දරුවන්ගේ ජීවිත අනතුරේ!

385

රටක ජීවනාලිය දරුවන් ය. මනා පෝෂණයෙන් හා ගුණ දහමින් සන්නද්ධ දරු පරපුරක් රටට සම්පතකි. එම දරු පරපුර නිසි ලෙස කළමනාකරණය කර ගැනීමකින් තොරව අප රටට හෙටක් ගැන කල්පනා කළ නොහැක. නමුත් අපේ රටේ දරුවන් සම්බන්ධයෙන් වාර්තාවන සිද්ධීන් පිළිබඳව විමසා බැලීමේදී පෙනී යන්නේ ඉතා බරපතළ අන්දමින් අපේ දරු පරපුර අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවයි.

ජාත්‍යන්තර ළමා අරමුදලේ නවතම වාර්තා අනුව අප රට තුළ මන්දපෝෂණයට ලක් වූ දරුවන් 50,000 ක් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. ඔහු පෙන්වා දුන් කරුණු අනුව අපේ දරුවන් ලක්‍ෂ 30 කට නිසි ආහාර වේලක් ලැබෙන්නේ නැත. පවුලක දරුවන් තිදෙනකු සිටින විට ඉන් එක් අයෙකු පාසල් නොයන ප්‍රවණතාවක් ගොඩනැගී තිබේ. මේ සියලු කාරණාවලට හේතු වී ඇත්තේ දෙමාපියන්ගේ ආර්ථික අහේනියයි. මෙම තත්ත්වයට වහා පිළියම් යෙදිය යුතුය. එසේ නොවුණහොත් අප රටේ හෙට දවස භාරගැනීමට සිටින මල් කැකුළුවන් දරු පරපුර අකාලයේ මිලින වනු ඇත. සංවේදී හදවත් ඇති වැඩිහිටියන් මෙන්ම අදාළ බලධාරීන් මෙම ප්‍රශ්නයේ ඇති බරපතළකම තේරුම් ගෙන අප රටේ දරුවන්ගේ අනාගත සුරක්‍ෂිතතාව වෙනුවෙන් යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය.

පවතින ආර්ථික අර්බුදය මැද පවුල් පිටින් සියදිවි නසාගැනීම මේ දිනවල අප දකින නරකම දසුනකි. වව්නියාවේ ගුඩ්ෂෙඩ් පාරේ අම්මාභගවන් වීදියේ 41 හැවිරිදි දෙදරු පියකු සිය දියණියන් දෙදෙනාත්, බිරියත් මරාදමා තමාද සියදිවි නසා ගත්තේ ණයබර නිසාවෙනි.

මේ අතර හල්මිල්ලවැටිය කණුගහවැව මවක් සිය ආබාධිත දරුවන් දෙදෙනාට ප්‍රතිකාර ලබාදීමට නොහැකිව දරුවන් දෙදෙනාට වස පොවා තමනුත් වස බොන්නේ තමන්ගේ ආර්ථික ප්‍රශ්නවලින් පලා යෑමටය. එහෙත් අවසානයේ සිදුවන්නේ එක් දරුවකු මරණයට පත්ව මවත් අනෙක් දරුවාත් බේරීමය. පවතින ආර්ථික අර්බුදයේ ඇති අවාසනාවන්ත තත්ත්වය කියාපෑමට ඉහත සිද්ධීන් දෙක වුවද ප්‍රමාණවත්ය. එහෙත් අප අමතක නොකළ යුතු කාරණයක් තිබේ. එනම් පසුගිය කාලය පුරාවට මෙවැනි සිදුවීම් මාලාවක් වාර්තා වීමයි. මේ අහිතකර, නරක, බරපතළ තත්ත්වයකි. කෙතරම් අගහිඟකම්, දුෂ්කරතා තිබුණද තම දරුවන් මරණයට පත්කිරීමට දෙමාපියන්ට අයිතියක් නොමැත. මෙම මනෝභාවය සමාජයෙන් තුරන් කිරීම සඳහා ඊට අදාළ බලධාරීන් වහා ක්‍රියාත්මක විය යුතුය. පවතින ආර්ථික අර්බුදය අද හෙට නිමාවට පත්වනු ඇතැයි කිසිවකුටත් කල්පනා කළ නොහැක. එනිසා තමන්ට දැඩි ආර්ථික පීඩනයක් එල්ල වී දරුවන් රැකීමට, පෝෂණය කිරීමට අවැසි මගක් නැත්නම් එම දෙමාපියන් වහා කළ යුත්තේ අප රටේ දරුවන් පිළිබඳව සොයාබලන ආයතනවල පිහිට පැතීමය. තමන් මුහුණ පා ඇති තත්ත්වය ළඟම ඇති පොලිසියට හෝ දැනුම්දීමක් කළහොත් අසරණ දරුවන්ගේ ජීවිත අකලට මිලින නොවනු ඇත.

දෙමාපියන්ගේ නොසැලකිල්ල හා සමාජයේ කෲරතර පුද්ගලයන් නිසා විවිධ අවස්ථාවලදී අපේ රටේ දරුවන් අතවරයට ලක්වන අවස්ථා බොහෝ ය. 17 හැවිරිදි දැරියක සිය කුඩම්මාගේ වධ හිංසාවන්ට ලක්ව රෝහල්ගත කර ඇති පුවතක් රාගම රෝහලින් වාර්තා වෙයි. මෙම දැරිය නිවසේ මෙහෙකාරියක ලෙස යොදවා ඒ අතරතුර විවිධ වධ හිංසනයන්ට ලක්කර ඇති බව පොලිසිය පවසයි. මේ අතර බකමූණ ප්‍රදේශයේ නිවසක සිටි අවුරුදු එකහමාරක් වයසැති සිඟිති දැරියකට අමානුෂික ලෙස පහර දී කෲර වධ හිංසාවන්ට ලක්කළ පියකු බකමූණ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පුවතක් ද අද (11දා) අප පුවත්පතේ වාර්තා කර තිබේ.

මෙවැනි සිද්ධීන් අප රටේ නිරතුරුව වාර්තා වෙයි. සීයලා අතින්, මාමලා අතින්, සහෝදරයන් අතින් මෙන්ම විවිධ ඥාතීන්ගේ නොසන්ඩාල ක්‍රියා නිසා අප රටේ දරු පරපුර මේ වන විට බරපතළ ලෙස අපයෝජනයට ලක්වන අවස්ථා එමටය.

දරුවන්ට සිදුවන අපරාධවල බිහිසුණු බව කියාපාන සිද්ධියක් පසුගියදා පානදුර හිරණ ප්‍රදේශයෙන් වාර්තා විය. අවුරුදු හයයි මාස හයක් වයසැති කුඩා දැරියකට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට යුවළක් අත්අඩංගුවට පත්ව ඇත.

කලක් ධර්මද්වීපයක් ලෙස හැඳින්වූ අප රට තුළ මෙවැනි සිදුවීම් වාර්තාවීම අතිශය කණගාටුදායකය. එනිසා රටේ හෙට ගැන සිතන ආදරණීය පුරවැසියන්ගේ මෙන්ම බලධාරීන්ගේ යුතුකම විය යුත්තේ අපේ රටේ දරු පරපුර මුහුණ දී තිබෙන මේ ව්‍යසනයෙන් ඔවුන් ගලවා ගැනීමයි. තමන්ගේ ඇස්දෙක මෙන් දරුවන් හදාවඩා උස්මහත්කර අප රටට දායාද කරන වැදගත් පුරවැසියන්ට අපේ ආචාරය හිමිවේ. දරුවන් නසන, දරුවන් අපයෝජනයට ලක්කරන ගහලයන්ට මරණ දඬුවම පමුණුවා හෝ අපේ රටේ දරු පරපුර රැකගන්නයි අපි යෝජනා කිරීමට කැමැත්තෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment