න කන්න දිය යුතු යැයි කියා බත් වැඩිපුර එක් කරති. එසේත් නැති නම් බත් සමග අල වර්ග ද එක් කරති. මෙය වැරදි ආහාර රටාවකි.

දරුවන්ගේ ආහාර වේලට කඩල, පරිප්පු, මුංඇට, කවුපි ආදිය මිශ්‍ර කිරීම මගින් වැඩිපුර ප්‍රෝටීන් ලබාගත හැකිය. බත් වේලකට හාල් මැස්සන් දෙතුන් දෙනෙක් එක් කිරීමෙන් කැල්සියම් ලැබේ.

බත් සමග පොල් සම්බෝල එක් කිරීමෙන් මේදය සහ විටමින් වර්ග ලබාගත හැකිය.

කතුරුමුරුංගා, කොළ මැල්ලුමක්, තෝර කොළ මැල්ලුමක්, මඤ්ඤොක්කා දලු මැල්ලුමක් එක් කිරීමෙන් විටමින් වර්ග රැසක් ලැබේ.

දරුවන්ට වෙරළු, අනෝදා, ලාවුළු, නෙල්ලි ආදිය ආහාරයට ලබාදීමෙන් ද විටමින් වර්ග රැසක් සිරුරට ලබාගත හැකිය.

මස්, මාළු, බිත්තර ලබාදීම අත්‍යවශය නැත. ඒවායෙන් ලැබෙන විටමින් සහ ප්‍රෝටීන් වෙනත් ආහාර වර්ගවලින් ලබාගත හැකිය.

දඹල, සෝයා ආහාර මගින් ඒවා පහසුවෙන් ලබාගත හැකිය. ඒ නිසා දිනපතා මස්, මාළු, බිත්තර ලබාදීම අත්‍යවශ්‍ය නැත.

වර්තමානයේ සිදුව ඇත්තේ දෙමාපියන් තුළ පවතින විවිධ ආකල්ප නිසා දරුවාට ලබා දෙන්නේ පෝෂ්‍යදායී ආහාර නොව කටට රසය වැඩිපුර දැනෙන පෝෂණයෙන් අඩු ආහාරය. ඒ නිසා වැඩි අරමුදල් වැය කර අඩු පෝෂණයෙන් යුත් ආහාර ලබාදී ආර්ථික ගැටලුත් ඇති කරගෙන දරුවන් තුළ පෝෂණ ගැටලුත් ඇති කරවයි.

දරුවන්ගේපෝෂණය ගැන  වැඩි සැලකිල්ලක් දක්වන්න

සෘෂිනාඩි වෛද්‍ය මහාචාර්ය පිළිකා, ආතරයිටීස්,
සෙම් රෝග විශේෂ වෛද්‍ය  ජිනසිරි ලියන්වෙල

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment