දරුවන්ගේ කිරි බඳුනේ මාරයා

418

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු රටවල් 8ක සාමාජික කණ්ඩායම්වල සහභාගීත්වයෙන් IPEN ආයතනය විසින් සිදුකරන ලද පරීක්ෂණයේදී, ළදරුවන් සඳහා වන කිරි බෝතල් සහ ආහාර බඳුන් (ෆීඩින් කප්) වල බිස්ෆීනෝල් නම් රසායනිකය අඩංගු විය හැකි බව තහවුරු වී ඇත. මේ සඳහා පරීක්ෂා කරන ලද බඳුන් 98න් 76 කම මෙම රසායනිකය අඩංගු වී ඇති බව තහවුරු වූ බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි. මේ අතරින් ඇතැම් බඳුන්වල මෙම රසායනිකය අඩංගු නොවන බව සඳහන් කර තිබුණද විද්‍යාගාර පරීක්ෂණයේදී එය සාවද්‍ය බව ඔප්පු වී ඇත.

 බිස්ෆීනෝල් ඒ (Bisphenol A- BPA) යනු පිළිකා, ප‍්‍රජනක පද්ධතියේ අක‍්‍රමිකතා, පිරිමින් සහ කාන්තාවන් තුළ ලිංගික දුබලතාවය මෙන්ම දියවැඩියාව ආදී සෞඛ්‍යමය ගැටලූ ඇතිකරන රසායනිකයකි. බොහෝ රටවල මෙය අන්තරායකර රසායනිකයක් ලෙස නීත්‍යානුකූලව හඳුනාගෙන ඇති අතර, යුරෝපා සංගමය තුළ හෝමෝන ක‍්‍රියාවලියට බාධා කරන රසායනිකයක් ලෙස හඳුනාගෙන තිබේ.

දරුවන්ගේ කිරි බඳුනේ මාරයා



 ”ඇතැම් භාණ්ඩවල BPA රහිත බව ලේබලයේ සඳහන් කර තිබුණත් මේවායේ එම රසායනිකය අඩංගු බව තහවුරු වුණා. මේ නිසා ඇත්තටම දෙමව්පියන් තමන්ගෙ දරුවන්ට යහපත් දේ ලබා දෙන්න පෙළඹුණත්, වෙළෙඳ සමාගම් ඔවුන්ව නොමග යවන බව අපට පේනවා. මේ නිසා අපට මෙවැනි අන්තරායකර රසායනික ලේබල්කරණය සම්බන්ධයෙන් ශක්තිමත් නීති වගේම ඒවා නිසි පරිදි ක‍්‍රියාත්මක වන බව තහවුරු කිරීමට නිසි අධීක්ෂණ ක‍්‍රියාවලියකුත් අවශ්‍ය වෙනවා” පරිසර යුක්ති කේන්ද්‍රයේ, ව්‍යාපෘති සැලසුම් සහ කළමනාකරණ නිලධාරී, චලනි රූබසිංහ මිය පවසන්නීය.

 මෙම අධ්‍යයනය සඳහා බංග්ලාදේශය, භූතානය, චීනය, ඉන්දුනීසියාව, මැලේසියාව, රුසියාව, ශ‍්‍රී ලංකාව සහ ටැන්සානියාව යන රටවල IPEN සාමාජික කණ්ඩායම් විසින් ළදරු කිරි බෝතල්, සිපී කෝප්ප, ෆීඩින් කප් වැනි ළදරු නිෂ්පාදන නියැඳි ලබාදෙන දී ඇත. ඉන් පසුව මෙම බඳුන්වලින් කොතරම් BPA ප‍්‍රමාණයක් එයට යොදන ද්‍රවවලට ගමන් කරන්නේද යන බව පරීක්ෂා කරන ලද අතර, මෙම රසායනික පරීක්ෂණය, චෙකොස්ලෝවැකියාවේ ප‍්‍රාග් හි පිහිටි, රසායන විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරය තුළදී සහ ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටා ඇති ශ‍්‍රී රාම් කාර්මික පර්යේෂණ ආයතනය තුළදී විශ්ලේෂණය කරන ලදී.

 යුරෝපා සංගමයේ සාමාජික රටවල්, මැලේසියාව, චීනය සහ ඉන්දුනීසියාව වැනි රටවල ළදරු භාණ්ඩ සඳහා මෙම රසායනිකය භාවිතය සීමාකර ඇත. එසේ වුවද පරීක්ෂාවට ලක් කරන ලද භාණ්ඩ අතරින් 78%කම මෙම රසායනිකය අඩංගු බව පර්යේෂණයේදී තහවුරු විය.

 ශ‍්‍රී ලංකාවේ ලබාගත් සාම්පල 10 අතරින් 3ක BPA අඩංගු වූ බව තහවුරු වූ අතර මින් එක් සාම්පලයක ලේබලයේ BPA රහිත (BPA Free) බවද දක්වා තිබුණු අතර එහි BPA කිලෝග‍්‍රෑමයට මයික්‍රොග‍්‍රෑම් 0.9 ක් වාර්තා විය. හමුවූ උපරිම මට්ටම කිලෝග‍්‍රෑමයට මයික්‍රොග‍්‍රෑම් 3.2ක් වූ අතර එය ළදරුවන් සඳහා වන බීම කෝප්පයකින් (සිපී කප්* වාර්තා විය. අවාසනාවන්ත ලෙස මෙය කෙතරම් හානිකර රසායනිකයක් වුවද මේවා සඳහා නෛතික මට්ටම් ලංකාවේ නොමැත.

 ”ළදරුවන්ගේ භාණ්ඩවල මෙවැනි අන්තරායකර, කිසිදු ආරක්ෂිත මට්ටමක් නොමැති රසායනිකයක් හමුවීම ඉතා දැඩි අවධානයක් යොමුකළ යුතු කරුණක්. ඒ වගේම මේ එක හානිකර රසායනිකයක් වෙනුවට තවත් හානිකර රසායනිකයක් ආදේශ කිරීම වැළැක්වීමට නම් අප මෙම සියලූ බිස්ෆීනෝල වර්ග කාණ්ඩයක් ලෙසම තහනම් කළ යුතුයි” ජිත්කා ස්ට‍්‍රැකෝවා, IPEN ගෝලීය පර්යේෂිකාව පවසන්නීය.

 මෙම පර්යේෂණය හරහා IPEN ආයතනය මතුකරන තවත් අවදානමක් වන්නේ මෙවැනි අන්තරායකර රසායනික අඩංගු ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීකරණය හරහා චක‍්‍රීය ආර්ථිකයට එක් වීමයි. එවිට කුමන භාණ්ඩයක් හරහා කවුරුන් මෙම රසායනිකවලට නිරාවරණය වන්නේදැයි සොයා ගැනීම ඉතාම අපහසු කාරණයක් විය හැකි බව ඔවුහු පෙන්වා දෙති.

 ළදරුවන්, දරුවන්ගේ භාණ්ඩ ඇතුළු බිස්ෆීනෝල් අඩංගු අමුද්‍රව්‍යවලින් සාදන ද්‍රව්‍ය වහාම ක‍්‍රියාත්මක වන පරිදි තහනම් කිරීම.

 බිස්ෆීනෝල් රහිත බව ලේබල්කරණය සඳහා නෛතික ලෙස බැඳීමක් ඇති කරන නීති සම්පාදනය හා ක‍්‍රියාත්මක කිරීම හරහා වැරදි ලෙස ලේබල්කරණයන් වැළැක්වීම.

 බිස්ෆීනෝල් අඩංගු අමුද්‍රව්‍යවලින් සාදන භාණ්ඩ සඳහා විකල්ප අමුද්‍රව්‍ය යොදා ගැනීමට සහාය දීම

 භාණ්ඩවල ප‍්‍රමිතිය විමර්ශනය සඳහා ක‍්‍රමවේද ස්ථාපිත කිරීම

 බිස්ෆීනෝල් අඩංගු ද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණ ක‍්‍රියාවලියෙන් ඉවත් කිරීම හරහා මේවා නව භාණ්ඩ තුළට ඇතුළුවීම වැළැක්වීම.

 යන කාරණා මෙම අධ්‍යයනය තුළින් ඉදිරිපත් කරන නිර්දේශ අතර වේ.

 වාර්තාව සඳහා අදාළ සබැඳිය මෙසේය. : https:// ipen.org/documents/call-to-action-free-childrenbpa-toxic-legacy

 පරිසර යුක්ති කේන්ද්‍රයේ වාර්තාවක් ඇසුරෙනි.

 ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment